Sunday, August 7, 2011

කඳුළු බිංදු !

කඳුළු බිඳක් හංගා ගෙන දෙනෙත් පියන් යට

බලා හිටියෙ හැමදාමත් ඔබ එන පෙර මග

හිනා මලක් පුරවා ගෙන ඔබගේ දෙතොළග

එතැයි කියා බලා හිටියෙ පැතුම් පුරෝ ගෙන



වස්සානය ගෙවී ගියා නොසිතූ විලසම

ගිම්හානේ කොළ සේරම පරවී වැටුනම

ආවා නුඹ මා සොයාන හිරිපොද වැස්සෙම

කඳුළු බිංඳු ගලා ගියා මගෙ මුළු මුහුනෙම



වැහැර ගියත් ඔබෙ ගත සිත විඩාබරව අද

දෙනෙත් පුරා පෙනේවි මට ආදරයක හැඩ

ගඟුලේ වරම් ලබා කිමිදෙන්නට අද

පිහින පිහින නාමි ඔබේ පෙම් ගඟුලේ අද



කල්ප කලක් පෙරුම් පුරා මුළු සංසාරෙම

ලඟින් ඉන්න පැතූ පැතුම් ඉටුවීලා අද

සෙනේ මලක් පිබිදීලා ම’සිත් උයනෙ අද

ලමැද හොවා සැනසෙමි ආදරයෙන් හිස

6 comments:

  1. ලස්සනයි. සිහින සැබෑ වෙලා වගේ.

    ඉහ වහා යන ආදරයෙන් ලියු කවි. ආදරේ වැඩි කමට කලබලේට අන්තිම පදයේ මාත්‍රා මිස් කලාට ඉතිරිය හරියට තියෙනවා. සතුටුයි.

    සඳැස් ලස්සන කරන්න එලිසමයක් [අලංකාර] අවශ්‍ය යයි කියන මතයට මේ සමහර කවි ප්‍රතිවාදී උදාහරණ සපයනවා. එලිසම නැතුවට කවි හරි ලස්සනයි.

    නිරපරාදේ එළිසමය තියන්න එකම වචනෙන් කවිය නිම කිරීමෙන් රස මැරෙන බවයි මගේ පුද්ගලික මතය. ඒක ස්වාභාවික ව එන්නේ නැතිනම් කෘතිමව හදන්න එපා.

    ReplyDelete
  2. සුජීව මල්ලිගෙ අදහසට ස්තූතියි, මම නම් වැඩිය ඔය දේවල් ගැන වැඩිය දන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳලම ලීව නිසා ඔහේ ලියනවා. ඉගෙනගෙන නෑ. පුලුවන් නම් පාඩමක් දෙකක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් ලොකු දෙයක්.

    ReplyDelete
  3. ආදරේ පිරුණු කවි පෙළක්. ජීවිතේ හැමදවසක්ම ඔය විධිහටම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා!

    ReplyDelete
  4. දැක්ක ගමන් දන්නවා මේ නම් චන්දි අක්ක කියල . ඔය වයසෙදිත් ආදරේ ගැන ලස්සනට ලියන්න පුළුවන් වීම ඔයාගේ වාසනාවක් අක්කේ .

    මේ බ්ලොග් එක මගේ නෙලුම් විලේ අප්ඩේට් වෙන්නේ නැතෝ. දන්නා කෙනෙක් සොයා බලනවද . අනික් අයටත්එහෙමද දන්නේ නැහැ .

    ReplyDelete
  5. @ chandy VIC,
    ස්තූතියි නංගි ප්‍රාර්තනාවට. ඔයාලගෙ දිරිගැන්වීම තමයි ශක්තිය. ආයෙත් ඔයාගෙන් කවියක් දමමුද?

    ReplyDelete
  6. @ bindi,
    ආදරේ කරත්දි අපි හැමෝම වයසට යන්නේ නෑ කියල හිතෙනවා බින්දි. ආදරේ කියන දේ විවිධාකාරව ලෝකෙට දෙන්න පුලුවන් දෙයක් නේද? දෙමාපියන්ට , දරුවන්ට, ආදරවන්තයාට, අනෙක් දරුවන්ට, ගමේ අයට ,නෑයන්ට, සහසම්බන්ධ වෙන අයට, පරණ පෙම්වතුන්ට, ලෝකෙටම මේ වගේ විවිධ විදිහට ආදරේ දෙන්න පුලුවන්නෙ. කොහොම දෙන්න උනත් අතදිගෑරලා ආදරේ සෙනෙහස කරුණාව උපරිමෙන්ම දෙන්න හැකිනම් හැමදාම තරුණව ඉන්න පුලුවන් කියල තමයි කියන්න තියෙන්නේ. ඒ දේ කරන්න අනෙක් පාර්ශවයෙනුත් උපරිම සහාය ලැබෙන්න ඕනෙ, නැත්නම් ගැටලු ඇතිවෙනවා නේ.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................