Saturday, February 4, 2017
නිදහස් උදානය - සුගුණපාල සමරසේකර
මගෙ සිරි ලංකා භූමි තලේ
අද ජයමංගල කෝළ හලේ
පහ කළ පරගැති රාජ බලේ
නමෝ නමෝ මාතා බැබලේ
සිරිලක් අඹරෙහි නැඟ නැඟ දිව්
නිදහස් කාහළ මංගල රැව්
පිදුරුතලාගල සමණොළ පව්
මිහිදුම පැහැ ගෙන සිඹිනු බලව්
විදෙසික පීඩන ගිම් උනවා
නිදහස් මඳනල රැළි දෙනවා
ලක්මව රන්කොඩි ලෙළ වනවා
මෙන් සිරිමා බෝ දලු ලනවා
යුධ වැද රැකුමට හෙළ භූමි
එය සිඹගෙන මළ ලෙස දෑමී
කැප්පෙටිපොළ හිස රණ කාමී
නිදහස දැක වනි මවු භූමී
පෙබරවරිය සිවුවැනි දවසේ
මගෙ මළ මවු ඉපදුණු දවසේ
නව හිරු නව සඳ නුබ දිලිසේ
හෙළ දද රඟ ගති උඩ අහසේ
පෙණකැටි මුතුපට ඉහළට නංගා
රළ පෙළ තරඟෙට වෙරළට නැංගා
පළකොට නිදහස සතුටු තරංගා
හෙමිහිට බැසයෙති ගිං කළු ගංඟා
හැම ළය පතුළක ජාතික ජීවේ
නළියවමින් සිහිලළ නල ආවේ
පන්සල, පල්ලිය, ඝණ්ඨා රාවේ
නිං නඟමින් උඩුගුවනෙහි ගෑවේ
නිදහස පිළිබඳ දිමුතු ජයන්තිය
සළකන ඔබ අද හරි පින් වන්තිය
කිය කිය දිවගෙන සිඳුරළ පන්තිය
සිඹගති සිරිලක් ආදර වන්තිය
සුගුණපාල සමරසේකර
Friday, February 3, 2017
ගුණසේකර වත්ත
සුවිසල් මාර ගස හන්දිය මැද්දේය
පොඩි සුළඟටත් එය නිතරම පැද්දේය
එහෙ මෙහෙ යනෙන මාවත් ගම් බැද්දේය
ගුණසේකර වත්ත ලෙස නම් ලද්දේෙය
මුළු වත්තටම තිබුණෙ කඩවල් තුනකි
සැලුන් එක සමඟ සිල්ලර කඩ දෙකකි
බැලු බැලු හැම තැනම ලී පැල්පත් පෙළකි
වත්තේ ඒ කොනයි මේ කොන පොඩි දුරකි
ඇන්ටනා ලයිට් කණු හැමතැන තිබුණි
වයර් හැම තැනම කෙස් රොද වන් යකිනි
දහවල උදෑසන රැයවල් ගත කෙරුණි
මේ පොඩි වත්ත සුර පුරයක් ලෙස දිලුණි
බිත්ති තනා තිබුණේ වල් ලෑලි වලින්
වහලය නිමවුණේ ටකරං යකඩ මලින්
සුළඟට ගසා නොයනට බර ටයර තුළින්
වැස්සට වතුර බේරී එයි වහලෙ හිලින්
අමුතු අමුතු රස්සා කළ මිනිසුන් වෙති ගම පුරාම
සොර සතුරන් හිඟන්නන්ද කැම්පස් යන සුමිතුරාම
මැරයන් සහ ගණිකාවන් දිගටම වැඩ නෑ විරාම
එහිම ඉපිද එහිම මැරේ නම ඉතිරිව යයි දිරාම
සවසට සියල්ලන් එක්වෙති පාර තොටේ
කොල්ල්න කුරුට්ටන් සෙල්ලම් කරති වටේ
පොඩි පොඩි රණ්ඩු ඇති වූවද වටේ පිටේ
ගුණසේකර වත්ත දැන් පරසිදුය රටේ
මත්පැන් අවන්හල් කිසිවක් නැත වත්තේ
එනමුත් හෙරෝයින් කුඩු ගංජද ඇත්තේ
පොලිස් මැති ඇමතිසවසට ගම පැත්තේ
එනිසා කිසිවෙකුත් කා හට බිය නැත්තේ
රෑ බෝ වන විටදී ගම අඳුරෙන් ගිලුණේ
සුන්දර ගම ගැහැණු එළිමහනට වැදුණේ
කිමිදෙන්නට ගියොත් හෙම බිහිසුණු පොකුණේ
මටවත් නොතේරී මම මා හට විකිණේ
සැන්දෑ හිරුගේ ගිනියම් රත් පැහැය දිගේ
කපුටගේ නදින් මිහිරක් එක් කරන අගේ
සිහිලස ලැබෙයි වැටුණත් කුණු ගලන ගඟේ
මතකෙන් නොයයි වත්තම එයි සිතට මගේ
Thursday, February 2, 2017
උතුරෙන් - සාගර පළන්සූරිය
දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි උදේ
රන්තරු රිදී තරු සවසට පෙළට ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර හඳේ
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ
ගෙන එයි මිහිර ගී මදනල හමන විට
වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව පිට
උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු ඇට
තනි බව දැනේ එහි කවුතුක රසය ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත තෙත
දහදිය හෙළන අය හිරිහැර අතර වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි හැටී
කළුගල් යකඩ නොව උණු වී හැළෙන ඉටී
බැඳ ඇති විළංගුව පා මිණිසළඹ කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස මට
මිනිසා වෙතින් මිනිසා වෙන් කරන රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාළම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්
පැයකදි එකට හමු වන දුර ඇත දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන
බේදය පිළිස්සී හමු වේවා දකුණ !
සාගර පළන්සූරිය
Subscribe to:
Posts (Atom)