Monday, December 5, 2011

ආසයි මට තාමත්!


සුදු වැලි මිදුලේ කොලපත මත හිඳ

තක්කිත තරිකිත රවුම් ගසන්නට

පොල් පිති ගොන් වස්සා උඩ නැගලා

අයියට කියලා කාර් පදින්නට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්



පාට සරුංගල් ඈත යවන්නට

කුරුම්බැට්ටි මැෂිමේ හැඩ දමලා

ඔළිඳ මදටියා බොත්තම් අල්ලාලා

පාට ගවුම් පොඩි ඇඳුම් මසන්නට

ආසයි මට තාමත්

මල්ලියෙ ආසයි මට තාමත්



සීතල පින්නේ මුතු පාවඩ මත

චක්ගුඩු චක්ගුඩු චක්ගුඩු කියලා

ලන්ද එහා කෙළවරට දුවන්නට

බෝවිටියා දං දෙතොල් තෙමන්නට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්



දොළ පාරේ ගල් තලාව මත හිඳ

දණ්ඩි පැටව් උඩ පනිනු බලන්නට

පුංචි දෙපා පොඩි සිසිල් කරන්නට

රබර් පියලි පොඩි බඹර තනන්නට

ආසයි මට තාමත්

මල්ලියෙ ආසයි මට තාමත්



කෝම්පිට්ටු බත් ඉදිලා හරිම රසයි

බිත්තර හොදි හදලා හනි හනිකට

නෙළුම් කොලේකට බෙදලා දෙන්නට

එක්කන් යන්නට පුංචිම කාලෙට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්