Saturday, August 27, 2011

මගෙ පොඩි මල්ලී



මට ගහලා සිනා සෙන්නේ
අක්කා ලඟට දුවන් යන්නේ
බේරීමට හාදු දෙන්නේ
මගෙ පොඩි මල්ලී

අප්පච්චිට කොමල පපා
අම්මා ගාව තුරුළු වෙලා
දන්නැති භාෂා කියවන
මගෙ පොඩි මල්ලී

සමනලුන්ට පාට දුන්න
පිච්ච මලට සුවද දුන්න
අපේ ගෙයට එළිය දුන්න
මගෙ පොඩි මල්ලී

14 comments:

  1. ඇත්තටම ආඩම්බරයි තුසිනි නංගී ඔයා ගැන.මොකද 8 වසරෙ ළමයෙක් කවියක් ලියනවා තියා කවියක් ලියන්නන හිතන එකත් හරිම විශ්මයජනකයි. මේ වයසෙදි කවි ලිවීම ආරම්භ වෙනවා කියන්නේ ලොකු වෙනකොට ශේෂ්ඨ කිවිදියෙකුගේ පහළ වීම නම් කාටවත් නවත්වන්න බැරි වෙයි.
    කවි මුතු මල් වලට ඔයාව සාදරයෙන් පිළිගන්න අතරම ඉතා දිග කාලයක් කවි ලෝකේ රැදිලා හොද නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය!

    ReplyDelete
  2. ලස්සනයි පුංචි නංගියෝ..පුංචි හිතක තියන නිර්ව්‍යාජ අදහස් ඔයා ලස්සනට කවි කරලා තියනවා..ඉස්කෝලෙ වැඩ අතපසු කර නොගෙන දිගටම ලියන්න..අපි ඉන්නව කියවන්න..

    ReplyDelete
  3. පුංචි දුව ඔබට සුවිශේෂී කවි හැකියාවක් තියෙන්නේ. දිගටම ලියන්න.

    ලියන ගමන් කාව්‍ය කරණය ගැන ඉගෙන ගන්න. විරිත් සඳැස් අලංකාර කවි හැඩ කරන හැටි. එ වගේම නිසඳැස් මහගම සේකර තුලින් බිහිවෙන කවි ගුරු කුලය ගැන. කොළඹ යුගය එ කාලේ ලියවූ කවි [ඔයාට ළඟදීම ඉස්කෝලෙදි මේවා හමු වෙයි]. සංදේශ කාව්‍ය පොත් අරගෙන ඒවා කියවන්න.

    කියවීමෙන් තමයි දුවේ ලියන්නන් බිහි වන්නේ. හැබැයි කියවා නිකම් ඉඳලා බැහැ. පුළුවන් තරම් ලියන්න ඕනේ.

    ලියු දේ පල කරන්න පැකිලෙන්න එපා. විවේචන වලදී නිහතමානි වීමත් වැදගත්.

    මං මේ කවි පෙළ තුල දක්ෂ කිවිඳියක් දැක්කා. ඔබ තව තවත් ලියනවා දකින්න ආසයි.

    ReplyDelete
  4. පුංචි දුව හිතන්න එපා මං මේ කරන්නේ ඔබේ හැකියාව අවතක්සේරු කිරීමක් කියලා. ඒත් ඔයා මහන්සි වී මාත්‍රා ගණන් තියන බව පෙනෙන නිසා එහෙම නැති වුන තැනක් හදන්නම්. ඔයා මාත්‍රා කියන දේ දන්නවා ඇති යයි හිතනවා.

    දෙවෙනි හා තෙවෙනි කවි වල මාත්‍රා ගාන එකට යනවා මුල් කවිය මෙහෙම හැදුවොත්;

    "මට ගහලා හිනැහෙන්නේ
    අක්ක ලඟට දුව යන්නේ
    හාදු දීල බේරෙන්නේ"

    මේක කරන්නේ කොහොමද? ඔක්කොම හරියට ලියන්න බැහැ එක පාරින්. ලියු දේ දෙතුන් වතාවක් හිතෙන් "ගායනා කරන්න". ඔබට අහු වෙන අඩු පාඩු හදන්න. නැවත නැවත ගායනා කලොත් කවිය හැඩ වෙනවා.

    ඒ වගේම මේ මාත්‍රා වෙනස ඔබ හිතා මතාම තිබ්බා වෙන්නත් පුළුවන්. එහෙම කළා නම් ඒකත් කවියක්. වෙනස් ආරක. මං කිව්ව දේ හරි වෙන්න ම අවශ්‍ය නැහැ. පුංචි කිවිඳියට නිදහස තියෙනවා තමන් කැමති ලෙසින් ලියන්නට.

    ඔබට ජයෙන් ජය.

    ReplyDelete
  5. සරළ පද එකතුවක කැටිකර තියෙන නිර්ව්‍යාජ අදහස හැබෑම ලස්සනයි පුංචි දුවේ. අගේ ඇති කවි නිර්මාණය. තව තවත් ලස්සන කවි කරන්න හැකියාව හා ශක්තිය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා පතනවා.

    ලකී අයියා සහ සුජීව මාමා බොහෝ අගේ ඇති උපදෙස් දීලා තියෙන්නේ.

    වටිනා සාහිත්‍ය කෘති කිහිපයක් පහත දී ඇති සබැඳිය ඔස්සේ ගිහින් ලබා ගන්න පුලුවනි.

    http://www.subasa.lk/pothgula/download.php

    තවද හද පතුල ඉදිරිපත් කරන කවි හදන හැටි ලිපි පෙලත් බොහෝ උපකාරීවේවි.

    ReplyDelete
  6. මෙන්න මේ පද දෙක සුපිරි.

    සමනලුන්ට පාට දුන්න
    පිච්ච මලට සුවද දුන්න

    ReplyDelete
  7. මටනම් ඔය වයසෙදී කවියක් ලියන්න තබා කියවන්නවත් බෑ !! .. ඒ අතින් නඟා කොයිතරම් දක්‍ෂද ..

    ලස්සන කවියක් ..

    ReplyDelete
  8. අති විශිෂ්ඨයි චූටි දූ ....
    ඔය කවිය පොඩි මල්‍ලියෙකුට වගේම පොඩි නංගියෙකුටත් ගැපෙනවා මම හිත්න්නෙ ....

    ReplyDelete
  9. පුංචි දුවේ, ඔබට අපුරු හැකියාවක් තිබෙන බව පෙනෙනවා. පාඩම් වැඩ අතපසු කර නොගෙන දිගටම ලියන්න. ඔබට ජය !

    ReplyDelete
  10. මටත් හරිම සතුටුයි ..කවිමුතුවල් වලට නියම වටිනාකමක් ලැබිලා . දිගටම ලියන්න අපි හරිම ආසාවෙන් කියවනවා දුවේ

    ReplyDelete
  11. දුව , ඔයාගෙ වයසෙදි කවි ලියන්න හිතුන එකට හරිම ආසයි මටත්. ඔයාලගෙ වයසෙ දැන් ඉන්න දරුවො කවිලියන්නවත් හොඳ පොත් කියවන්නවත් ආසා නෑ. එයාල ගොඩක් වෙලාවට කරන්නෙ පරිගණකය ඇසුරු කරගෙන ඒකෙ තියෙන වැඩකට නැති ක්‍රීඩා කරන එකයි. එහෙම කාලෙක ඔයා මේ කරන දේ ගොඩාක් වටිනවා. කවි පංතිය හරිම අව්‍යාජව ලියල තියෙනවා. හරි අපූරුයි. ඔයාට කලා ලෝකයේ ගොඩාක් දුර යන්න ලැබේවා! කියා හදවතින්ම සුබ පතනවා.
    චාන්දි නැන්දා.

    ReplyDelete
  12. අනේ නංගියෝ ෂෝක්..නංගියාට චූටි අක්කා කෙනෙක්ගේ සුබ පැතුම් පිළිගන්න.

    ReplyDelete
  13. ඔයාගේ වචන ටික මට ගොඩක් සමීපයි,මොකද මටත් අක්කෙක් ඉන්නවා.මාත් පොඩිකාලේ ගොඩක් කරේ අක්කත් එක්ක රන්ඩුවෙන එක නිසා......

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................