Thursday, July 15, 2021

අතීත මතක 12

දුවගේ විභාගේ නිසා ගොඩක් දවසකින් ලියන්න බැරි උනා...ඒකට සමවෙන්න.

අතීතයේ වෙසක් දවස්...

කලින්දා හැන්දෑවේ උයා පිහා අවසන් කර කලින්ම නා ගන්නට යන්නේ පල්ලෙහා පිහිටි මහ ලිඳටයි.අත්තම්මා සමඟ නාන්න යන්නට අපි කවදත් ප්‍රිය කලෙමු.ඒ අත්තම්මා ලඟ ඇති වැටකොළු හනස්සෙන් පිට අතුල්ලා ගන්නටය.

මහ ලිඳ ලඟට ගොස් අත්තම්මා ඊට එපිටින් ඇති කොහිල වලට යන්නේ හෙට එනම් වෙසක් පෝය දවසට දානයට කොහිල අල හා දළු එක් කර ව්‍යාංජනයක් පිළියෙල කරන්නටයි. යහමින් හැදී ඇති කොහිළ දළු සහ අල කපාගෙන ගොඩින් තියා අත්තම්මා නා ගනී. ඒ ගමන් අපිවද නාවන්නීය.

නා හමාර කල අත්තම්මා කෙස් ටික පිටුපසට කර තුවායක් ඔතාගෙන පොඩියට ගෙඩියක් ගසා ගෙන කොහිළ මිටියත් සමග ගෙදරට ගොඩවී හවස් කරේ හැදූ වැළිතලපා සමඟ කහට බොන්නීය. ඉන්පසුව කොහිල මිටිය ගෙන අතින් හීනියට කොහිළ දල්ල කඩා කොහිළ දණ්ඩේ පොතු ඇර හීනියට එයද නියපිටින් කඩයි.

අත්තම්මා උදෑසන සිල් ගන්නට යන්නේ කොහිළ මාළුව උයා අවසන් කරයි. කුරුඳුඋම්බලකඩ යහමින් දමා ගොරකා අණ්ඩක්ද දමා කිරට උයන කොහිළ අල සහ දළු එකතු වුණු ව්‍යාංජන බෙහෙවින්ම රසවත්ය. ඊටත් වඩා රසවත් වන්නේ අත්තම්මා හදන කට්ලට් ය. දවල් දානයට කට්ලට් හදා ගුලිකර බිස්කට් කුඩු තවරා පුංචි අම්මලාට බැඳිමට පමණක් ඉතිරි කර පාන්දර හය වෙන විට අර වංගු පිරුණ රවුම් පාරෙන් මමත් සමඟ පන්නසලට යන්නීය.

මමත් සිල් ගන්නට ආත්තම්මා සමඟ වේගයෙන් යන විට මට ඉබේම වගේ මතක් වෙන්නේ දවල්ට කට්ලට් බදින විදිහයි. රස නහර පිනා යන කට්ලට් වල සුවඳ මගේ නැහැයට දැනෙද්දී මම ගමන බාල කරමි. අත්තම්මා පිටුපස හැරි කෝ ලොකු දුවේ ඉක්මන් කරන්න කියා කෑගසයි. මම පාරේ වංගු වලින් වහන් වී අත්තම්මා නොපෙනෙන ලෙස නැවත හැරී ගේ දෙසට ඉක්මන් ගමනේ යෙදෙයි. අන්තිමට පන්සලට යන්නේ අත්තම්මා පමණි. අත්තම්මා මට ලොකු දුවේ කියාත් නංගීට සුට්ටං දුව කියාත් ඇමතුවාය.

ඇතැම් දවසක සිල් ගන්නට පන්සලට ගියත් සීලයක් මා ලඟ රැදුනේම නැත. යන්තම් අටසිල් සමාදම් වී දෙන හීල් දානය වළඳා බණ කියන වෙලාවට මම හිටියේ පන්සලේ ඇති කොකෝවා ගහ මුදුණේය. දවසක්දා පන්සලේ හාමුදුරුවන්ගෙන් බැණුම්ද ඇසුවාය.

සිල් පවාරණ වෙලා ආතම්මා ගෙදරට එන විට අපි බකට් සහ වෙසක් කූඩු පත්තු කරන්නට සැදී පැහිදී සිටිමු. අම්මාමගේ අයියාඅනුලා පුංචි අම්මාබද්‍රා පුංචි අම්මාත් මමත් මේ කාර්යයට දායක විය. එදවස නොයෙකුත් මල් ගස් සහ පළතුරු ගස් වලින් මිදුල පිරී තිබුණි. ඉතින් බකට් එල්ලන්නට කිසිදු කරදරයක් නොවිණි. අවසන වෙසක් කූඩු සහ බකට් එල්ලු විට ගෙය සුරපුරයක් සේ දිස්වෙයි. අපි සියළු දෙනාම මහ රෑ වෙන තුරු මේ අසිරිය විඳගනිමින් නොයෙකුත් කථා කියමින් නිදි වැරුවෙමු. 

ගෙයි මුදලේ කොණට ශ්‍රී පාද කඳුවැටිය පෙනුනේ ඉතා අලංකාරවයි. අපි දනනමා ශ්‍රී පාදය වැන්දෙමු. ගේ ඉදිරිපස ඇති බුදු ගෙය ඉතාමත් පින් පාටින් දිදුලයි. එහි ඇති ධාතූන් වහන්සේලා කිහිප නමකි. අපි ඉතා ආසාවෙන් බුදු ගෙය වැන්දෙමු.

 

 

 

සීතලම සීතල අදුරු වැසි දිනවල


ඇඳ උඩට වී පොරෝනයට ගුලිව
අපි තිදෙන
කුස්සියේ දර ලිපට අමාරුවෙන් පිඹිමින
නිතොර හැදෙනා කැස්සද ඇතිව
බතක් මාළුවක් උයාදී අපට
ගුලි අනා කවන්නී...
සිංහල අවුරුද්දට මසක් තිබියදී
ටවුමට ගොස්
ලස්සන ලස්සන මල් ඉහුණු
චීත්ත රෙදි අරන්
රැලි සාය තට්ටු දෙක තුන දමා
හිත පිරෙන ගවුම් මසන්නී...

රතු හාල් සුදු හාල් වෙන වෙනම
පෙ‍‍ඟෙන්නට දමා
ජේන් ලවා වෙන වෙනම කොටවා
අතිරස මුංකැවුම් කොකිස් බදින්නි
වැලි තලප අළුවා සදන්නී...

මේ සියළු දේ නැතුව
අදට හරියටම තුන් අවුරුද්දක් පිරෙන්නී
සීතල පොළොව යට
හුස්මක්වත් නොගෙන
නුඹ සිටින බව දැනෙන විට
නුඹේ උණුසමක තිබූ
රැකවරණය ,ආදරය සොයන්නී..

අනේ අම්මේ නුඹට
උණුහුමක් දැනෙවද
සීතලක් තියෙනවද
වෙනදා වා‍‍ගෙම තවත්
අර කැස්ස තියෙනවද
මට කියාපන් හෙමින්
මම අහන් ඉන්නවා.....
අම්මේ නුඹට අමාමහ නිවන් සුව ලැබේවා..!!!

Sunday, July 11, 2021

ආරච්චිරාළ - විමලරත්න කුමාරගම

 


අලියා වැටුණු වැව ආරච්චි              රාළට

මුවමස් ඌරුමස් භිඟ නොමැත       කෑමට

මුළු ගංගොඩම හිටියත් ඔහුගේ       වාලට

ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු      නානට

 

වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල          මත

එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු   නැත

කුරහන් බිස්ස යට බල්ලට සෙවන      ඇත

ඔහුගේ ගෙදර මට හොඳටම මතක      ඇත

 

පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත

ගමනට පැදුරු දැමු බර බාගයක්     ඇත

නියඟක් අවත් ඉන් වැඩිපුර බයක්  නැත

වැව කිට්ටුවම වෙල ඉස්සර හයක්  ඇත

 

ඉදිකඩ ළඟම සිටහත් මහළු පලු             ගසේ

පොඩි පෙට්ටියක පානට මැසි පොකුරු නැසේ

ඒළියක් දුටිමි ඒ ඒළියෙන් ඔහුගේ          හිසේ

මට මේ ලියන විට තව ඒ ඒළිය              දිසේ

 

මුළු රෑ ලැගී ඉඳ පලු ගහක            මැස්සක

ලැබ ‌ගෙන අහිංසකයකු පිදුව         මස්ටික

වළඳා අදට වූවත් වසර                  විස්සක

පුදුමයි බලන්නට අද ඔහුගෙ          රැස්ටික


කිසිවෙක් නොවේ කෙරුමට ඔහු සමඟ  හබේ

වෙහෙසක් නැතුව යළ මහ අස්වනුද      ලැබේ

කුරහන් වියෙන් බිහි තුන ඉදිමුනද          ඉබේ

යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර         තිබේ


දවසින් දවස වන පෙත ගං ගොඩෙහි     හැපේ

ඔහුගේ ‌ගෙදර ළඟ කළුවර බුරුත         කැපේ

ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද         ලිපේ

හැම ගැමියෙක්ම ඔහුගේ පාමුලෙහි       හැපේ



Sunday, June 27, 2021

උගත්කම - කේයස් (සාගර පලන්සූරිය)

එළු සකු මගද පොත් කට පාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී

පොළොවට ගැටගසන්නා වාගේ අහස
වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස

හැම වචනයම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා ඔහුගෙන් දුරුව

මේ පොත නිසා බිරියත් නැති වූයේ
ඉන් පසු ඈ නොවෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැදවා යළි පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම්දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා පිරුණු සොයින්

ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් මේ හෝටලය වෙත
කිසිවෙකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල් කරු අලාබෙට
උගතා බැරිම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියෙ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමග පියා
අරහෙන් මෙහෙන් යම්තම් ගමන ගියා

පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කලෝ කිසිවකු එහි නොයන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නොකියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිගන්නෝ රැස් වෙති රැට
නරකද එතැන තෝරා ගත්තම මීට

මෙහෙම සිතාලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනේ ලා අලුතින් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙපයින් ගමන් කර
ලංවිය හිගන්නන්ගේ පැමුනුමෙන් පෙර

ගත කල මුළු දවස හිගමන පිණිස
ආවෝ හිගන්නෝ අම්බලමට සවස
වෙන දවසට වද අද මෙහි දුටු වෙනස
ඇති එක පඩිතුමා උන්ටත් පෙර පිවිස

පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැත කන මෙන් පහර
හිගන්නෝ නිදති එහි තැන තැන වැතිර

මැදයම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිගන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේදැයි තව උගුරෙ කෙළ
කම්මැලි වී වැනෙයි පොල් තෙල් පහනේ සීල

පඬුවා තනි වුණා රෑ අම්බලමේ පිලේ
හිගන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ උගතකුගේ මොළේ

බිරිය නඩු දමා ඇති දික්කසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කලයි මහජනයගේ විවේකෙට
මිනිහට විරුද්ධව පැමිණිලි හැබෑවට

දිනකට සිතාසී හත අට ගණනේ ලැබේ
මිනිහට විරුද්ධව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්ධයි මා කළ පොතට
එහි වරදෙක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්න එහෙනම් අවසරද මට

මේ මහ පුදුම පොත කොහොමද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුනොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

ගතවිය දවසක් දෙකක් නෑ ඉවර පොත
පෙරකදෝරුවෙක් එහි බෙහෙතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ලතැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

උසාවියෙ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් විය බැරි තැන සිය දුරයෙන්

 

කේයස් (සාගර පලන්සූරිය)

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය - සාගර පලන්සූරිය

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙලවරය

"හීං මැණිකෙ මගෙ" කියමින් කී ටිකිරි
බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි
පත් වූ කීප වේලවක මේ ළදැරී

"ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද"
කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ

ටිකිරී පොහොසත් ය නැණ ගුණ දෙක වැඩි
අදිරී දුප්පත් ය ගත සිත හැඩි දැඩිය
ඇගේ නියම ආලය මනිනා පඩිය
අදිරිගෙ පැත්තෙ ලා බැලුවම බර වැඩිය

සතුටින් සමාදානෙන් සැපතින් ඉන්නා
දැක දැක සෙනෙහෙ බර අඹු සැමි දෙන්නා
ටිකිරිගෙ ආදරය එලියට නොම පෙන්නා
පුරුදු පරිදි ඔහු සඟවාගෙන උන්නා

විපතට විපත හමුවන තැන මහ විපත
දුකකට හේතු විය මැණිකෙගෙ දරු උපත
දුක් විය යුතු නොවේ ඇසුමට මේ පුවත
උපන් දරුවාට අයියෝ නැත දෙනෙත

යන බව කියා මැණිකෙට ලියුමක් ලීවා
ඔහු පිටරට ගියා කරනුව යුද සේවා
සිංගප්පූරුවෙන් මුල් ලියමන ආවා
වෙඩි වැද අතක් කැපු බව ලිපියෙහි වූවා

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අතපය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිලු කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න
කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න
මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න
දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න

වලව්වේ ඉදිරිපිට වත්තේ කොණක
අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලක
මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක
මල් පහන් පුදනු කාටත් බැලිය හැක


කේයස් (සාගර පලන්සූරිය)
1 ජනවාරි 1948

වලස් දඩයම - විමලරත්න කුමාරගම




පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි
තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි
වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි
බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරු වලා වැලි කම්මැලි ලෙස පාවේ
කිසියම් සතෙක් තව නැත වැව වෙත ආවේ
දාඩිය ගලා බැස මුලු සිරුර ම නෑවේ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවේ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක්ය- ඇය පසු පස දරු දෙදෙන
යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙඩි නොතියන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පද්දේ
වැළපෙයි කිරල රැළ උඩ පැන වැව මැද්දේ
ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන් වෙතී

"කවිවලට ලැබුණු අදහස්වල බොහෝ ඉල්ලුමක් තිබූ කවි පන්තියකි."

ඉන්ද්‍රජාලික පෙම්වතියට..෴💙💙💙

සුළඟටම තතු කියන මුහුදු රළ ඈ නතුය

අහස්කුස පෙම් බඳින වැහි පොදද ඈ සතුය

අතුරිකිලි මත පිපුන මල් ගොමුව ඈ වෙතය

නුබෝගැබ මත දිලෙන තරු කැකුළු ඈ නෙතය

 

ඇගේ මුදු කටහඬට ගහකොළද අවනතෙනි

ආදරය ගැන කතා බොහොමයක් දිග ඇරිණි

කටු පඳුරු මත පවා ඒ නිසා මල් පිපුණි

පතොක් මලකට ඇගේ කඳුළු බිඳුවක් වැටුණි

 

උස්ම තුරු මුදුන්වල කෙළවරෙහි අත්තෙ සිනිඳු මල් පෙති පවා ආදරය හැඳිනගයි

වැහුවාම සමනලුන් මලින් බර ඉත්තෙ උන්ගෙ අත්තටු පවා ආදරේ පැහැයගයි

කණාමැදිරියෙකු වුව මුළු රැයක් මත්තෙ ආදරේ නිසාවෙන් සොඳුරු එළි විහිදුවයි

සොබාදම කොහෙන්දෝ මෙය ඉගෙනගත්තෙ ආදරේ අකුරු දන්නේ ඇගේ හදවතයි




Thursday, December 5, 2019

බොරපාට ඇස්


























චතුරස්‍රෙ මහ කොටුවේ වාඩි වී      උන්නාම
බොරදමේ කැටයමින් හඳ එන්න  ගත්තාම
බොරපාට ඇස්වලට ඒ එළිය         වැටුණාම
කඳුළු කැට දිලිසේවි සිනහාව         අස්සේම

Sunday, February 18, 2018

"අාදරය" බ්‍රැන්ඩ් එක

Image result for love business

ප්‍රින්ට් කරලා විකුණන්න
රෝමියෝ ජුලියට්ව
ගෙලවටා බැඳගන්න
දස්කොන්ව ප්‍රමිලාව
ස්ටිකර් හදාගෙන
ගජමන්ගේ කවිවලින්
ෂෙයා කරගෙන යන්න
ක්ලියෝපැට්රගේ පුවත
සාජහන් මුම්ටාස්
දන්නවද දන්නේ නෑ
අාදමුයි ඒ්වවයි
සීඩිවල කවරවල
දෙව්දාස් ෆිල්ම් එක
පොරි කකා බලනකොට
අාදරේ කොහෙද බං
දුවන හදවත් වලට

"අාදරය" බ්‍රැන්ඩ් එක
කෑගහලා විකුණන්න
අනංගයාගේ කඩෙන්
හී පාර විදගන්න
අාදරය විරහාව දෙකම
ලාභයි ගන්න
අපි තාම පිටස්තර
නැද්ද බං අාදරෙට......

Friday, February 16, 2018

වරද - ජී.බී. සේනානායක

File:Weeki Wachee spring 10079u.jpg

ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.

ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,

ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.

ඔබ මිස
අන් කිසිවකු  නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය,

නැඟී සිට සමාවන්න, ස්වාමීනි,

- - - - - - - - - - - - - - - - -

මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,

මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත් 
නෙත් පියා ගතිමි.

ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)