Monday, July 11, 2011

මල් කෙල්ලක් මං !



මල් කෙල්ලක් මං !
සමන්ගිරෙන් කන්ද කපා හිරුදෙවියෝ ලොව බලාවි
ලා තනපත් මත වැටිච්ච මුතුපිනි කැට මල් පිපේවි
පිල්ලෑවේ බෝසමිඳුගෙ පිහිටපතා දහසක් දන ඇදී ඒවි
සියපත් දහසක් උදයෙම මගේ අතින් විකසිත වේවී

සුදු බේබිත් උදෑසනම ඇවිත් ඔන්න
විභාගයට සමිඳු පිහිට පතා ගන්න
අම්ම සමග භාර හාර වෙලා යන්න
සුපිරි රියෙන් මහපොළවට පය තියන්න

බෝසමිඳුට මල් දෝතක් හිතේ හැටිය පුදාගන්න
අනේ බේබි සුදු නෙළුමක් මගේ අතින් අරන් යන්න
සුවඳ කූරු ටිකක් එක්ක තෙල් ටිකකුත් රැගෙන යන්න
පූජා වට්ටියත් එක්ක සුවඳ පැනුත් මෙන්න ගන්න

අපි දෙන්නා එක පන්තියෙ අකුරු කරපු බව ඇත්තයි
දෙවියන් හට භාර වෙන්න කාසි පනම් අපට නැතෙයි
විභාගයට යන්න කලින් අඩුපාඩුත් මට බොහොමයි
මල් විකුනා කාසි පනම් සොයා ගන්නෙ නිසාමයි

මලක සිරිය ඇදුනු මුහුණ යටින් ඇත්තෙ දුකනෙ බේබි
අප්පච්චි ගෙ ගොරොද්දෙ හඬ ඔබට ඇහුන නේද බේබි
පන්තියෙ පළවෙනිය වෙලා ජය ගත්තත් ඉතින් බේබි
මට කොයින්ද යන්න තැනක් මල් යායෙන් එහා බේබි

12 comments:

  1. ලස්සන අදහසක් . මන් ලියුමකුත් එව්වා . බලන්නකෝ

    ReplyDelete
  2. //මලක සිරිය ඇදුනු මුහුණ යටින් ඇත්තෙ දුකනෙ බේබි

    අප්පච්චි ගෙ ගොරොද්දෙ හඬ ඔබට ඇහුන නේද බේබි

    පන්්තියෙ පළවෙනිය වෙලා ජය ගත්තත් ඉතින් බේබි

    මට කොයින්ද යන්න තැනක් මල් යායෙන් එහා බේබි//

    ඔය පද හතරෙන් මුළු කවි පන්තියම හොඳට නියෝජනය වෙනවා. හොඳ නිර්මාණයක් අක්කා...

    ReplyDelete
  3. මේ ලොව ලස්සන කෙරුමට ඕනෑ වේ සුවද මලුත්
    සුවද හමන ඒ මල් වුව පරව යනව කෙදිනක මුත්
    පද්ම බුදුන් මල් පුදලා සිහි කළ යුතු වේය නිතැත්
    කෙසේ වුවද මේ කවි පෙළ කියවු මට හරි රසවත්

    හරි ලස්සන අදහසක්.. අකුරු වල වැරදි ටිකක් තිබිලා මං හැදුවා අක්කේ කවි වලට කිසිම හානියක් නොවෙන්න...තව ලියන්න ජය!

    ReplyDelete
  4. මල් සුවඳට සිල් සුවඳත් මුසුවි තැන නිවනයි
    සල් සපු නා මල් තිබුණට විකුණන්නට බැහැමයි
    කල් බලමින් සැදි ලෝකය පුංචි නුඹට උරුමයි
    මල් කෙල්ලේ හෙට ලෝකය නුඹ ජයගත යුතුමයි

    ඔබේ පද වැල ....
    සිත රැඳී ....,
    හද බඳී.... ,
    සත විඳී ...
    දිරි දිදී...

    ReplyDelete
  5. "දෙවියන් හට භාර වෙන්න කාසි පනම් අපට නැතෙයි"
    දෙවියන්ගෙන් පිහිටක් ලබන්න පුළුවන් මිල මුදල් ඇත්තන්ට මිසක් පිහිටක් අවශ්‍ය අසරණයන්ට නෙවි කියන අදහස වර්තමානයට හොදින්නම ගැලපෙනවා නේද?

    ReplyDelete
  6. "දෙවියන් හට භාර වෙන්න කාසි පනම් අපට නැතෙයි"
    දෙවියන්ගෙන් පිහිටක් ලබන්න පුළුවන් මිල මුදල් ඇත්තන්ට මිසක් පිහිටක් අවශ්‍ය අසරණයන්ට නෙවි කියන අදහස වර්තමානයට හොදින්නම ගැලපෙනවා නේද?

    ReplyDelete
  7. @බින්දි,
    නංගියේ පැතුමටත් අදහස් වලටත් ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  8. @ චතුරංග මල්ලි,
    ස්තූතියි! ඔයාලගෙ අදහස් මට ශක්තියක් .

    ReplyDelete
  9. @ අසංක මල්ලි,
    ගොඩක් ස්තූතියි! මල්ලි, වැරදි නිවැරදි කිරීම ගැන. ඔයාලගෙ වටිනා අදහස් මට ඉදිරි ගමනට ශක්තියක් .

    ReplyDelete
  10. ස්තූතියි! චන්දි නංගි, දෙන්නාම නම ලියන විදිහ විතරයි වෙනස් නේද? කෙනෙක්ගෙ දුකේදි දෙවියන් ලග ඉන්නවද? කියන එක සැකයක්! කතරගම ගිහාම නිල් කොළ තියෙන ඇත්තන්ට ඉක්මනින්ම දේවාලයට යන්න පුලුවනි නේද? මගේ නම් ඒ ගැන පැහැදීමක් නෑ. නමුත් දේව විශ්වාසයකුත් නැති නිසා මට වරදක් නෑ.

    ReplyDelete
  11. චන්දි;

    මලෙහි සුවඳට
    හිතේ සුසුමක් එකතු කර
    අනුනට පින් ගන්න
    ඇගේ පව් මිල කරන කෙල්ලන්

    හමගිය කටහඬින්
    "අනේ අපෙනුත් ගන්නකො මල්"

    මලෙහි මෙලෙකට ලොබ බැඳ
    ගොරහැඩි අතින් උදුරා
    පින් ගන්ට මල් පුදන සුදනන්

    වට්ටියේ තරමට
    ඒ ඒ අයට බෙදනා
    නේත්‍රා පූජාව කෙරුවට
    තවම නෙත් අඳ දෙවියන්

    ReplyDelete
  12. @ චාන්දී අක්කා

    මගේ නම චන්දිමා. ඉස්සර යාළුවෝ ආදරේට කිව්වේ චන්දි කියල. මම මේ දැන් ඉන්න රටේ පදිංචි උනාට පස්සේ මෙහෙ කට්ටියට මගේ නම දිග වැඩි නිසා Chandy කියල කොට කළා. එත් උච්චාරණය නම් වෙනස්. චෑන්ඩි කියලයි කියන්නේ. මුලදී මට මේකට හොඳටම හිනා. පස්සේ මමත් පුරුදු උනා. දැන් මගේ නම චන්දි නෙමේ චෑන්ඩි! හිකිස්

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................