Tuesday, June 14, 2011

කවි මුතු මල් සුල මුල..............


මේ බ්ලොග් එක ගැන ටිකක් විශේෂයෙන් කියන්න ඔනේ.මං හිතනවා ලෝකය පුරාම විහිදිලා ඉන්න සිංහල කවි කිවිදියන්ට ‍මේක ලොකු තෝතැන්නක් වෙයි කියලා.මේක පටන් ගන්න ප්‍රධානම හේතුව වුණේ "බින්දිගේ නෙළුම් විල" බ්ලොග් එක. ඒකේ සුලමුල මෙහෙමයි.
           දවසක් බින්දි  හිත රිදවන්න හීනෙන් වත් නැහැ පැතුවේ කියලා post එකක් දානවා.ඒක කියවන්න මෙතනින් යන්න. ඒක කියෙව්වට පස්සේ ලාවට වගේ ලියන්න පුළුවන් වුණු කවි හිත් ඇවිස්සෙනවා.


 අසංක ආසිරි  said..
              මාර වැඩේ මේ දිනවල කවි හින්දා
         කොහේදෝ තිබුණු කවි සිත මැවිලද මන්දා

         මගතොට නිවස බස්රථ තුළදීම හදා
         දෙන්නට හැකිය ඕනේම කවියක් සාදා
ඊටපස්සේ බින්දි මෙහෙම කියනවා


Bindi said...
          මටත් සිදුව ඇත ඔබටත් වුනු දේම

          කවියෙන් පිරි ඇත අද මගෙ මුළු ගේම
          මොනවා වුනාදැයි සොයනව මම තාම 
          බත් මුට්ටියත් පේනවා කවියක් සේම 
      
     ඔන්න මට දැන් මේ බ්ලොග් එකේ අදහස එනවා

          බින්දි දැන් වැඩේ නැගලා යයි නේද
          මට ආවා අදහසක් එය මම කියන්නද
          තව නව බ්ලොග් එකක් අරඹා ගොතමු පද
          තරහක් ගනු එපා පොඩ්ඩක් සිතනු සොඳ


        "කවි හටනක්" ලෙසට එහි අප නම තබමු
          අදහස හොඳද ඔබ ඒ ගැන කුම කියනු
          උදේ හවා එහි හොඳකවි පද ගොතමු
          එනමුත් පරණ බ්ලොගයට මුල් තැනම දෙමු

Bindi said...
         මම කැමතියි ඔබගේ ඒ අදහසට
         ලියනා අතර වෙන වෙන දේවල් රසට
         එන්නට ගොහින් හැක එහි මට හිතුන විට
         අරඹමු අපි ඒක පසු නොදමාම හෙට 

  මම හිතං හිටපු බ්ලොග් එක මෙන්න මෙහෙම එකක්

         නුඹ දුන් උපදෙස නිසා හෙට දින පටන් ගමු
         කවි හටනමත් නොව එහි වෙනසක් කරමු
         දමනා post යට සිට උඩ වෙන්නෙ යොමු
         එනිසා එක post එකකට comment දෙමු


        එහි නම වෙනස් කරනට ඔබ හට ඇහැකි
        කවි හටනට වඩා වෙනසක් වෙයි යෙහෙකි
        උදාහරණයක් දෙමි ඔබ හට මා දැන් කී
        ඒ බස් අසා ඔබ හට නම දෙන්ට හැකි


     උදා:
        අයෙක් ලිවොතින් ලස්සන ගමක් ගැන
        ගම මුල ගගයි ගම මැද පන්සලකි එන
        ඇරඹුම ගනී එක් කවියෙකු කවි ගොතන
        ඉන්පසු අනෙක් කවියෝ තම කවිත් දෙන


        ඔන්න ඔහොමලු නව බ්ලොග් තතු විත්ති
        බින්දිය ඉක්මණින් බ්ලොගයට නමක් දෙති
        ඒ නම අනුව ඇරඹෙන බ්ලොගයේම නිති
        දින පතාම කවි පබැදෙයි මට සිත් වී


     ප.ලි
       මෙහි දමනා නම සමග තේමා පඨ එවනු මැන
       බින්දිට පමණ නොව සියලට හැක ගන්න දැන

මං අන්තිමට කස්ටියට නමක් දෙන්න කියලා කිව්වා. ඔන්න ඊටපස්සේ

       කලකට කලින් හෙළ හෙළි නම් ඊ ලිපිනේ
       සුන්දර කවි කතන්දර නීති පද බැඳුණේ
       සැඩරළ කාලයේ විත් එය වල් වැදුණේ
       කවියට මෙහෙම පිටුවක් යළි නැහැ ඇරුනේ


       බින්දිය මෝදු කල කවියේ නෙලුම් පෙතී
       කාගෙත් හිතට සතුටක් ගෙනෙනවා නිතී
       නව කවි පෙතේ මුතු පද වැල් අකුරු ගෙතී
       කවි කිවිඳියන් උඩ අහසේ දිලෙනු ඇතී


       රස සුවඳින් මල් පුබුදන තෝතැන්න
       සුබ නැකතින් හැඩ නමකින් අමතන්න
       මෙහි නැතිනම් වෙන කිසිවෙක් නම දෙන්න
     "කවි මුතු මල්" ලෙස කැමතිද සලකන්න?

  නමත් හරි දැං. ඔන්න

      ඉහතදි අපේ සොහොයුරෙකුත් කිව් ලෙසට
      කාලය හොඳ නොවෙද දැන් කවි බ්ලොගයකට
                      
      දැන් ඉතිං වැඩේ තීන්දුයි.

       සුජී අයියා කියු ලෙස මා පිළි ගන්නා
       කවි මුතු මල් ලෙස දැන් එහි නම් ගන්නා
       චතුරංගත් එය හට මල් පුද දෙන්නා
       තව ටිකකින්ම ලින්ක් එක මෙහි ලියැවෙන්නා


       පෙර කී පරිදි නොව එහි කවි ලියැවෙන්නේ
       සිතේ නැගෙන සිතුවිලි රූ සමගින්නේ
       ඕනෙම කවියෙකුට තම කවි දමමින්නේ
       ඉන්නට හැකිය දිදුලන තරුවක් වැන්නේ

         ඒක තමා මේ බ්ලොග් එක පටන් ගන්න වස්තු බීජය වුණේ. කොහොමින් කොහොමින් හරි කමක් නෑ දැන් ඕනෙම කවියෙක්ට පුළුවන් මේකට කවි දෙන්ට.ඔයගොල්ලෝ නොදන්නවා වුණාට ඕගොල්ලන්ගේ  හිතේ කොනක තියෙන කවියක් නිසදැසක් මේකේ දාලා යන්න පුළුවන්නම් ගොඩක් හොදයි.එහෙමත් බැරිනම් මේ කවි ගැන ඔයාලට හිතෙන දේහරි කියලා යන්න.‍විශේෂයෙන් බින්දිට මෙන්ම අනෙක් අයටත් ස්තූතියි !

8 comments:

  1. ලස්සන කවි තවත් දින දින පූදින්න
    බ්ලොග් පිටු අතර සිතුවිලි සිත්තම් වන්න
    හිත්වල තියෙන හිතවත් කම් මෝරන්න
    කවි කිවිඳියනි කවි මුතු මල් වෙත එන්න

    ReplyDelete
  2. දුවගෙන ආමි මේ විගසම මේ බව දුටුව

    හරි ලස්සනයි මල්ලියෙ මේ කවි පිටුව

    ReplyDelete
  3. කුකුලා හඬද්දියි හා ‍ගෙට ‍ගොඩ වූ‍යේ
    ‍මේ දැක් ‍මේල්ලු‍වේ හනිකට ‍ගොඩ වූ‍යේ
    කවි මල් ‍ගොමුව ‍වෙත එමි මා සැමදා ආ‍යේ
    සුභ මල් කැකුළු ‍පුදමි පිබිදුන හා සිත් යා‍යේ........

    ReplyDelete
  4. කවි මල් පොඩි හිතේ පිපේවා
    පිපූ මල් පොඩි දමේ ගෙතේවා
    ගෙතූ මල් පොඩි කරේ දිලේවා
    දිලූ මල් පොඩි රසේ බෙදේවා

    ගල්මල් අඩවියෙන් සුබ පැතුම්!

    ReplyDelete
  5. තුති පුද කර සිටිමි අදහස් දුන්නාට
    ඔබටත් හැකිය දැන් මෙහි කවි පබැදින්ට

    ReplyDelete
  6. කවි මුතු මල් නමින් පිබිදී මේ විලස
    කවි රස දන්නවුන් හට දී අවකාස
    බ්ලොග් අවකාශයේ අතුරා කවි පලස
    රස කවි ලියන්නට එනු පා මදහාස

    නියමයි සහෝ... හදයි කිව්වට මෙච්චර ඉක්මනින් වැඩේට බහියි කියලා හිතුවේ නෑ. මේ අඩවිය කවි රසයෙන් ඉතිරේවා කියලා පතන්නම්... මේ වැඩේට පාර කපපු බින්දි අක්කටත් තුති. අපිත් නිතරම මේ පැත්තේ එනවාමයි. කවියෙන් කවියට පිලිතුරු බඳින්න තිබුනා නම් මරු. නැත්නම් පුංචි සිදුවීමක් පෝස්ට් එක හැටියට දාලා කවියකින් මුල පුරා දුන්නා නම් හරි. අපේ අනෙක් කවියෝ ටික වැඩේ ඇදගෙන යයි. එතකොට මේක අළුත් අත්දැකීමක් වේවි !!!

    කවි මුතු මල් දිගු කාලයක් වැජඹේවා !
    මම යන්නම් ඔබ සැම වෙත ජයවේවා !

    ReplyDelete
  7. ඔයාගේ email එක දාන්න . හොඳ අදහසක් ආවම එවන්නම් . ඒක පොස්ට් කරන්න . කට්ටියට ඇදගෙන ගියහැකි.

    ReplyDelete
  8. අදහස් ආවොතින් හෙම තම කවි සිතට
    පට ගා එවනු මෙම email ලිපිනයට

    asankaasiri@gmail.com

    මේකට මට විතරක් නෙමේ ඔයගොල්ලන්ටත් පෝස්ට් කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්නනම් මේකේ team member කෙනෙක් වෙන්න ඕනේ.එහෙම කෙනෙක් වෙන්නනම් මම ඔයගොල්ලන්ට invite කරන්න ඕනේ.හැබැයි invite කරන්න මම ඔයාලගේ email දන්නේ නැහැ.ඔයාටත් team member කෙනෙක් වෙන්න ඕනේ නම් email මෙතන දාන්න.එහෙම බැරිනම් මට email කරලා එවන්න.
    එහෙමමත් බැරිනම් ඔයාලගේ කවි අදහස් මට email කරන්න.(කතු අයිතිය සුරකිමි)

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................