Thursday, August 18, 2011

පරිණාමා - සාගර පලන්සූරිය

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස
                           
                                                                                         සාගර පලන්සූරිය 
                                                                                           ( විසිවුණූ තරු )

                    ----------------------------------------------------------------------------

රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා උපන් පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු පැවිදි කල භාවිත කළ   'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද   'කේයස් ' යන අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන් ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ  'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල පැහැදිලි වේ.

  කේයස් යන නම වඩාත් ප්‍රකටව ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි කවියාගේ 'ඊනොක් ආඩ්න්' කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , ‍'මල් හාමි' යනාදි කෘති ද පුවත්පත් සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය' , 'තැවුල් ඉගිළෙන සිහින' , 'දෙවියන් නැති දෙවොල' යනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ය.

                  ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
               උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.
       

7 comments:

  1. පැරණි මතකයන් අලුත් විය . සොබාදමට අවනත ජිවන ගමන අපුරුවට පෙළගස්වා ඇති කවි පෙළක් . සරෝජිනී නායිඳු කිවිදියගේ පදපෙලක් ඇසුරින් නිමවුණු ''සන්නාලියනේ ..සන්නාලියනේ ..කාටද සළුව වියන්නේ '' ගිය තුලත් මේ සනාතන දහම පිළිබිඹු වෙනවා නොවේද

    ReplyDelete
  2. ඇත්තටම මාර තේරුමක් තියන කවි සෙට් එකක් .......
    හොඳ ලිපියක් ......

    ReplyDelete
  3. කේයස් ගේ හොඳටම ප්‍රසිද්ධ කවි (සුදෝ සුදු වගේ) හැරුනම බොහොමයක් නිර්මාණ මම හිතන්නේ මම රසවිඳලා නෑ. මල්ලිට බොහොම ස්තුත්යි කවි පෙලටත් ලිපියටත්. තව තවත් post දාන්න ඉඩ ලැබේවා! විභාග ඉක්මනින් ඉවර වේවා! (විභාගේ හොඳට කළා නේද?)

    ReplyDelete
  4. මේ කවි ටික මෙතැන දාන්න විශේෂම හේතුවක් වුණේ මේ කවි පන්තිය අපේ සිංහල සාහිත්‍ය නූතන පද්‍ය කොටසට(A/L සදහා)අයත් වීමත්,ඒ කවි අතුරෙන් මම ආසම කවි පන්තිය වීමත්,මෙවර A/L විභාගය සදහා රසාස්වාදය ලිවීමට ඒ කවි පන්තියම පැමිණීමත්ය.
    අර කලින් දවසක බින්දිගේ සදැස් නිසදැස් ප්‍රශ්ණයට මේකෙන් පිළිතුරු ලැබෙන්න ඇති කියල හිතනවා...

    ආ.. මම නිකං පර්යේෂණයක් විදියට කේයස්ගේ පරිණාමා කවි පන්තියට සමගාමීව ඒ ආකෘතිය ආශ්‍රයෙන් තවත් කවි පන්තියක් ලිව්වා.සාමාන්‍යයෙන් ලියනවට වඩා එහෙම ලියන එක අමාරු බව නම් වැටහුණා.ඒ කවි පන්තියත් ලඟදීම කවි මුතු මල්වලින් බලාපොරොත්තුවන්න...........

    ReplyDelete
  5. කේයස් ගේ පාසැල් කාලයේ ගත් සුදෝ සුදු පොත අදටත් මා ලඟ තියෙනවා. ඉතාම ආදරය කරන කවියෙක්. ඔහුගේ මුණුපුරන් දෙදෙනෙක් ආනන්දේ මගෙ පුතාලා සමගින් ඉගෙන ගත්තා. පරිසරය ගැමි ජීවිතය සමග බද්ධ උන නිර්මාණ හරිම රසවත්. මේ වගේම මානවසිංහයන් ගේ නිර්මාණත් මම ඉතාම ආසාකරනවා. අව්‍යාජ ගැමි සුවද ඒ නිර්මාණවලත් ගැබ් වෙලා තියෙනවා නේද? ස්තුතියි! අසංක මල්ලී. ජයම වේවා!

    ReplyDelete
  6. ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
    ------------

    පාලු කඩේ

    ReplyDelete
  7. කවි පන්තිය නම් ලස්සනයි. මම හිතන්නෙත් ඒකට හේතුම සරල වැකි හා ගැමි උපමාඋපමේය කියලයි. කොහොම වුනත් පහත විස්තරයෙන් කේයස් ගැන නොදත් දේවලුත් දැන ගත්තා... බොහොම ස්තුතියි සහෝ

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................