Wednesday, August 10, 2011
සරුන්ගල් නිවාඩුව
ඉරටු කපාගෙන - නුල් සොයාගෙන
පාප්ප හදන්න - පිටිත් සොරාගෙන
ඒ විතරක් මදි ..
නුල් පන්දුවක් - කොළ තුන හතරක්
කොහෙන්ද මුදලක් - කඩමුකො කැටයක්
..කවුඩද නයාද ..අනේ වැඩක් නැහැ - හදමුකො අපි හොඳ ලස්සන මොණරෙක්
වුවත් අපිටත් පොඩි පොඩි වැඩ හුරු
කරන්න ඉඩ නැහැ අයියයි වැඩකරු
කොළ අලවාලා ලස්සන කරතෙයි
රැලි රැලි දාලා තව හැඩ වැඩෙ තියි
ඇඟිලි තුඩින් ගෙන ''සේරුව'' දමතෙයි
සමබර නොවුනොත් ''කූරිය'' ගසතෙයි
සුළඟ ඇදෙන අත හොඳට බලන්නට
අය්යා සමතෙකි ඕව කරන්නට
සුලන් බදනකම් අල්ලන් ඉන්නට
සිදුවිය හැමදා ගෝලය වෙන්නට
නෙක නෙක හැඩ මෙන් පාට පාට ඇති
සියක් සරුංගල් අහසේ පාවෙති
මාට්ටු දමලා කොල්ලන් තුටු වෙති
බේරන්නට අහසේ ලොකු සටනෙකි
සරුංගලය ඈතට ගිය තරමට
අපිත් ගියා වාගෙයි දුර අහසට
මිතුරේ අහසේ දුටුවේ මොනවද
වලාකුලක් මට කොඳුරනු දුටුවද
පැයක්ද දෙකක්ද නැහැ මුළු වරුවම
දිනක්ද දෙකක්ද නැහැ මුල් මාසෙම
සරුංගලේ නුඹ උඩ ගිය පාරෙම
හිත තිබුනෙත් මගේ දුර ආකාසෙම
නුල කැඩී නුඹ යන්නම යන්නට
ගියදා සිදුවෙයි දුක උහුලන්නට
අනියත දම ගැන විය දැන ගන්නට
යලිත් හැකිය අලුතින් අරඹන්නට
මේ කවිය ....
කුඩා කල නෙක පාට සරුංගල් හැදු අය්යාට ..එගොඩහ සිට හැම වාරෙටම විසල් සරුංගලයක් මෙගොඩට එවූ නම නොදත් අය්යලාට ..
සරුංගල් එක්කම අපිවත් අරන් අහසට ..
ළමා මුව සිප මකා ලුණු රස දහදිය
එදා වාගේම අදත් වෙනසක් නැතුව දැවටෙන
සදාදරණිය සුළඟට ......
Picture from Google Images
Subscribe to:
Post Comments (Atom)
I cannot share this in FB or any other place . Can someone see . I think something wrong here
ReplyDeleteඅනේ මට කවදාවත් සරුංගල් යවන්ඩ ලැබුනේ නෑ. එත් අනිත් අය යවන හැටි බලන් ඉඳල තියනවා. පොඩ්ඩක් ඉල්ලගෙන නුල අල්ලාගෙන ඉදලත් තියනවා. එත් අත අරියි කියල බයට දුන්නේ නෑ. බින්දිගේ කවිය දීගේ සරුංගලයක් වගේ මම ඒ ලස්සන අතීතෙට ගියා. පහුගිය දවස්වල කියවපු " The kite Runner" පොතේ සරුංගල් තරගයත් මතක් වුනා. ආගම, භාෂාව මොකක් වුනත් කාගේත් ළමා කාලේ සිතුවිලි හුගක් සමානයි කියලයි මට හිතෙන්නේ
ReplyDelete@Chandi
ReplyDeleteඅපේ අක්කගේ පුතා සරුංගල් යවන බව අහල මට හරි සතුටු හිතුන . සරුංගලයක් හදන එකත් හරි අපුරු හැකියාවක් . කොච්චර හොඳට හැදුවත් බැලන්ස් නැත්නම් උඩ යන්නේ නැහැ . අපි නම් හොඳටම සරුංගල් ඇරිය. ටී. වී . නොතිබුන ලමාකාලේ ගෙවුනේ ඔහොම තමයි. දැනටත් පරක්කු නැහැ . ඊළඟ පාර ගෝල්ෆේස් පිට්ටනියට ගිහින් සරුංගලයක් යවන්න .
The Kite Runner පොත නම් කියවල නැහැ . ෆිල්ම් එක නම් බැලුව . ස්තුතියි ඒක මතක් කලාට චන්දි
ප්ලස් වන් ය.
ReplyDeleteපොඩ්ඩියත් එක්කන් සරුංගල් යවන්නට ගෝල් ෆේස් යන්නට සිතා සිටින්නෙමු.
මට නම් කවදාවත් හදන්න චාන්ස් එකක් ලැබිලා නැහැ. මට වඩා දන්නා අය හිටිය නිසා. දැන් නම් ඉතින් කොහොමත් එකයි. හන්දියේ රෙඩිමේඩ් බඩු තිබේ.
අපේ උන්නැහේ සරුංගල් කප්පිත්තෙක් කියල මගෙ නැන්දම්මා කියනවා. එයා ඕනෙ වෙලාවක එක්කෝ පිට්ටනියක නැත්නම් වහළේ උඩ තමයිලු. එහෙම කරලා පලවෙනි පාර OL ඩවුන්ලු. හැබැයි පුතාල තුන්දෙනාම ඒ දේ කලේ නෑ. ඒ පාර සිංගප්පූරුවෙන්, චීනෙන් කෘතීම සරුංගල්ල් ගෙනත් දුන්නා මෙ අයට. මම නම් මගෙ ලොකුඅම්මාගෙ පුතා එක්ක එකහරියට සරුංගල් යවලා තියෙනවා. මේ වාගෙසොදුරු අතීතෙකට ගෙනිච්චාට බිංදි, ස්තූතියි. සරුංගලයක් වාගෙ ඈතට පාවෙලා සොදුරු සිතුවිළි මවන්න ඉඩ ලැබෙන්නෙ දැන් කීයෙන් කීදෙනෙකුටද?
ReplyDeleteසිහිනෙන් ගිය සරුංගල් ගමනක්
ReplyDeleteකලකට කලින් ලියු කවියක්.
සරුංගලය මෙනි පාවෙන මගෙ හිත
ReplyDeleteහරිම සැහැල්ලුයි පාවෙයි නෙක අත
සැඩ සුළඟත් විත් ගැළවුණි එහි වත
දැන්නම් එය ඇති පරණ වහල මත
කවි පද ලස්සනයි අක්කේ.පොඩි කාලේ සරුංගල් ඇරියට පස්සේ මේ ලඟදී තමයි ආපහු අරින්න හම්බුණේ.ලඟදී අපේ නැදෑයෝ වගයක් එක්ක ගෝල්ෆේස් ගිහිං 250 ට සරුංගලයක් අරන් නූල ඉවර වෙනකම්ම ඇරියා.කොහෙද මීටර් 100 ක් වත් දිග නෑ.අපේ වාසනාවට බිම වැටිලා තිබිලා හම්බුණා හෙන දිග නූලක්.අපිත් නිකං හිටියේ නෑ.ඒකත් ගැටගහලා යැව්වා.ටිකකින් අපේ සරුංගලේ තමයි උඩම තිබුණේ....
ඇත්තටම සරුංගලයක් උඩ කියෙද්දි ඒකේ නූල අල්ලන් ඉන්න එක කොච්චර සුන්දර අත්දැකීමක්ද.. ඒ කොහොම වුණත් මේ දවස් ටිකේ සරුංගලයක් තියා බ්ලොග් එක පැත්තේ ආවෙත් හුඟ කාලෙකින්.වෙන මුකුත් නෙමේ විභාගේ හින්දා.ඇත්තෙන්ම මේ බ්ලොග් එක ඇදගෙන යාම පිළීබදව සියල්ලන්ටම ස්තූති කරනවා
ආපහු ටික දවසක් යනකන් එන්න වෙන්නේ නෑ....
@අසංක මල්ලී,
ReplyDeleteවිභාගේ හොදින් කරගන්න මල්ලී. අන්තිමේ ඉතිරි වෙන්නේ ඉගෙන ගත් දෙයක් පමණයි. ඉගෙන ගන්නා කාලෙදී එය හිතෙන්නේ නෑ. නමුත් පසුකාලෙකදී ඔබට දැනේවි ඒක තමයි වටිනාම දේ කියලා. ඔයාට සුබ පතනවා මල්ලී යහපත් අනාගතයකට.
@ Sujeewa, Chandi akka
ReplyDeleteThanks for the comments
@ Asanka malli
Thank you for setting this back.