Friday, July 22, 2011

පක්ෂි භාෂාව - ආනන්ද රාජකරුණා


            මට අළුතින් පොඩි වැඩක් පටන් ගන්න අදහසක් ආවා.ඒ කියන්නේ මේ බ්ලොග් එකේ දාන්නේ අපි ලියපු කවි විතරයිනේ.අපි පරණ අයගේ කවිත් නම් එක්කම (ඕනේනම් තව පොඩි විස්තරයකුත් එක්ක නම් වඩා හොදයි )මේකේ දානවා.එකෙන් ගොඩක් කට්ටියට කියවන්න ලැබෙනවා වගේම දන්නැති දේවල් දැනගන්න ලැබෙනවා විතරක් නෙවේ කවි රීතී වගේ දේවල් වුණත් දැනගන්න ලැබෙනවා.ඒත් එක්කම කවි ලියන උනන්දුවත් වැඩි වෙයි කියලා හිතෙනවා.අනික  internet එකේ හින්දා ගොඩක් කල් ආරක්ෂා වෙලා තියෙයි. පොත්පත් වගේ නෙමෙයිනේ.එතකොට අනාගතේ කවියට ආදරේ කරන අයට හරි බ්ලොග් ලියන අයට හරි ඒවා සෑහෙන වටියි කියල හිතන්න පුළුවන්.
            ඒ වගේම තව දෙයක් තමයි අපි post , comment වගේ දේවල් දානකොට පැරණි කවියෙකුගේ කවක් අවශ්‍ය වුණ ගමන් කෙළින්ම මෙතන link එක දාලා වැඩේ පහසුවෙන් කරගත හැකි වීම.මෙය සියල්ලටම පොදුයි. එනිසා ඔබ සියල්ලටම කවි දැමිමේ හැකියාව තියෙනවා. (කවියාගේ නම සදහන් කිරීම විශේෂයි). පටන් ගැන්ම තකා ආනන්ද රාජකරුණා කවියාගේ "පක්ෂි භාෂාව" යොදාගතිමි.

හදිස්සියක් වූ විට එක්තරා හඬක්
නඟා සියල්ලන් එක රැස් කරත් තෙපි
නයින් පොළොංගුන් දැක අන්තරාවකැය්
දැනුම් දෙතී අන් හඬකින් අපූරුවය්

ගසක් වැලක් හෝ ගොමුවක් කරා ගොසින්
බොහෝ දෙනා මල් පැණි බී උදම් බැවින්
අතුත් ඉතිත්හී රදමින් යමින් එමින්
ගයත් එකා වන් තුටු ගී අපුරුවය්

කුසුම් වනේ රුක් මුදුනේ ගුවන් ගැබේ
වහල් පළේ හෝ පොළොවේ කැදැල්ලෙහිත්
එකින් එකාගේ අනුරාග ගායනා
කුලේ සියල්ලෝ හදුනත් අපූරුවය්

වියෝගයක් වූ විට සිත් තැවුල් බැවින්
අමීරි වූ සෝක හඬක් නඟත් තෙපී
බයක් සැකක් නම් එය දන්වමින් අනෙක්
හඬක් නඟන්නාහු මෙයත් අපූරුවය්

කිසිත් හඬක් දැන් අරුණෝදයක් කියය්
අනෙක් හඬක් දැන් ඉරිමා උදෙය් කියය්
තවත් හඬක් දැන් එළි වී තිබෙය් කියය්
සියල්ලෝ මත් මේ හඬවල් හොදින් දනිත්

කිසිත් හඬක් වැස්සට කල් වනැය් කියය්
අනෙක් හඬක්  මල් පල ගැන්වෙතැය් කියය්
තවත් හඬක් ගිම් කල ළං බවක් කියය්
සියල්ලෝ මත් මේ හඬවල් හොදින් දනිත්

                                                  ආනන්ද රාජකරුණා (1885 - 1957)
                                                   ( ළදරු කව් මී,හතර වන ප්‍රමාණය ) 

8 comments:

  1. මේක නම් අසංක මල්ලී ඉතාම හොඳ වැඩක්. දැන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. උපරිම සහය මගෙන්. පුලුවන් වෙලාවට මාත් එක්වෙන්නම්. ස්තූතියි! මල්ලි ඔයාට.

    ReplyDelete
  2. කාලෙකට කලින් තරංගා ගෙ අහස් ගව්වේ කතා වුනා මෙහෙම කරමු කියලා. මේක නම් මාර හොඳ වැඩක්.

    -----------

    මේ කවි අගෙයි සඳැස් නිසඳැස් කතාඅවට.

    අපේ කට්ටියක් කියල තිබ්බ රංචාගොඩ ළමයා නිසඳැස් ලියනවා කියලා. මෙත් ඒ ස්ටයිල් එකමයි. මේ කවි ආර නිසඳැස් නොවේ. . මෙතන කවි වල මාත්‍රා බොහෝ විට ගැලපෙනවා. එලිසමයයි නැත්තේ. එළිසමය කියන්නේ අලංකාරයක් මිස චන්දසක් නොවේ. එනිසා මේවා සඳැස් කවි.

    ඔන්‍න‍ මං ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළා. මෙතන ඉඳං...

    සුදු කොඩි
    සුදු කොඩි
    සුදු කොඩි
    සුදු කොඩි
    ...
    ...

    ReplyDelete
  3. අදහස නම් ගොඩක් හොඳයි සහෝ... අපිටත් නොදන්නා දේවල් ඉගෙන ගන්න පුලුවන්. අනාගතේ මෙතන කවිකාරයන්ගේ සරසවිය වේවා කියලා සුභ ප්‍රාර්ථනා කරනවා...!

    ReplyDelete
  4. ගොඩක් විටින වැඩක්.. දිගටම කරගෙන යන්න..

    ඔබේ සේවයට සින්ඩියෙන් සුභපැතුම්.
    ඔබේ ලිපි දිගටම පළ වේවි.

    ReplyDelete
  5. වඩාත් සංවේදීව කවි ටික කියෙව්වේ දැන්. ඔබ දකිනවද මෙහි එක වෙනසක් අද අපේ ජීවිත එක්ක. මේ තරම් සියුම් විදිහට අපි අද කුරුළු හඬ ට ඇහුම් කන් දෙන්නෙ නැහැ. මේ තරම් ගොඩක් කුරුල්ලෝ අඬන්නේ ත් නැහැ. අපට අද [ඇහුම් කන් දුන්නත්] ඇහෙන කුරුළු සද්ද ටිකෙන් මෙච්චර දෙයක් හිතා ගන්න බැහැ.

    නාගරීකරණය ජනාකිර්ණභාවය පරිසර විනාශය, කුරුල්ලන් වඳවීම වගේ එව්වට අමතරව තියෙන කතාව තමයි අපේ පැරැන්නන් මේ කුරුළු ගීත එදිනෙදා යොදා ගත්ත තරම වැඩි බව. ඒ කාලේ වෙලාව බලන්න ඔරලෝසු අඩුයි. ජිවත් වෙන්නේ එලි පහලියේ [කුඹුර, වත්ත පිටිය වගේ], ගහකොළ වැඩියි. අනික මිනිස්සුන්ට ඉර පායන්න ළඟ වීම ඉර බහින්න ළඟ වීම වඩා වැදගත් කමක් තිබ්බා. විදුලි බලය නැති කාලේ, ආලෝකය සපයන ප්‍රධාන ප්‍රභවය නෙ. ඉතින් මේ ගොල්ලන් කුරුළු නාද වලට දුන්නු තැන වැඩියි. හුදෙක් සෞන්දර්ය පමණක් නොවේ ජිවිතයේ කොටසක් විදිහට.

    මාත් පුංචි කාලේ හැදුනේ ගමක. ගෙවල් වලට "ලයිට්" තිබ්බේ නැහැ. ලොකු වතු තිබ්බේ. මටත් මතකයි දවස පුරා ඇහෙන කුරුළු සද්දේ. පෙර වාසනාවට මේ යුගයේ කොනකට මටත් ගෑවෙන්න ලැබුනා.

    මේ කවි දෙක බලන්න.

    ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන්
    නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
    දොරින් අඩක් ඇරියාම මේ එන්නේ
    සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන්

    පියා හඹත් කූඩු වලින් කුරුල්ලෝ
    ඉතා ම මිහිරියි හඬ දැන් ඔවුන්ගේ
    සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
    අලුත් පණක් ගස් වලටත් ලැබීලා

    - කුමරතුඟුවන් [නේද?]

    අමතක නිසා ඇකාරය හලලා ලිව්වේ.

    මට මතකයි පොඩි කාලේ ඔය කවි හිතට එනවා ඉස්කෝලේ යන්න නැගිට්ටම. දැන් උදෙන් නැගිට්ටට කවිය මතක් උනාට ඒ දෙක පෑහෙන්නේ නැහැ. දැන් උදේටත් පට්ට රස්නෙයි. හුලන්ගත් නැහැ. කුරුල්ලොත් නැහැ. කාලය මැව් වෙනසක අරුමේ.

    ආ කවි විවරණය...
    මේ කවිත් සඳැස් කියා මං තුමා සිතති. එමෙන් ම එහි කාව්‍ය රිද්මය ගැලපෙන ලෙසට ලඝු හා ගුරු අක්ෂර යෙදීම නම් පටේ පට්ටය. එලි සමය නැතිවාට රිද්මය උපරිමයට ඇත.

    ReplyDelete
  6. @ සුජීව
    ඒ කියන්නේ එළිසමය නැතත් පදවල මාත්‍රා ගණන සමාන නම් එය සන්දැසක් කියලද? (අනේ මම එහෙමට කවි ගැන නොදන්නා නිසා සමාවෙන්ඩ ඕනේ).
    "ඉක්මනින්ම නැවත එතොත්
    මළවුන්ගේ අවුරුදුදා
    මටත් ඇහැකි ඇවිත් යන්න
    මලගිය ඇත්තන් එක්කම "
    (මහාචාර්ය සරත්චන්ද්‍ර)
    මේ කවියේ හැමපදේටම මාත්‍රා 12 බැගින් තියන නිසා මේක සන්දැසක්ද?
    ඒවගේම පළමු පදය සහ තුන්වෙනි වෙනි පදයේ මාත්‍රා ගන්නත් දෙවැනි සහ හතර වෙනි පදයේ මාත්‍රා ගන්නත් සමානව යෙදෙන විට ( එළිවැටක් නොමැතිව) සන්දැසක් විදිහට සලකන්ඩ පුලුවන්ද?
    මට මතක හැටියට ලෝකෝපකාරයේ කවි ඒ වගේ.

    ඔවා දෙනු පරහට
    තමා සම්මතයෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන
    ඔවා වැද්දන් දෙසන බණ වැනි
    (පළමු සහ තුන්වෙනි පද වල මාත්‍රා 9, දෙවැනි සහ හතර වෙනි පදවල මාත්‍රා 14)

    ReplyDelete
  7. [[Chandy
    ඒ කියන්නේ එළිසමය නැතත් පදවල මාත්‍රා ගණන සමාන නම් එය සන්දැසක් කියලද? ]]

    මං හිතන් ඉන්නේ "ඔව්" කියලා. වෙනස් මතයක් තියෙනවා නම් දන ගන්න ආසයි.

    දෙවැනි කවිය ලියු විරිත මා දන්නේ නැහැ. හැබැයි එය විරිතක් -> චන්දසක්. කෙටි විරිතේ [උදා: බරණැස් නුවර සිට]තියෙන්නේ 9-11-9-14.

    මේ පැත්තේ එන්න පරක්කු වුනා. ප්‍රමාදයට සොරි වේවා

    ReplyDelete
  8. නියමයි ...මෙන්න මන් අත් දෙකම ඉස්සුවා . අපුරු අදහසක් අසංක ..

    සුජීව ..නලිනි මේ පැත්තේ නැහැ වගේ . මටත් හිතෙන්නේ සදැසකට එලිසමයක් අත්‍යවශ්‍යම නැහැ කියලයි . සොයා බැලිය යුතු කාරණයක් තමයි.

    කවි පෙළ ගැන ...මමත් ඉතින් අතීත යේ සැරිසරන්න කැමති නිසා ඔය වගේ කවි වලට කැමතියි. පුංචි කාලේ අපේ පැත්තට හරියට කුරුල්ලෝ එනවා . දේශීය වගේම සංචාරක කුරුල්ලෝ.

    දෙමලිච්චෝ රංචුවක් මහා හය්යෙන් කෑගහන කොට අපි දැන ගත්තා සර්පයෙක් ගැවසෙන බව . කපුටා කරව් කලහම නෑයෙක් එනවලුනේ . කොහා කෑගහන්නේ අවුරුදු කාලෙට බව කවුරුත් දන්නවා. ලංකාවේ නම් පිටකොටුවේ වුනත් කපුටෙක් හරි ඉන්නවා .මෙහෙ නම් කුරුල්ලෙක් දකින්නෙත් කලාතුරකින් .

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................