Monday, June 27, 2011

මට හමු වූ පුංචි මම

වෙහෙර පාමුල
දෙදන බිම ඇන
කියූ ගාථා
තවම සිහිවෙන
       පිටු නොපා සිටි
          වගේ මිතුදම්
          ඇඳුනු මැදුරේ
       අනගි සිතුවම්
අතුල සුදුවැලි
නැගුන හසරැලි.
පුංචි දැරිවිය
හමුවුනා යලි...
      අහුලා අහුලා
   වැටුණු බෝපත්
       රැකුණි වියළී
    අතර පොත් පත්
ඇවිලී ඇවිලී
පහන් වැටි වල
දැවුනි දොම්නස්
රැදුණු සිත් වල
     බැතින් දැල්වූ
    සුවඳ කූරුත්
   දැනෙයි  හීනෙන්
     වගේ තාමත්
ගෙවා ගව් දුර
නොදා තව කල්
සදා බැතියෙන්
පුදමි සිත් මල්
      කවරදාවත්
 නොවේ පැරණිය
  දෙවෙනි මව
වැනි මගේ කැලණිය

...........  මුණු පොතේ ''කැළණි කළා හවුලට '' බැඳුනු පසු අලුත් වූ මගේ කවි හිත මෙසේ ලීවෙමි.


 
  photo from

Wednesday, June 22, 2011

පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි


විරිදුව කවි කොලෙන් ඇරඹුන කතන්දර   
බ්ලොග් පිටු වල ද නිම්නද දෙයි නිරන්තර  
සුමිහිරි කතා හැකි විදිහට මතක් කර
ලියමුද අපිත් කවියෙන් රස හැඟුම් බර

“කතන්දර” ලියන හැටියට කතා මෙගා
මටත් ලියන්නට සිත්විය කවට නඟා
මෙයත් තවත් සීරිසයකි හරිම දිගා
මෙගා නොවෙයි මේකේ නම තමයි පගා

-----------------
උසස් පෙලට ලියලා ප්‍රතිපල පැමිණ
මටත් නොරට යන්නට ඉඩ කඩ ලැබිණ
හදිස්සියේ මයි ඔක්කොම වැඩ යෙදුන
තවත් දෙමාසයකුයි ඇත්තේ යන්න

එරට ඉඳං මෙරටට ආ බුවෙක් හුනි    
නොරට ගැන මෙමට චිස්තර කියා දුනි
“නුඹට නැතිද ලයිසන්?” ඔහුගෙන් ඇසුනි
“එරට එකක් ගන්නට එය උදව් වුනි”

ඉතින් කොහොම ගමි රියැදුරු බලපත්තේ
හිතින් මටත් හරි කරදරයකි ඇත්තේ
“යමන් මං දන්න තැනකට අපෙ පැත්තේ”
මගෙත් එක්ක යන අනිකා එය දත්තේ

දෙන්නම හෙමින් ගිය විට ලර්නර් පොලට
උන්නා එකෙක් ලෝකෙම රවටන ජයට
“මල්ලිල නිකම් ගන්නව නම් යන කමට
දෙන්නම් පටස් ගා චුට්ටක් වැඩි මිලට”

කරනට තිබුනෙ නැහැ අපටත් වෙන කිසිවක්
දෙමසට කරන්නට ඇත තව වැඩ දහසක්
"ඉඳහිට ආවාම ඇති ඉඩ ඇති දවසක්
ගැනුමට හැකිය ලයිසොම නැහැ කරදරයක්"

මිනිහා එදා හිට සතියට වරක් මෙන  
මැස්ඩා වෑන් එකටට අප දමා ගෙන
පස්සා සීට් වල රොත්තක් ඔබා ගෙන
දුන්නා පාඩමක් තියරිය කියා දෙන

තියරිය මිසක නැහැ අප ලද අවකාසේ
එළවන්නට පුරුදු වන්නට අප රිසි සේ
බොහො විට සියලු දෙන නිමකල පසු දවසේ
සුළු මොහොතක් ලැබුණි ඉස්සරහට යන සේ

යන්තම් අල්ලලා වාහන කලාව
ටෙස්ට් එක කරන්නයි දැන් මේ වෙලාව
ට්‍රේනර් බාරෙකෙන් අර ගෙන “ජරාව”
නගරෙට ගියා මුණ ගැසුමට හොරා ව

පටන් ගන්නෙ වාචික පැන තුනක් අසා
දකුණට හැරෙන සලකුණ දුනි කියන ලෙසා
දෙවනුව වමට හරවන සලකුණ නොලසා  
අපෙන් එකෙකි මේ එක්සැමිනර් මිනිසා    

ඉන්පසු පාර දිගටම මහ ජරමරය
තනියම අරන් යන්නට දන්නේ නැතිය
තව පොඩ්ඩෙන් බැරල් බානා තඩි ලොරිය
මගෙ “හුරු අතින්” ගෑවෙනු වලකනු බැරිය

ටෙස්ට් එක කරන්නට ආ කොල්ලන් අතරේ
හිටියා එකෙක් ඌ මගෙ හොඳ හිත මිතුරේ
උගෙ අයියගේ රිය  පදවනවා නිතරේ
ඊයෙත් ගිහින් නඩයක් ගෙන දුරු කතරේ

මිනිහා උන්නෙ පිරෙනා තුරු දහ අටය
ඔය ලර්නර් මැජික් ඌ හට අනවැසිය
ගත්තේ වාහනේ කෙලි බඩුවක් ලෙසය
මිනිහා ඔහේ යනවා නැහැ ජරමරය

ටිකක් දුර ගිහින් මතු වී පුරුදු ගති
අතක් ගියර් එක උඩ ඌ තබා ගති
තවත් ටිකක් ගිය පසු රිය නතර වෙති
මෙතෙක් කරපු අයගේ ප්‍රතිපල කියති

අපට ලැබුනි පිටසන් පත සමග කොලේ
හොඳට දන්න කොල්ලට නැහැ එහෙම කලේ
“මෙහෙට එන්න” කියලා ඔහු ගියපු කලේ
“ඔහෙට ලැබෙන් නෑ ලයිසොන් එක” ගුගුලේ

“අනේ සර්  මොකක් දෝ මා කල වරද?”
“එක’තින් වීල් එක අල්ලන එක හරිද?”
අසමත් උනා ඌ හින්දා පොඩි වරද
මම ගොඩ ගියා ලොකු ලොකු දේ සිදු වුව ද

ඔහොමයි උනේ ලයිසන් ගත් කතාව  
ඌ කල වරද ලර්නර් නොම ගෙනාව
ආපහු ගෙනත් එක දවසට එයාව
ඌ ගොඩ ගියා අල්ලා ගෙන කලාව     

Thursday, June 16, 2011

ඒත් හැබැයි නරකක් නෑ මට ඇත හොඳ වාසි වී....




1.නුගේගොඩට දුර     නැත               
   එය ඔබ අත ලඟ       ඇත                               
   මිනිසුන් නිතරම ගැවසේ                                  
   ජනගහනය එහි        ඇත                                  


                                2.එකමත් එක   මිනිසෙකි             
                                   හැට පැන්නා    පමණකි 
                                   දවසක්දා  නුගේගොඩට               
                                   ඔහු යන්නේ   බසයෙනි  

                                3.බැලු හැමතැනකම    කඩ   
                                   පුරවා ගැනුමට          බඩ
                                   ගොඩවූවා    හෝටලයට
                                   එහි ඇත්තේ ලොකු  කුඩ  

    4.කුඩ කන්නට              පුළුවන
       එහෙත් ඒවා            නොදිරන
       මෙන්න මෙහෙම කෑමත් ඇත
       කට දිව රස                පිනවන 

             

              5.එම කඩයෙන්           එළියට                         
                 බැසගෙන ඔහු ආ            විට
                 නෝනෙක් ඔහු හට බැන්නා
                 උස්සාගෙන රෙදි            පට

             6. හේතුව            හැප්පීමද ?
                          නැතිනම් වෙන  කුමක්ද ?
                                             " නාකි විසේ ගෙටත් උසේ "
                                             කියා ගියා එම           ලඳ  


 7.රෙදි කඩයක් වෙත       ගියා       
    සරමක් ගන්නට           කියා       
    කොටු කොටු සරමක් ගත්තා       
    දුන්නා බිල්පත              ලියා         

                   8.ඔහු හොඳටම බිය    වුණා
                      දවල් තරුත් විසි      වුණා
                      නැවතත් එය දී     කඩයට
                      ඔහු යන්නට      සැරසුණා


9.ඔහු යනහැම           තැනකම
   වෙනවා ගෝරි          නිතරම
   ඔහු කිව්වා මෙන්න මෙහෙම
   " නඟරේ වගේ නෑ          ගම "         10. ඔහුව අතරමං             වුණා
                                                             හැම තැනකම     කැරකුණා
                                                             ඔළුව හැරුණු අතකට  දැන්
                                                             ඔහු යන්නට        සැරසුණා          11.ටයි දාගත්          මහතෙකි
     දිග කලිසම්       ඇන්දෙකි
    "මහත්මයා මේ කොහේද ?"
     ඔහු ඇසුවේ        පැනයකි

12.ආඩම්බරයක්            නැති
     නිහතමානී ගති          ඇති
   " නුගේගොඩයි මේ නඟරය "             13.ගෙදර යන්න          සැරසිණි
     පැවසුවේ දමමින්       හති                  හාමිනේ ගැන          සිහිවිණි
                                                            මොනවද ඔහු ගන්නෙ ඇයට
                                                            රෙදි කඩයට ගොඩ       වුණි 

  
                      14.ගියා සාරි තිබෙන           තැනට
                           සාරි තිබේ පාට                  පාට
                           එතැන ඉන්න ගෑනු         ළමයා
                           මෙන්න මෙහෙම කියනවා මට 

15.පිරිමි අඳින සාරි              නෑ
     අපි ලඟ බොරු චාටු        නෑ
     ඇත්ත තමයි මේ කියන්නේ
     පිරිමි අඳින සාරි              නෑ....         16.නැතුවට වෙන             කාරිය
                                                               මට ඉන්නවා              බාරිය
                                                               දැන්වත් දෙන්නකො මා හට
                                                               ඔය ලස්සන                සාරිය


17.කවුන්ටරය වෙත      ගියා
     මිල මුදළුත් එහි        තියා
     එහා පැත්ත හැරුණේ ඔහු
     ගෙදර යන්න යමි     කියා

                              18.බස් නැවතුම් පොළ  වෙත
                                   යන්නට නම් දුර       නැත
                                   ඉක්මණින්ම යා යුතු   වේ
                                   ඔහු මෙතැනින් වෙයි  චුත


19.මිනිසුන් හැම  තැනකම
     ගැට කැපීම       නිතරම
     ඔබ රැකීම කළ යුතු වේ
     මුදල් පසුම්බිය       තම

                               20.මහ සෙනඟක්   අරගෙන
                                    නුගේගොඩට පැමිණෙන
                                    මෙය ලංගම බස්  රථයකි
                                    රෝද හතර     කැරකෙන


  21.අමාරුවෙන්       එල්ලුන
     බස් රථයේ හැම        තැන
     ඇඟිලි ගසන්නට ඉඩ නැත
     කර මත ඇත හැම     දෙන

22.හැම තැනකම බර         බර
     එහි ඇත යුද්ධය            මර
     ටිකට් ගන්න ටිකට්   ගන්න
                                      කියනවා කොන්දොස්තොර
23.ඉදිරියටම     ඇදෙනවා
     එක එක අය    බහිනවා
     ඒත් ඉතිං සමහර     අය           24.ජුබිලිකණුව පසු        වුණා
     එක එක තැන  නිදනවා                මිරිහානෙට ලං          වුණා
                                                       ඇඹුල්දෙණිය ලඟ ලඟ එයි
                                                       සීට් එකක් හමු           වුණා

                                  25.පොඩ්ඩක් ඇල වී  ඔහු
                                       බහින තැනත් වී    පහු
                                       මහත්මයා බහිනවාද ?
                                       එවිටයි පිබිදුනෙ මොහු
26.තලපත්පිටියෙන්       බැස
     ඔහු තම හිස කස        කස
     හාමිනෙ දැන් නිදිද දන්නැ
     හොඳ බත් හැලියක්     පිස
   
                        27.නෝනෙකි වේගෙන් යන
                             ලොකු මළු අත හැම තැන
                             ඔහු දැක්කේ නැත මේ ලඳ
                             එක් විටදිම          හැප්පුන
               
28.දෙනවද මට         සමාව                29.මළු සීකඩ        විසිරිලා
     වුණේය පොඩි      පමාව                    තම මල්ලත්    අහුලලා
     "මේ මිනිහා බීලා වගෙයි"                   නිවස බලා දිව්වෙ   ඔහු
     ගියාය ඇය            රවාම                    දැන් හොඳටම රෑ වෙලා    

30.දොරකඩ ඇත            බාරිය           31.සද්ද නොකර           ඇතුළට
     ඔහු ලඟ ඇත             චාරය                ගියාය හාමිනෙ              ගෙට
     හාමිනෙ දැන් බනින්ට පෙර               "මොනාද මේ ගෙනත් ඇත්තෙ"
     ඔහු දුන්නා                සාරිය                සරමකි පෙන්නුවෙ          මට

                                      32. දැන් මා හට      තේරුණි
                                            බඩු මළු ඇත මාරු       වී
                                          "ඒත් හැබැයි නරකක්  නෑ
                                            මට ඇත හොඳ වාසි     වී "  


අසංක  ආසිරි
2008.04.20

Tuesday, June 14, 2011

කවි මුතු මල් සුල මුල..............


මේ බ්ලොග් එක ගැන ටිකක් විශේෂයෙන් කියන්න ඔනේ.මං හිතනවා ලෝකය පුරාම විහිදිලා ඉන්න සිංහල කවි කිවිදියන්ට ‍මේක ලොකු තෝතැන්නක් වෙයි කියලා.මේක පටන් ගන්න ප්‍රධානම හේතුව වුණේ "බින්දිගේ නෙළුම් විල" බ්ලොග් එක. ඒකේ සුලමුල මෙහෙමයි.
           දවසක් බින්දි  හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ කියලා post එකක් දානවා.ඒක කියවන්න මෙතනින් යන්න. ඒක කියෙව්වට පස්සේ ලාවට වගේ ලියන්න පුළුවන් වුණු කවි හිත් ඇවිස්සෙනවා.


 අසංක ආසිරි  said..
              මාර වැඩේ මේ දිනවල කවි හින්දා
         කොහේදෝ තිබුණු කවි සිත මැවිලද මන්දා

         මගතොට නිවස බස්රථ තුළදීම හදා
         දෙන්නට හැකිය ඕනේම කවියක් සාදා
ඊටපස්සේ බින්දි මෙහෙම කියනවා


Bindi said...
          මටත් සිදුව ඇත ඔබටත් වුනු දේම

          කවියෙන් පිරි ඇත අද මගෙ මුළු ගේම
          මොනවා වුනාදැයි සොයනව මම තාම 
          බත් මුට්ටියත් පේනවා කවියක් සේම 
      
     ඔන්න මට දැන් මේ බ්ලොග් එකේ අදහස එනවා

          බින්දි දැන් වැඩේ නැගලා යයි නේද
          මට ආවා අදහසක් එය මම කියන්නද
          තව නව බ්ලොග් එකක් අරඹා ගොතමු පද
          තරහක් ගනු එපා පොඩ්ඩක් සිතනු සොඳ


        "කවි හටනක්" ලෙසට එහි අප නම තබමු
          අදහස හොඳද ඔබ ඒ ගැන කුම කියනු
          උදේ හවා එහි හොඳකවි පද ගොතමු
          එනමුත් පරණ බ්ලොගයට මුල් තැනම දෙමු

Bindi said...
         මම කැමතියි ඔබගේ ඒ අදහසට
         ලියනා අතර වෙන වෙන දේවල් රසට
         එන්නට ගොහින් හැක එහි මට හිතුන විට
         අරඹමු අපි ඒක පසු නොදමාම හෙට 

  මම හිතං හිටපු බ්ලොග් එක මෙන්න මෙහෙම එකක්

         නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
         කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
         දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
         එනිසා එක post එකකට comment දෙමු


        එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
        කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
        උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
        ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි


     උදා:
        අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
        ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
        ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
        ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන


        ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
        බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
        ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
        දින පතාම කවි පබැදෙයි මට සිත් වී


     ප.ලි
       මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
       බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

මං අන්තිමට කස්ටියට නමක් දෙන්න කියලා කිව්වා. ඔන්න ඊටපස්සේ

       කලකට කලින් හෙළ හෙළි නම් ඊ ලිපිනේ
       සුන්දර කවි කතන්දර නීති පද බැඳුණේ
       සැඩරළ කාලයේ විත් එය වල් වැදුණේ
       කවියට මෙහෙම පිටුවක් යළි නැහැ ඇරුනේ


       බින්දිය මෝදු කල කවියේ නෙලුම් පෙතී
       කාගෙත් හිතට සතුටක් ගෙනෙනවා නිතී
       නව කවි පෙතේ මුතු පද වැල් අකුරු ගෙතී
       කවි කිවිඳියන් උඩ අහසේ දිලෙනු ඇතී


       රස සුවඳින් මල් පුබුදන තෝතැන්න
       සුබ නැකතින් හැඩ නමකින් අමතන්න
       මෙහි නැතිනම් වෙන කිසිවෙක් නම දෙන්න
     "කවි මුතු මල්" ලෙස කැමතිද සලකන්න?

  නමත් හරි දැං. ඔන්න

      ඉහතදි අපේ සොහොයුරෙකුත් කිව් ලෙසට
      කාලය හොඳ නොවෙද දැන් කවි බ්ලොගයකට
                      
      දැන් ඉතිං වැඩේ තීන්දුයි.

       සුජී අයියා කියු ලෙස මා පිළි ගන්නා
       කවි මුතු මල් ලෙස දැන් එහි නම් ගන්නා
       චතුරංගත් එය හට මල් පුද දෙන්නා
       තව ටිකකින්ම ලින්ක් එක මෙහි ලියැවෙන්නා


       පෙර කී පරිදි නොව එහි කවි ලියැවෙන්නේ
       සිතේ නැගෙන සිතුවිලි රූ සමගින්නේ
       ඕනෙම කවියෙකුට තම කවි දමමින්නේ
       ඉන්නට හැකිය දිදුලන තරුවක් වැන්නේ

         ඒක තමා මේ බ්ලොග් එක පටන් ගන්න වස්තු බීජය වුණේ. කොහොමින් කොහොමින් හරි කමක් නෑ දැන් ඕනෙම කවියෙක්ට පුළුවන් මේකට කවි දෙන්ට.ඔයගොල්ලෝ නොදන්නවා වුණාට ඕගොල්ලන්ගේ  හිතේ කොනක තියෙන කවියක් නිසදැසක් මේකේ දාලා යන්න පුළුවන්නම් ගොඩක් හොදයි.එහෙමත් බැරිනම් මේ කවි ගැන ඔයාලට හිතෙන දේහරි කියලා යන්න.‍විශේෂයෙන් බින්දිට මෙන්ම අනෙක් අයටත් ස්තූතියි !