Tuesday, July 12, 2011

ඉලන්දාරි සමය ගමේ - part 1






ඉරිමා උදේ පිබිදි ඇඟමැලි                   කඩලා
කඩ මණ්ඩියට ගියොතින් නම් හොඳ   හිතිලා
වතුර පොදක් ගෙන ගත මෙන් සිත     දොවලා
කමිසය උඩින් දැමුවෙමි මිදුලට            බැසලා

මිරිස් පැදුර වේලෙන්නට දැමු                අම්මා
මිදුලේ නංගී දැමු රටාවේ අඩි                දැම්මා
ලි‍‍‍‍ඳේ බොලොක්කය කිරි කිරි හඬ         නම්මා
සිතේ සතුට තව වැඩි කර කර                දැම්මා

තවමත් අව්ව ගස් අතරින් ඇත             මිදුලේ
වෙනදා මෙන් තවම නැත එය ගෙයි   ඇතුලේ
එමඟින් පිබිදී සුවඳක් දෙන මල්        කැකුලේ
එකට එකතු වී මොනවද උන්              ගුගුලේ

සුමනේ යන හඬක් නගමින් අමර         කමල්
සයිකල් රිම තල්ලු කරමින් ගහන         විසිල්
ගජ මිතුරෙකි ආරච්චිගේ පුතා                විමල්
තවමත් ඔහු නැතේ පෙරදා නටපු        තොවිල්

අම්මේ මම යනවා කියමින් බැස්ස            විට
හනිකට වරෙන් යැයි කිව්වා අම්මා           මට
මිතුරන් සමඟ එකතුව පාරේ                  මැදට
ටොමියත් අපේ පස්සෙන් එයි     නොතනියට

කළු බණ්ඩා සිල්ලර කඩ                    මුදලාලි
අප යන විට ගළවනවා දොර                   ලෑලි
අපිත් උදව් දුන්නෙමු නොව              කම්මෑලි
දොරින් එබී බැලුවයි දුව                  සමන්මලී

ඉදුණු කෙසෙල් කැන ඉදිරියේ         එල්ලාලා
අද මොකදැයි පරක්කු මේ                විමසාලා
ආරච්චිගේ ගෙදර තිබුණු තොවිල්           බලා
ගෙදරට එනකොට හොදටම රෑත්          වෙලා

දාං ඉත්තෝ ඇදෙනවා එකිනෙක           අතට
වෙනදා මෙන් නෑ කෙනෙකුන්         පරදන්ට
හකුරු සමඟ කහටත් ලැබුණා                අපට
එය බී පිටවුවා පවසා                            සතුට

පන්සල පැත්තේ ඇදුනානම් හොදයි       වගේ
පොඩි නම ඇත්තේ බලමින් මෙන් පාර ම‍ඟේ
හිමිනම තවම නෑ දන්නේ මහණ            අගේ
එනිසයි තවම පීනන්නේ පහළ              ගඟේ

                            බලාපොරොත්තු වන්න........
                                      ඉලන්දාරි සමය ගමේ - part 2

22 comments:

  1. මරු කවියක්ම තමයි.

    ReplyDelete
  2. ඇත්තටම ඒක ගොඩක් ලස්සනයි..
    "දොරෙන් එබී බැලුවයි දුව සමන්මලී" හික්ස්! නැත්නම් ඉතින් උදවු වෙන්න යන්නෙ කොහෙද.

    ReplyDelete
  3. ගමක සිරිය හොඳින් පෙන්වන කවි පන්තියක්. අසංක මල්ලි, ගම්මානෙ සිරියත් ඒ ආශ්‍රිතව ජීවත්වෙන අයත් ගැන හොද හැගීමක් නැතිව මෙහෙම සාර්ථක කවිපන්තියක් ලියන්න බැහැ. ඉතින් ඔයාට ඉදිරියටත් මෙවන් උසස් නිර්මාන කරන්න ලැබේවා! කියල සෙනෙහසින්ම පතනවා. දොරින් එබී බැලුවයි දුව සමන්මලී....... මගෙත් හිතේ ඇඳුනා.

    ReplyDelete
  4. පෙර කල ගමේ විත්ති කියූ සොහොයුර
    බොහොම තුතී මතක් වුනා මටත් ගම
    පොඩි කාලේ සිරිය නැති මුත් දැන් මෙකල
    තවමත් සිතින් ගිය හැක බාලේ වෙතට

    කවියෙන් අසිරි මවනා ආසිරි සොයුරා
    ඔහු වෙත පුදමි මා ආසිරි සිත වපුරා

    ReplyDelete
  5. ගමක මිහිර සිති අයුරින් මම ලිව්වා
    Praසන්ன මරු කවියක් ලෙස මට කිව්වා

    ස්තූතියි ප්‍රසන්න.......

    ReplyDelete
  6. හංසි සොයුරි මොනවාදෝ කියනවනේ
    සිනා පහළවුණි මටනම් හොදට අනේ
    මොනවා වුණත් ලස්සන බව කියනු පෙනේ
    තුති පුද කරමි ඔබ හට මා සොයුරියනේ

    ReplyDelete
  7. සිතිවිලි රූ මවන්නට මේ කවි පෙළට
    හැකි වු බව පෙනේ චාන්දි අක්කාට
    එතරම් ගමක මිහිරක් විද නැත්තාට
    ගමේ රසය දුන් බව ඇත පෙනෙන්නට

    ස්තූතියි චාන්දි අක්කේ.........

    ReplyDelete
  8. කියනා වදන ඇත්තකි සොහොයුර මෙකල
    නගරය වගෙද ගම තුළ ඇති මිහිරි මල
    මගෙ මතකයට ආවා ප්‍රස්ථා පිරුළ
    "ලොකුවට හැදෙන මුත් ගෝවා වගෙද අල"

    ස්තූතියි චතුරංග සොයුරා.....

    ReplyDelete
  9. අදහස සහ කවි ටික පංකාදුයි . ඔය මල්ලි කොහොමද මේ ගම ගැන මෙච්චර හොඳට ලියන්නේ .

    මන් පොඩි යෝජනාවක් කරන්න කට්ටිය අමනාප නැහැ කියල හිතෙනවා . කවුරු ලිව්වා වුනත් කවි වල තියෙන හොඳ විතරක්ම කියන්නේ නැතිව අපිට බැරිද අඩුපාඩුත් පෙන්වල දෙන්න . අපිම අපේ හැකියාව දියුණු කරගන්න ඕන . ලොකු විචාරකයෝ නැති නිසා . මේක මටත් පොදුයි. මගේ කවි වලත් වෙනස් වුනොත් හොඳයි හිතෙන දේවල් පෙන්වල දෙන්න වයස බේදයක් නැතිව .හැබැයි කවියා කියන අදහසට බින්දුවක් වත් හානි නොකර මේක කරනවා නම් වඩා හොඳයි .

    ඔන්න අසංක මන් ඒ වැඩය පටන් ගත්ත අදම . තරහ වෙන්නේ නැහැ ඔන්න . මේකෙන් ඔයාගේ හැකියාව අවතක්සේරු වෙන්නේ නැහැ . ඔයා ගේ අදහස කියන්න මේ ගැන . මේ මන් හිතෙන පුංචි වෙනස්කම්

    මිරිස් පැදුර වේලෙන්නට දැමු අම්මා

    මිදුලේ නංගි ඇඳි සිත්තම් බිඳ දැම්මා



    එමගින් පිපි සුවඳක් දෙන මල් කැකුලේ

    එකට එකතු වී මොනවද උන් මතුලේ



    අම්මේ මන් යනවා කියලා බැස්ස විට

    හනිකට වරෙන් යයි කිව්වා අම්ම මට



    තව සමහර ස්ථාන කීපයක වචන දිගට අදින්නේ නැති වුනා නම් හොඳයි . ඒවා මේ ටයිපින්ග් මිස්ටේක් වෙන්නත් හැකි.

    ඔන්න මලේ තරහ වෙන්න තහනම් . හිතෙන් බනියිද මන්දා මේ බින්දී අක්කා මදැයි මාව විවේචනය කළා කියලා . සම්පුර්ණ පිරිසිඳු සිතින් මේ ටික කිව්වේ මල්ලි

    ReplyDelete
  10. ලස්සනයි කවි..අදහසත් ගොඩක් ලස්සනයි..මේකෙ දෙවෙනි කොටස බලපොරොත්තු වෙනවා

    ReplyDelete
  11. කවි ලියන තරමට නේ වරදින්නේ අර පිඟන් හෝදන තරමට කැඩෙනවා වගේ. මාත් දකින අඩු පාඩු කියන්නම්. මගේ එව්වටත් කට්ටිය එහෙම කළා කියලා කිසිම අවුලක් නැහැ, ස්තුතිය මිසක්.

    පොදුවේ කට්ටියටම මාත්‍රා මිස් වෙනවා වගේ. මේකට හේතුව ඔබ කවි ලියන විට එව්වා ඔහේ ලිවීමයි කියා මට හිතේ. ඔබ ලියු කවි ඔබ හිතෙන් ගයනවාද? මා නම් එය නිතර කරනවා. ගයන විටයි මාත්‍රා අඩුව පෙනෙන්නේ.

    දෙවැන්න තමයි කවියක වචන නැවත ගයන විට ඉබේම වෙනස් වෙනවා. සක්ක පද හැලී වඩාත් අරුත බර යෙදුම් එක් වෙනවා.

    එබැවින් නැවත නැවත හිතෙන් ගයන්න. නිකම් ඔහේ කියවන්න නොවේ ගයන්න.

    කලකට ඉහත මුහුණු පොතේ කවි ගැන සංවාදයක් ඇතිවුනා. මං වගේ අය විතරක් නොවෙයි කතාවේ හුන්නේ පතාක යෝධයින් හෂිත අබේවර්ධන ඩෝසන් ප්‍රීති වගේ. මෙහිදී හෂිත ගෙනා යෙදුම් දෙකක් ඔහුට ගරු අවසරයෙන් මෙහි යොදා ගන්න ආසයි. ඒ තමයි කවියක "කවි ශ්‍රමය" [යම්කිසි රීතියකින් කවිය ලියන්නට කවියා දරන වෙහෙස - සඳැස් හෝ නිසඳැස්] හා "නිර්මාන ශ්‍රමය" [කවිය තුල ඇති නිර්මාණයේ හරවත් බව රැක ගන්න දරන විශේෂ ශ්‍රමය]. මේ දෙකෙන් ම කියන්නේ කිකිළි බිත්තරේ දානවා වගේ ඔන්න ඔහේ ලියන්නේ නැතුව, ලිව්ව කවිය නැවත කියවා එහි අගය වැඩි කළ යුතු බවක් කියා මට හැඟෙන්නේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න කියලා වෙන්න ඕනේ.

    ඔප දමන තරමටයි මැණික් හැඩ වන්නේ. පිරිමදින තරමටයි පන්දුව දෝලනය වන්නේත් දඟ කැවෙන්නෙත්.

    ReplyDelete
  12. නිලට නිලේ වෙල්යායම දිලෙනවද

    ඇලේ දොලේ තිත්තයෝ උඩ පනිනවද

    එකා වගේ කවුරුත් වැඩ කරනවද

    සමන්මලී තවමත් මග බලනවද

    ReplyDelete
  13. බින්දිට ස්තුති එකිනෙකාගේ අඩු පාඩු පෙන්න දීමේ වැඩේට මුලපිරීම ගැන. අපි හැමෝම අංකුර කවියන් නිසා "සංවර්ධනාත්මක විවේචනය"(Constructive criticism)අත්‍යවශයි කියල හිතෙනවා අඩු පාඩු හදාගන්න. එක අදාල නිර්මාණයට විතරක් නෙවි පොදු වේ හැමෝටම උපකාරයක් වේවි. සුජීව කියන දේ මමත් අත්දැකලා තියනවා. නැවත නැවත ගායන කිරීමෙන් කවිය වඩා සුමට කළහැකි. ස්තුති ඔබ දෙපොළටම

    ReplyDelete
  14. මේ පිටුවට නිර්මාණ එවන්නේ කොහොමද?.. මේ පාරෙන් එන්න කියන ලින්ක් එක වැඩ නෑ..
    -සපතේරු උන්නැහේ.

    ReplyDelete
  15. බින්දි අක්කාගේ හා සුජීවගේ අදයස් වලට මමත් එකඟයි. එතකොට පෝස්ට් එක කියවලා කවි රස විඳින ගමන්, කමෙන්ට්ස් ටික කියවලා අපි වගේ අයට ඉගෙන ගන්නත් පුළුවන්. මැක්සා අයිඩියා එක...!!! එහෙනම්... ඊළඟ පෝස්ට් එකෙන් වැඩ පටන් ගමු.

    ReplyDelete
  16. රාහුල පොඩි නමක් වෙමි මම පිය සබද
    අමදමි මිදුල සැමදා අළුයම පිබිද
    වැලිකැට ඉහළ විසිකරලා මම නිබද
    ඒ ලෙස ලැබෙනු අනුසස් අවවාද අද

    ස්තූතියි බින්දි අක්කේ පටන් ගත්ත වැඩේනම් උත්කෟෂ්ඨයි.විශේෂයෙන් මගේ කවියකින්ම..

    ReplyDelete
  17. ස්තූතියි අංජලි
    දෙවන කොටසත් ලඟදීම පිටකරන්න බලාපොරෙත්තු වෙනවා.ඔයාලගේ දිරි ගැන්වීම් නිසාම ඒක ඉක්මණ් වෙයි.........

    ReplyDelete
  18. සුජීව අයියේ ගොඩක් ස්තූතියි වැරදි පෙන්නල වගේම කවිය ගැන අපි නොදන්න දේ කියලා දුන්නට

    මං මේ කවි ලියන්න පටන් ගත්තේ ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරට..අනික මම ඕක දිගටම කළෙත් නැහැ.මං කවිමුතුමල් වල දාපු මුල් කවිය ලිව්වේ 2008 ඊටපස්සේ කාලයක් ගිහිං තමා ආපහු ලියන්න පටන් ගත්තේ.කවි ලියන කෙනෙකුට තියෙන්න ඕනේ කරන අත්‍යවශ්‍යම ගුණාංගයක් තමා සතතාභ්‍යාසය.සමහරවිටෙක කාර්යබහුල සමාජය හින්දම වේලාවක් ලැබෙන්නේ නෑ කවි වලට.....

    ඉතිං සුජිව අයියා කියන විදියට හොදට ඔප දාපු මැණික්,‍දඟ කැවෙන පන්දු වගේ කවි ලියන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒකට මේ දුන්නු උපදෙස් බොහොම වටිනවා....

    ReplyDelete
  19. දෙවැනි කවිය ලඟදිම දෙනවා ඔන්න
    දැන්නම් ‍කියනු බෑ කුතුහල් අවුසන්න
    ලැබුණු විගස අරගෙන එය කියවන්න
    අහපු ප්‍රශ්ණ හට පිළිතුරු ලැබගන්න

    thank you Chandy..........

    ReplyDelete
  20. @සපතේරු උන්නැහේ

    මේ පාරෙන් එන්න කියන ලින්ක් එක පට ගාලා කල් පනිනවා කොච්චර දැම්මත්.පුළුවන්නම් ඔයාගේ email ඇඩ්රස් එක මට එවන්න.මම invitation එකක් එවන්නම්...

    ReplyDelete
  21. මමත් ඔයාලගෙ අදහස් වලට එකඟයි. අපි එකිනෙකාගේ අදහස් වලට ගරුකරන්න ඕනේ. සමහර වෙලාවට අපි නිර්මාණයක් කරත්දි අපි ඒ අදහසේම ඉන්න කොට වැරදි අපිට පේන්නෙ නෑ. නමුත් කියවන කෙනාට ඒකෙ වරද පෙනෙන්න පුලුවන් අපිට වඩා හොඳට. ඉතින් එහෙම දකින අය ඒ ගැන කියන කොට අපිට ඒවා හදාගන්න පුලුවන් කියන එක මමත් හිතනවා. බොහෝ වෙලාවට මම කීප පාරක් කියෙව්වත් මගේ හිතේ ඇදිල තියෙන දේට වහල්වෙන නිසා මටත් එහෙම වරද හොයාගන්න අමාරුයි. ස්තූතියි! හැමෝගෙම අදහස් වලට. ලොකු සතුටක් ඔයාල එක්ක ඉන්න එකත්.

    ReplyDelete
  22. ලොකු අක්කා said


    ලස්සන නිර්මාණයක් මල්ලි. හරියට පිටිසර ගමක ‍ඉන්නව වගේම ලියලනේ. ඇත්තමයි ආඩම්බරයි ඔයා ගැන. මේ කොලුවො...... කවුද සමන්මලී.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................