Thursday, October 18, 2012

උදය - කුමාරතුංග මුනිදාස


ඇසෙන්නේ කා කා  හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්


පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා


සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ


දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ


'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි

කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත









කුමාරතුංග මුනිදාස (1887 - 1944)

රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.‍
කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.

Tuesday, October 16, 2012

හිමිවිය සම්මානේ අයගම මෙනෙවියට......


මේ බව කියන්නේ සන්තෝසෙකින්          මම
ඔබ හට නැඟෙනු ඇත පැනයක් කරුණු     කිම

කලකට කලින් රජයෙන් දුන්              සම්මාන
කවුරුත් කියන්නේ රාජ්‍ය                   සම්මාන

අකුරුද ඇමිණුවා අප බ්ලොගයෙහිම           සිට
හිමිවිය සම්මානේ අයගම              මෙනෙවියට

කතා ගොඩක් ලීවා ඈ                        ළමයින්ට
වැඩිහිටි අයට වුව බොහොදේ ඇත           ගන්ට

තව තව ලියන්නට සතුටින් පතමු                 අපි
සුවඳ හමනු ඇත තව තව කැකුළු                  පිපී


            ඇය නමින් තනුජා එන් අයගමයි. මෙය විශේෂයෙන්ම කිව යුත්තේ ඇය කවිමුතුමල්වලද කවි පද ගොතන ලේඛිකාවක් වන නිසාවෙනි. 2011 වසරේ රාජ්‍ය සම්මාන දිනූ කෘති අතරට ඇයගේ කෘතියක්ද එක් වීම කවිමුතුමල්වල අපට ගෞරවයක් මෙන්ම සතුටක්ද ගෙනදෙන්නක් බව කිව යුතුයි. හොඳම ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය දිනා ගැනීමේ වරම් ඇය විසින් රචිත අහස්ගමට ගිය පුංචි සිත්තරා කෘතියට හිමි වීම මහත් භාග්‍යයක් ලෙස සිතේ. ඉදිරියටත් මෙවැනිම වටිනා කෘති නිර්මාණකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා යැයි කවිමුතුමල් වල අපි ඉතසිතින් ප‍්‍රාර්ථනා කරන්නෙමු.

Wednesday, October 10, 2012

හයිකු කවි - සකුරා පියලි හැලි


සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න

වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර

වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය

ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා

ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්

කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ

මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ

‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
තනිගුචි බූසොන් (1716-1783)

බෂෝගෙන් පසු ජපානයේ ජීවත් වූ දෙවන මහා හයිකු කවියා මොහුය. ඔහු ‘නග්න’ සිතුවම් සම්ප‍්‍රදාය ආලෝකමත් කළ දක්ෂ චිත‍්‍ර ශිල්පියාද වෙයි. ස්වභාව ධර්මය දෙස සංවේදීව බැලූ ඔහුගේ කවිවල ගැඹුරු අධ්‍යාත්මික සුවඳක් හැමුවේය.


Tuesday, October 9, 2012

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන්

කලක් ගොහින් මෙහි යළි ගොඩ වදින්නේ 
වෙනස් දෙයක් කරනට සිතා මං
සොයන්නටයි කවි මුතු මල් තලාවේ
කලක් සිතේ රැඳි කවියක කතාවක්

කුඩා කලේ අප පොත පත කියූ දේ 
සිතේ ලියවිලා සිතුවම් රටා මෙන්
ලියා මෙහි ඇතේ එබඳුම කවක් මා
සොයා ගනු රිසිමි පසුබිම් කතාවන්  

කිනම් පොත් පෙළක කවුද මේ ලීවේ
බසත් විරිත හා යුගයත් වටින්නේ 
නැතේ ද ඇසි දිසි ලෙස මෙය නඟා ලා? 
සියල්ල දැන ගන්නට රිසින් මා

සොයා සෙවුම්හල් වල සැරි සැරීමි
ලබා දුන්නෙ එක සෙවුමක්‌ පමණි ඉන්
එයත් පෙර දාක කවි මුතු මලේ හි
මෙමා දමා ලූ සටහන් පතක් වේ

පොඩිත්තියත් මෙය මා ගෙන් අසා ලා
උදෑසනේ හැමදා එය ගයන්නී
ලබා දෙතොත් තොරතුරු පහත කව් හී
බොහෝ ලෙසින් තුති පුදනෙමි ඔබට මා 

-------------

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් 

නැගෙව් කියන්නා වැනි දැන් මැ නින්දෙන් 
දොරින් අඩක් ඇරියා මැ මේ එන්නේ 
සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන් 

පියා හඹත් කූඩු වලින් කුරුල්ලෝ
ඉතා මැ මීරියි හඬ දැන් ඔවුන්ගේ 
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ 
අලුත් පණක් ගස් වලටත් ලැබීලා