Saturday, July 30, 2011

ඇසළ සඳ

පයින් ගස් අතරින් මුවා වෙන ඇසළ සඳ
අද ඇසළ පෝය බව කියනවා
නේක පාටින් දිලෙන කැමීලියා මල් අතර
මගේ හිත පිච්ච මල් හොයනවා

හිම මිදෙන සීතලත් එක්ක එන සඳ කිරණ
හිතට යස උණුසුමක් ගෙනෙනවා
සඳ එක්ක එකතු වී මටත් නොකියාම ගොස්
මගේ හිත දළදාව වදිනවා

තරු නොමැති අහසේ සඳ ට දැනෙනා තනිය
මටත් දැනෙනවා දැයි සඳ සෙමින් අහනවා
නෑ කියන්නත් බැරිව ඔව් කියන්නත් බැරිව
මගේ හිත ගොලුවෙලා ඉන්නවා

සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
පායාවි ඉක්මනින් මගේ හිත කියනවා
ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
මගේ හිත තාමත් මග බලා ඉන්නවා

17 comments:

  1. අද කවිය නං බොහොම ලස්සනයි. මතකයේ පමණක් රැඳිල තියෙන නැතිවී ගිය උරුමයක් පිළිබඳව සංවේදී කවි කිහිපයක්.
    බින්දි වරක් කිව්වා වගේ ඔයාගේ කවි වලින් ලස්සන ගීත නිර්මාණය කරන්න පුළුවන් කියල මටත් හිතෙනවා.

    ReplyDelete
  2. ඇත්තෙන්ම සුන්දර මතකයක් කවියට නැඟුවාම ඒක හොදින්ම හිතට දැනෙනවා.මොකද ඒක හදවතින්මයි ලියැවෙන්නේ.දැනට මම හොයාගනිමින් පවතින කවි පිළිබද කියමන් තුළ තියෙන දේ මේ කවියෙන් නිවැරදි වෙන්ට ඇති.මොකද කියනවනම් කවිය කියෙන්නෙ කවියාගේ අත්දැකීමක් රසබර පදවලට ගළපා රසිකයාට දෙන මාධ්‍යයක් නිසා.
    මම කවි ලෝකෙට නම් අළුත්.මම දැකපු හරි වැරදි කිහිපයක් පෙන්නුවට අක්කා තරහ වෙන්නේ නැතිවෙයි කියල හිතනවා.

    මේකේ උපමා රූපක යෙදීමනම් අනර්ඝයි. මෙහි යටම පැදි පෙළේ

    "සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
    පායාවි ඉක්මනින් මගේ හිත කියනවා
    ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
    මගේ හිත තාමත් මග බලා ඉන්නවා"

    ඒ කවියේ
    "පායාවි ඉක්මනින් මගේ හිත කියනවා" යන පදෙට එතරම්ම ගැළපීමක් දෙන්න "මගේ හිත තාමත් මග බලා ඉන්නවා"
    සමහරවිට අක්කගේ කවි ගීත ආරක් ගන්න නිසාමදෝ එහෙමවූයේ.කලින් සුජීව අයියා කිව්වා වගේ කවියේ අකුරු ගණනින් තාලය ගන්න ක්‍රමේ නැතිනම් ඡන්දස් ක්‍රමය අනුව "ඉක්මනින්" කියන වචනේ අකුරු 5ක් තියෙනවා.නමුත් යට පේළියේ අකුරු 5ක වචනයක් නැති නිසා සමහරවිට රසයට බාධාවක් වෙනවා යැයි සිතමි(මම නිවැරදීමද කියා නොදනිමි) ඒ කවිය තව පාරක් ගායනා කරලා බලන්න.ඒ කවිය මෙහෙම ලීවොතින්

    සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
    පායාවි ඉක්මනින් මගේ හිත කියනවා
    ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
    තවම මග බලමින්ම හිත මගෙ ඉන්නවා

    ReplyDelete
  3. අද නම් නංගියේ හරිම සුන්දරයි නිර්මාණය. සිත දෙතැනක ලංකාවෙත් පිටරටකත් සැරිසරන ලස්සන. අපේ රටේ මල් සුවඳත් වෙනරටක ඇති කැමීලියා මල්සුවඳෙත් පැටලිලා අතරමං උනාට අපේකම අපේ සුවඳ මේ පැදිපෙලේ වෑහෙන ලස්සන. කවදාහෝ ඈත අහසේ ගුරුතරුව පායවි......

    ReplyDelete
  4. @ පොත්ගුල්ලා
    බොහොම ස්තුති. ඒත් බින්දි එහෙම කියල තිබුනේ චාන්දී අක්කගේ කවියක් ගැන වාගෙයි මතක. අපි දෙන්නම ලියන්නේ එකවගේ නමකින් නිසා පැටලෙනවා නේද?

    @ අසංක මල්ලි
    ඔව් අන්තිම කවිය වෙනස් උනොත් හොඳයි කියලා මටත් හිතෙනවා. මම හිතන්නේ අර සුජීව කිව්වා වගේ මම යොදන කවි ශ්‍රමය මදි. නැවත දෙතුන් වරක් කියවලා බලන්න ඕනේ "ක්ෂණික කවි" ලියන්නේ නැතිව. ආයෙත් ලියන කොට එහෙම කරන්නම්. ස්තුති ඔයාට අඩු පාඩු පෙන්නුවට.

    @ චාන්දී අක්කා
    නිබදවම ඔබෙන් ලැබෙනා දිරියට ස්තුති

    ReplyDelete
  5. අනේ හැබෑට, පොඩ්ඩක් ටැපලුනා.

    ReplyDelete
  6. තමා වටකර මොන දේ තිබුණත් හිත බැඳුන තමන්ගේම පරිසරයට හිතක ඇති බැඳීම මොනතරම් සමීප ද බලවත් ද යන්න මේ පදපෙලින් විස්තර කෙරෙන්නේ හරිම අහිංසකව, අව්‍යාජව.

    /නේක පාටින් දිලෙන කැමීලියා මල් අතර
    මගේ හිත පිච්ච මල් හොයනවා /

    මේ පේළි දෙක හරිම අලංකාරයි, ජය!

    ReplyDelete
  7. මේ කලින් පොස්ටයක තිබු ප්‍රශ්නයක්

    [[Chandy
    ඒ කියන්නේ එළිසමය නැතත් පදවල මාත්‍රා ගණන සමාන නම් එය සන්දැසක් කියලද? ]]

    මං හිතන් ඉන්නේ "ඔව්" කියලා. වෙනස් මතයක් තියෙනවා නම් දන ගන්න ආසයි.

    දෙවැනි කවිය ලියු විරිත මා දන්නේ නැහැ. හැබැයි එය විරිතක් -> චන්දසක්. කෙටි විරිතේ [උදා: බරණැස් නුවර සිට]තියෙන්නේ 9-11-9-14.

    මේ පැත්තේ එන්න පරක්කු වුනා. ප්‍රමාදයට සොරි වේවා

    ReplyDelete
  8. අසංක ඔබ ලියු දෙය හරි. හැබැයි චන්දි ලියන කවි ඔක්කොම එකම විරිතකට ගත්තොත් ඔයාගේ සංස්කරණයත් සෙට් වෙන්නේ නැහැ. ඔන්න මං මට හිතෙන විදිහට ලිව්වා. ඔබේ කවි හා එහි සංස්කරණයන් නැවත සංස්කරණය කරන්නේ හුදෙක් අපේ දැනුමේ වර්ධනයට මිස කවි පහත දාන්න නොවේ.

    -------

    පයින් "තුරු හිස් අතර" මුවා වෙන ඇසළ සඳ
    අද ඇසළ පෝය බව කියනවා
    නේක පාටින් දිලෙන කැමීලියා මල් අතර
    මගේ හිත පිච්ච මල් හොයනවා

    හිම මිදෙන සීතලත් එක්ක එන සඳ කිරණ
    හිතට යස උණුසුමක් ගෙනෙනවා
    සඳ එක්ක එකතු වී මටත් නොකියාම ගොස්
    මගේ හිත දළදාව වදිනවා

    තරු නොමැති "අහස් කුස" සඳ ට දැනෙනා තනිය
    "දැනෙනවද සඳ සෙමින් අහනවා"
    නෑ කියන්නත් බැරිව ඔව් කියන්නත් බැරිව
    මගේ හිත ගොලුවෙලා ඉන්නවා

    සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
    "පායාවි මගේ හිත කියනවා"
    ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
    "මගේ හිත මග බලා ඉන්නවා"

    ReplyDelete
  9. කැමීලියා -> කැමිලියා විය යුතුයි

    ReplyDelete
  10. උපමා යෙදීමෙන් උපරිමයට ම ගත කවි අහුරක්. නැවත නැවත කියවන්න ආසයි. කෙලින්ම හිතේ තියෙන දේ නොලියා මෙහෙම ටික ටික ලියන එක හරි ලස්සනයි.

    පිට රටක ඉන්න කෙනෙකුට ලංකාව ගැන දැනෙන බැඳීමක් මේකේ යට තියෙනවා. ඊටත් යටින් ලංකාව කියන්නෙත් මෙටෆෝර් එකත්, හිතට ලෙන්ගතු කෙනෙක් එනකම් ඉන්න හිතක් දෝ කියා නිකමට හිතෙනවා. එයත් තවම හමුවෙලා නැද්දෝ කියාත් හිතෙනවා. මෙන්න මේ යටින් ම යන හැගීම් ඉතාම සුන්දරයි.

    ලස්සන කවියක්. තව ලියන්න.

    චන්දිගේ මාත්‍රා ගණන හදා ගන්න ලියලා තාලෙට ගයන්න චන්දි.

    ReplyDelete
  11. රට ගිය දවසක හෝම් සික් වෙච්චි මතක සටහනක් මෙන්න

    [මේක ඇඩ් එකක් හොඳේ. මගේ බ්ලොග් එකේ ඇඩ් එකක් දැම්මට අවුලක් නැහැ නේද?]

    ReplyDelete
  12. ඒක තමා.මං දැක්කා හැබැයි බින්දි මුහුණු පොත පැත්තෙ සැරිසරනවා.

    ඒක නෙමෙයි පුළුවන්නම් කට්ටිය කියන්න බලන්න මේ ළඟදී බින්දි පේන්න හිටියේ නෑනේ.නෙළුම් විල ටික දවසකට පාළුවට ගිහින් තිබ්බනෙ.බින්දි යනකොට කිව යුතු ගීතයක් අපේ ගීත සාහිත්‍යයේ (එතරම්ම නොපැරණි)තියෙනවා.ඒකේ නෙළුම් නෙලන්න එන අයටයි,නෙළුම් වලටයි දෙන ඔවදනක් තියෙන්නේ.පුළුවන්නම් ගීතය කියන්න බලන්න කස්ටිය ???

    ReplyDelete
  13. @ගල්මල්
    බොහොම ස්තුතියි! තවත් කවියක් ලියන්න හිතෙනවා ඇගයීම දැක්කම

    ReplyDelete
  14. @ සුජීව
    ඉස්සෙල්ලම ප්‍රශ්නවලට උත්තර බැඳීම ගැන ස්තුතියි. මට එච්චරම විරිත සහ චන්දස ගැන නම් තේරුමක් නෑ. මාත්‍රා ගණන ගැන නම් තේරෙනවා.
    ඔබේ සංස්කරණය නම් අති විශිෂ්ටයි! සංස්කරණය කල කවි පෙළ නම් මම කීපවරක්ම කියවලා රස වින්දා. මීට පස්සේ ලියනකොට ගායනා කර බලන්නම්.
    ඔබේ රස විඳීමේ හැකියාව නම් උපරිමයි. කවියක් ලියනකොට ඇත්තටම කවියාගේ හිතේ තියෙන හැගීම හරියට සන්නිවේදනය වෙන්න නම් කවිය කියවෙන කෙනාටත් විශේෂ හැකියාවක් තියෙන්න ඕනේ නේද? මොකද එකම නිර්මාණයක් උනත් එක එක්කෙනාට දැනෙන විධිහ වෙනස් නිසා. වෙලාවක් ලැබුනොත් රසවින්දනය ගැනත් යමක් ලියන්න. හැමෝටම වැදගත් වෙයි.
    ස්තුතියි සුජීව.

    ReplyDelete
  15. මෙන්න මන් ආවෝ ...ඊයේ රෑ වෙලා ආවේ. ගෙනාපු ලට්ට ලොට්ට ටික අස් පස් කරන ගමන් මුණු පොතට එබුනා. කොහෙන් පටන් ගන්නද මන්දා .

    චන්දියි චාන්දී අක්කයි දෙන්න අපිට නම් පුරුදුයි. එත් අලුත් කෙනෙක්ට ටිකක් පැටලෙයි තමයි . හැබැයි ලියන ආරෙන් මට නම් දෙන්නගේ අනන්‍යතාවය කියන්න හැකි.

    අසංකගේ සංස්කරණයත් සුජීව ගේ නැවත සංස්කරණයත් දෙකම කියෙව්වා. මගේ නම් ඔලුව හිස් . අද නම් මොකවත් කියන්න බැහැ .

    ලස්සන අදහසක් . ඇත්ත කොච්චර දේවල් තිබුනත් මොනවා හරි අඩුයි වගේ දැනෙන එක රටගිය ඇත්තන්ට වෙන දෙයක්. ලංකාවට පුංචි හරි සම්බන්ධයක් තියෙන දෙයක් දැක්කම රටක් රාජ්‍යක් ලැබුන වගේ තමයි.

    කොටින්ම කඩේකට ගියත් තේ පැකට් දිහා නිකන් හරි බල බල යනවා ''ඩිල්මා '' පැකට් එකක් වත් ඇත්ද කියල . ඇන්කර් බටර් පැකට් එකේ සිංහල අකුරු හොයන්නෙත් ඒ වගෙයි. ඒ පුංචි අකුරු ටික මට කොපමණ වටිනවද .

    නොරටක හිඳිමි ..

    නිතර ගමරට යමි ..

    ..තනිකමත් ඒ වගේම බලාපොරොත්තුවත් අගේට පෙන්වන කවි පෙළක් චන්දි

    ReplyDelete
  16. ඇති යාන්තන්. බින්දිට මේ පැත්ත මතක් වෙලා. අධික වැඩ වගේ නෙලුම් විලේ අලුත් නෙළුමක් දැක්කෙත් නේ හුග කාලෙකින්. මගෙත් නිවාඩුව ඉවරයි. තව මාස 4 ක් යනකන් ඉන්න ඕනේ

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................