Wednesday, July 20, 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද - බින්දියට දුන් පිළිතුරක්

ටික  දිනකට කලින් බින්දිය දියට හළ
කවි වියමනක් රැළි නැගුවා නෙලුම් විල

ඇය හට මා දුන්න කවි ප්‍රතිචාර පෙළ
පල  කරනට සිතුනි මේ කවි පිටිය තුල

"කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද?"
කියලා  පටන් ගත් ඇගෙ කවි සංවාද
පැටලී වාදයට සඳැස ද නිසදැස ද 
කීයක් තුවාළ ව රෝහල් ගත වී ද?

වල්පල් ලියූවට බින්දිගෙ නෙලුම් විලේ
ප්‍රශ්නය කිසි කෙනෙක් නැහැ අහවරක් කලේ
කටුරොද තවම පෙර මෙන් සුන්දර ද බොලේ
දන්නා කෙනෙක් ඇති දෝ මේ වියත් කුලේ

කටුරොද කොහේ තියෙනා ගම් පොජ්ජක් ද?
පලබර ගමට තවමත් හිරු පායත් ද?
නැතහොත් මේ රටේ ඇවිලුණු ගිනි යුද්ධ
අන් හැම තැන මෙන් ම එගමත් වනසත් ද?

ගිම්හානිය කියා ඇති දුක්බර ඇත්ත
ඩෝසර් කර දමා ඒ පල බර වත්ත
බොරු තණකොළ වවා වට කොට හැම පැත්ත
"සංවර්ධනය කර" බෙදල ද මේ හැත්ත

ගොඩ මඩ දෙකම අඩු ගානට මිලට ගෙන
මඩ ගොඩ කර දමා සාරය උරා ගෙන
කණු හිටවලා කොඩි බැනරුත් දමා ගෙන
නමකුත් "තෝනි බුෂ්" වාගේ දමා ගෙන

ඒ ගම මැදින් ගලනා මනහර නදිය
කුණු පුරවලා ලඟටත් යන්නට බැරිය
කඩ මණ්ඩියේ සද්දෙට මුළු ගම යටය
නගරය අසල නම් වනු ඇත මේ හදිය

පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
තකහනියක් ම වැන්දෙමි ගූගල් දෙවියන්

දෙවියන් වුවද නැහැ මේ ගම දෙසට හැරී
මුල් පිටුවෙහි නොවුනි කිසි සඳහනක් කෙරී
කවි ගී කතා අතරේ යට ගිහින් පෙරී
දුටු සටහනක් උපුටා නොදමන්න බැරී

"However Samanera Velivita Sri Saranankara born in 1698 in Velivita village in Galagedera entered the order at the age of 16 as a pupil of Ven. Suriyagoda Rajasundera, who had received upasampada ordination from Arkanese monks in 1697 at Suriyagoda (Kadaroddawa) Vihara at Pujapitiya. This village has been immortalized by poet Sagara Palansuriya (Keyas) in 'Sudo Sudu', the opening verse of which gives it as 'Katuroda'."

 
රුවන්  පුරේ හිමි අනඳය සාගරය
කේයස් නමින් පළකළ කවි ආකරය
නුවරට නුදුරු මේ ගම පූජා පිටිය
කටුරොද නමින් බොරු නමකින් ලියු හැටිය

කටුරොද යන්න ඔහුගේ කවි සිතට එන
කල්පිත ගමක් බව මෙතනත් ඇත හැඳින
ඇතැමුන් කියන සුද්දගෙ මුල් පොතේ එන
කටුරොද වැනි ගමේ නමවත් කියනු මැන

පූජා පිටිය කටුරොද බව ඇත්තක් ද?
සිවුරෙහි උන්නු කේයස් එහි උන්නෙක් ද?
නැතිනම් ඔහුගෙ මරණින් පසු කටුරොද්ද
කේයස් කියන සිතුවිල්ලක සැතපෙත් ද?

16 comments:

  1. අසා ඇති හැටියට නම් කේයස් සිවුරෙහි උන්නු බව නම් ඇත්තක්ය
    කටුරොද නම් මේ ගම මත බේදයට ලක් වූ බව ද ඇත්තක්ය
    කල්පිත වුවද කටුරොද ගම්මානය තුළ ඇති නොවැ හොඳ ගැමි සිරිය
    ඉතින් සබඳ තව වෙහෙසී සොයනු මොටද එතුමාගේ පැටිකිරිය

    මල්ලියේ ඔබේ පැබැඳුම හරි සිත් ගත්තී
    අන් අයට මෙන්ම බින්දිට හොඳ පිළිතුරකී
    කවි කම ඔබගේ හදවත පුරවා ඇති සෙයකී
    බඳිනු මැනවි කවි පද වැල් සිත සනසා මෙලෙසී

    ReplyDelete
  2. චන්දි; ස්තුතියි.

    ReplyDelete
  3. විසාල පරාසයක මනස විහිදුවන ඔබ කවුද හැබෑටම..????????

    ReplyDelete
  4. තිස්සයියා;

    හත් දෙයියනේ මේ මං ගැන ද කිව්වේ?

    කවුරුහරි ඔහොම එකක් කිව්වමයි ඔය :)

    ස්තුතියි ප්‍රතිචාරයට. මේ අපි අපි ම නේ. බ්ලොග්කරුවෝ. දවසක හමුවෙයි නේ. බ්ලොග් කාරයින් නිතර නිතර මුණ ගැහෙන්නේ.

    මාත් ඉතින් හද ගී පොතේ පිටුවක් ඉරා ගන්න බලාගෙන ඉන්න එකෙක් තමයි ඔන්න.

    ReplyDelete
  5. බින්දිය විලේ නැත ගොඩවී දුරු ගොසිනි
    ඒ අතරෙම මේ විදියට කවි බැඳිනි
    සුජීව සොයුරා අසනා පැනය දැනී
    දන්නා කෙනෙක් පිළිතුරු දෙන්න විගසකිනි.

    පෙර මෙන් අදත් කවිමුතුමල් රුව දුටිමි
    දවසින් දවස රුව ගුණ වැඩිවෙනු දුටිමි
    කවි රස විඳින්නට එන්නෝ සිත තුටිනි
    ප්‍රතිචාරයක් දුන්නෝතින් හරි අගනි

    ReplyDelete
  6. අදනේ දැක්කේ බින්දිය එහි ලියු කවි
    මටත් පවති මේ පැනයම හිතේ දැවි
    කටුරොද නැමති ගම ඇත්තේ හිතේ මැවි
    ලොවෙත් නෑලූ ලොවේ ගහේ නෑලූ ලොවි
    (ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ)

    ReplyDelete
  7. අපි කතා වුනා එකිනෙකා ගැන විචාරය කරන්න. මේක ලියන්න තරම් මා කවි කාරයෙකු නොවේ. එහෙත් මට හැකි පමණ තමයි මේ කියන්නේ. අඩු පාඩු ඇති [අනේ මගේ කවි වලත් කවුරුහරි අඩුපාඩු පෙන්නා දෙන්න]
    ------------

    අසංකගේ ඉහත කවිය ගන්නවා පුංචි විචාරයකට. කවියේ අඩුවකට වඩා එයින් මා කැමතියි එක කාරනාවක් මතු කරන්න.

    කවියක තියෙන අවශ්‍ය අංගයක් රිද්මය. රිද්මය ඇති වන්නේ කවියේ පදය කැබලි වන ආකාරය අනුව [සමා වන්න ටෙක් ටර්ම්ස් දන්නේ නැහැ. මා කළා අංශයෙන් ඉගෙනුමක් ලබලා නැහැ]. මෙහිදී ඔබ යොදන මාත්‍රා සැකැස්ම මත මෙය සිදු වෙනවා.

    [අදනේ] [දැක්කෙ] [බින්දිය එහි] [ලියූ කවි]
    4 3 6 5

    ඔන්න ඔහොම තමයි මේ කවිය ගයන විට මගේ හිතේ රිද්මය එන්නේ.

    දෙවන පදය ඔතනට සෙට් වෙන්නේ නැහැ.

    [මටත්] [පවතියි] [මේ පැනයම] [හිතේ දැවි]
    3 4 6 5

    මාරු කරන්න මුල් වචන දෙක.

    [පවතියි] [මටත්] [මේ පැනයම] [හිතේ දැවි]
    4 3 6 5

    දැන් බලන්න ගායනා කරලා

    අදනේ දැක්කෙ බින්දිය එහි ලියූ කවී
    පවතියි මටත් මේ පැනයම හිතේ දැවී

    වෙනස බලන්න කලින් කවි කොටස ගයලා

    අදනේ දැක්කෙ බින්දිය එහි ලියූ කවී
    මටත් පවතියි මේ පැනයම හිතේ දැවී

    ඔන්න ඔව්ව තමයි කවි ශ්‍රමය. කලකදී මෙව්වා හිතට [කටට] හුරු වෙද්දී ඉබේම එනවා. උත්සාහයක් දුන්නොත් විතරයි.

    අන්තිම පදෙත් හැදුවා මෙන්න.

    [ලොවෙහිත්] [නැතිය] [ගම නම් නැහැ] [ගහෙත් ලොවී]
    4 3 6 5

    --------------

    අදනේ දැක්කෙ බින්දිය එහි ලියූ කවී
    පවතියි මටත් මේ පැනයම හිතේ දැවී
    කටුරොද නැමති ගම ඇත්තේ හිතේ මැවී
    ලොවෙහිත් නැතිය ගම නම් නැහැ ගහෙත් ලොවී

    ReplyDelete
  8. ඕ.. මම හිතුවේ ඔබ මට වඩා වයස කෙනෙක් කියලා... :-)
    ඔබ මේ වෙබ් අවකාශයේ සංයමයක් ඇති, බොහොමත්ම ඇසූ පිරූ තැන් ඇත්තෙක් විදිහට මම දකින්නේ...

    ඔබ කවුරු වුනත් කමක් නෑ... සුජීව කොකාවල ලෙසින් මා දකින ඔබේ සටහන් / ලියවිලි වෙබ් අවකාශයේ හරිම අනන්‍යයි... අදීනයි... ඒ ගැන බොහෝ සතුටුයි...!

    ReplyDelete
  9. මා කිව්වේ මාත්‍රා ගැන ගැන කවි ලියන්න කියලා නොවේ. හුදෙක් ගායනා කිරීමෙන් මේක එනවා. ගනින්න අවශ්‍ය නැහැ. මා දුටු විදිහට වඩා වෙනස් විදිහට රිද්මය දකින්නත් පුළුවන්.

    ReplyDelete
  10. ස්තුතියි තිස්ස. මටත් බර ගානක් වයසයි තමා. සමහර විට ඔබටත් වැඩි ඇති. මගේ වයසේ උන් ඔබට අයියා කියා කියනවා දැක්ක නිසා ලිව්වේ.

    ඔන්න මං වෙනත් තැනක ඇඩ් කළා. අනුමැතිය දෙන්න හොඳේ.

    ReplyDelete
  11. ඇත්තෙන්ම සුජීව අයියේ ඒකනම් විශිෂ්ඨයි.කලිනුත් කිව්වා වගේ මම තාම කවි ලෝකේට අළුත්. ස්තූතියි සුජීව අයියේ මේව කියල දෙනවට.

    ඒත් නිවැරදි කිරීමක් කරන්න ඕනේ මෙන්න මෙහෙම

    මම දෙවැනි ‍පදේ දෙවැනි ‍වචනේ දාලා තියෙන්නේ මෙහෙමයි(පවති)
    "මටත් පවති මේ පැනයම හිතේ දැවි"

    නමුත් අයියා දාලා තියෙන්නේ(පවතියි)
    "මටත් පවතියි මේ පැනයම හිතේ දැවී"

    නමුත් මම හරිනම් මම දාලා තියෙන විදියටත් රිද්මය නැතිවෙනවාම නොවේද ?නමුත් අයියා යොදපු පදේ ගණ ඡන්දසට අනුව නිවැරදියි.ගණ ඡන්දස කියන්නේ මාතර යුගයේ කවියෝ භාවිතයට ගත්ත මාත්‍රා ඡන්දස වෙනුවට කොළඹ යුගයේ කවියෝ භාවිතයට ගත්ත රීතියයි.

    අයියේ මට අළුතින් පොඩි වැඩක් පටන් ගන්න අදහසක් ආවා.ඒ කියන්නේ මේ බ්ලොග් එකේ දාන්නේ අපි ලියපු කවි විතරයිනේ. අපි පරණ අයගේ කවිත් නම් එක්කම මේකේ දානවා.එකෙන් ගොඩක් කට්ටියට කියවන්න ලැබෙනවා වගේම දන්නැති දේවල් දැනගන්න ලැබෙනවා විතරක් නෙවේ කවි රීතී වගේ දේවල් වුණත් දැනගන්න ලැබෙනවා.ඒත් එක්කම කවි ලියන උනන්දුවත් වැඩි වෙයි කියලා හිතෙනවා.අනික internet එකේ හින්දා ගොඩක් කල් ආරක්ෂා වෙලා තියෙයි.පොත්පත් වගේ නෙමෙයිනේ.එතකොට අනාගතේ කවියට ආදරේ කරන අයට හරි බිලොග් ලියන අයට හරි
    ඒවා සෑහෙන වැදගත් වෙයි.. ලඟදීම වැඩේ පටන් ගනනෝ.......

    ReplyDelete
  12. [[ගණ ඡන්දස කියන්නේ මාතර යුගයේ කවියෝ භාවිතයට ගත්ත මාත්‍රා ඡන්දස වෙනුවට කොළඹ යුගයේ කවියෝ භාවිතයට ගත්ත රීතියයි]]

    මේක ගැන මා දන්නේ නැහැ. හැකිනම් පොඩි විස්තරයක් දාන්න. වෙනම පෝස්ට් එකක් දැම්මත් කමක් නැහැ.

    මා නොදන්නා දෙයක් තමයි ගණ පිහිටුම. මා දන්නා එහෙත් මට තවම බැරි දෙයක් තමයි යවහන් දොස් අරින එක.

    [[මම දෙවැනි ‍පදේ දෙවැනි ‍වචනේ දාලා තියෙන්නේ මෙහෙමයි(පවති)]]

    මං හිතුවේ අකුර මිස් වෙලා කියලා. හරි දැන් මට ඔබ කියන දෙය දැන් පේනවා. ඔබ අන්තිම අකුර "වි" නොවේ "වී".

    මෙන්න එහෙනම් ඒ වර්ෂන් එක.

    අදනෙ දැක්කෙ බින්දිය එහි ලියූ කවී
    මටත් තිබේ මේ පැනයම හිතේ දැවී
    කටුරොද නම් ගම ඇත්තේ හිතේ මැවී
    ලොවෙහිත් නැත ගම නම් නැහැ ගහෙත් ලොවී

    ඔබේ රිද්මය මුල මාත්‍රා හයෙන් කැඩෙන විදිහට තියෙන්නේ. හැබැයි ඉහත කවියත් කියවන කොට චුට්ටක් අවුල්. මුල් පද දෙකේ 3+3 දෙවන පද දෙකේ 4+2. [මේක ගයන විට තේරෙනවා]

    මෙන්න මෙතන අමුත්ත බලන්න.

    අදනෙ දැක්කෙ ...
    මටත් පවතී ...

    කිව්වට වඩා,

    අදනෙ දැක්කෙ ...
    මටත් තිබේ ...

    කිව්වම කටට කියවෙන ගතිය වැඩියි. ගුරු අක්ෂරයක් දෙවැනි පදේ දෙවැනි වචනේ ඇති නිසා ද කොහෙද?

    කොහොම වුනත් මා මෙහි ලියන්නේ මට පෙනෙන හැටියට නෙ. ඒකම හරි කියලා හිතන්න බැහැ. වෙනස් විදිහට කවිය ගයන අය ඇතිනේ.

    ආයිත් අන්තිමටත් මතක කරන්නේ, කවිය ගයමින් මිස මාත්‍රා ගනිමින් කවි ලියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සුජීව අයියා (අයියා කෙනෙක් විය යුතු යැයි සිතමි :) යවහන් දෝෂය ගැන සඳහන් කරලා තියන නිසා ඔන්න මම පොඩි උත්සාහයක් ගත්තා යවහන් දෝෂය තිබුන මේ කවි තුන නිවැරදි කරන්න...කොච්චර දුරට සාර්ථකද කියල නම් දන්නේ නැහැ..

      ඒ ගම මැදින් ගලනා මනහර නදිය
      කුණු පුරවලා කබරුන් ටත් ඉඩ මදිය
      කඩ මණ්ඩියේ නිතරම ඇහෙනා සුදිය
      නගරය අසල නම් වනු ඇත මේ හදිය

      පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
      කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
      වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
      වැන්දෙමි මමත් ගූගල් දෙවියන් බැතියෙන්

      රුවන් පුරේ හිමි අනඳය සාගරය
      කේයස් නමින් පළකළ කවි ආකරය
      නුවරට නුදුරු පූජා පිටි පුරවරය
      කටුරොද නමින් ලියු එක විය හැක හොරය

      Delete
  13. මගෙ නම තිබේ කවි මුතු අතරේ විසිරී

    කෑවා වගෙයි දී කිරි හා පැණි මිහිරී

    පහනට දමා ඇත තෙල් යනතුරු ඉතිරී

    කවි පිටුවලට තව ආලෝකය පැතිරී



    වැඩිපුර සොයා දී කටුරොද කතාව

    වැඩිකර දෙයි දැනුම අපගේ සුජීව

    හැමදේ ගැනම දැන ගන්නා කලාව

    සමගම කොහෙන් ගන්නෙද ඔබ වෙලාව

    ReplyDelete
  14. Katuroda gammana thawamath pitisaraya kaviya mata ewanna puluwanda kaatahari.loku udauwak.mail ekak daana thiyanawanam.g.i.r.indika@gmail.com

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ප්‍රමාදයට. ඔබට ඊ‌මේල් පණිවිඩයක් ඒවූ අතර සියළුදෙනා වෙනුවෙන් කවිමුතුමල් බ්ලොග් ඒක තුළද පළ කළෙමි.

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................