Wednesday, June 22, 2011

පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි


විරිදුව කවි කොලෙන් ඇරඹුන කතන්දර   
බ්ලොග් පිටු වල ද නිම්නද දෙයි නිරන්තර  
සුමිහිරි කතා හැකි විදිහට මතක් කර
ලියමුද අපිත් කවියෙන් රස හැඟුම් බර

“කතන්දර” ලියන හැටියට කතා මෙගා
මටත් ලියන්නට සිත්විය කවට නඟා
මෙයත් තවත් සීරිසයකි හරිම දිගා
මෙගා නොවෙයි මේකේ නම තමයි පගා

-----------------
උසස් පෙලට ලියලා ප්‍රතිපල පැමිණ
මටත් නොරට යන්නට ඉඩ කඩ ලැබිණ
හදිස්සියේ මයි ඔක්කොම වැඩ යෙදුන
තවත් දෙමාසයකුයි ඇත්තේ යන්න

එරට ඉඳං මෙරටට ආ බුවෙක් හුනි    
නොරට ගැන මෙමට චිස්තර කියා දුනි
“නුඹට නැතිද ලයිසන්?” ඔහුගෙන් ඇසුනි
“එරට එකක් ගන්නට එය උදව් වුනි”

ඉතින් කොහොම ගමි රියැදුරු බලපත්තේ
හිතින් මටත් හරි කරදරයකි ඇත්තේ
“යමන් මං දන්න තැනකට අපෙ පැත්තේ”
මගෙත් එක්ක යන අනිකා එය දත්තේ

දෙන්නම හෙමින් ගිය විට ලර්නර් පොලට
උන්නා එකෙක් ලෝකෙම රවටන ජයට
“මල්ලිල නිකම් ගන්නව නම් යන කමට
දෙන්නම් පටස් ගා චුට්ටක් වැඩි මිලට”

කරනට තිබුනෙ නැහැ අපටත් වෙන කිසිවක්
දෙමසට කරන්නට ඇත තව වැඩ දහසක්
"ඉඳහිට ආවාම ඇති ඉඩ ඇති දවසක්
ගැනුමට හැකිය ලයිසොම නැහැ කරදරයක්"

මිනිහා එදා හිට සතියට වරක් මෙන  
මැස්ඩා වෑන් එකටට අප දමා ගෙන
පස්සා සීට් වල රොත්තක් ඔබා ගෙන
දුන්නා පාඩමක් තියරිය කියා දෙන

තියරිය මිසක නැහැ අප ලද අවකාසේ
එළවන්නට පුරුදු වන්නට අප රිසි සේ
බොහො විට සියලු දෙන නිමකල පසු දවසේ
සුළු මොහොතක් ලැබුණි ඉස්සරහට යන සේ

යන්තම් අල්ලලා වාහන කලාව
ටෙස්ට් එක කරන්නයි දැන් මේ වෙලාව
ට්‍රේනර් බාරෙකෙන් අර ගෙන “ජරාව”
නගරෙට ගියා මුණ ගැසුමට හොරා ව

පටන් ගන්නෙ වාචික පැන තුනක් අසා
දකුණට හැරෙන සලකුණ දුනි කියන ලෙසා
දෙවනුව වමට හරවන සලකුණ නොලසා  
අපෙන් එකෙකි මේ එක්සැමිනර් මිනිසා    

ඉන්පසු පාර දිගටම මහ ජරමරය
තනියම අරන් යන්නට දන්නේ නැතිය
තව පොඩ්ඩෙන් බැරල් බානා තඩි ලොරිය
මගෙ “හුරු අතින්” ගෑවෙනු වලකනු බැරිය

ටෙස්ට් එක කරන්නට ආ කොල්ලන් අතරේ
හිටියා එකෙක් ඌ මගෙ හොඳ හිත මිතුරේ
උගෙ අයියගේ රිය  පදවනවා නිතරේ
ඊයෙත් ගිහින් නඩයක් ගෙන දුරු කතරේ

මිනිහා උන්නෙ පිරෙනා තුරු දහ අටය
ඔය ලර්නර් මැජික් ඌ හට අනවැසිය
ගත්තේ වාහනේ කෙලි බඩුවක් ලෙසය
මිනිහා ඔහේ යනවා නැහැ ජරමරය

ටිකක් දුර ගිහින් මතු වී පුරුදු ගති
අතක් ගියර් එක උඩ ඌ තබා ගති
තවත් ටිකක් ගිය පසු රිය නතර වෙති
මෙතෙක් කරපු අයගේ ප්‍රතිපල කියති

අපට ලැබුනි පිටසන් පත සමග කොලේ
හොඳට දන්න කොල්ලට නැහැ එහෙම කලේ
“මෙහෙට එන්න” කියලා ඔහු ගියපු කලේ
“ඔහෙට ලැබෙන් නෑ ලයිසොන් එක” ගුගුලේ

“අනේ සර්  මොකක් දෝ මා කල වරද?”
“එක’තින් වීල් එක අල්ලන එක හරිද?”
අසමත් උනා ඌ හින්දා පොඩි වරද
මම ගොඩ ගියා ලොකු ලොකු දේ සිදු වුව ද

ඔහොමයි උනේ ලයිසන් ගත් කතාව  
ඌ කල වරද ලර්නර් නොම ගෙනාව
ආපහු ගෙනත් එක දවසට එයාව
ඌ ගොඩ ගියා අල්ලා ගෙන කලාව     

9 comments:

  1. බස් වල ගිහින්හැමදා ඇතිවුන කලට
    ලයිසන් ගන්න ගිය රියදුරු පුහුණුවට
    ගෙව්වා රුපියල්ම පන්දාහක් එයට
    මට හරියන්නේ නැහැ එය කම්මැලි කමට.

    පයින් ටිකක් වැඩිපුර ගොස් හන්දියට
    කොට්ටාවෙන් නැගී හොඳ බස් කටුවකට
    පැයකට වඩා හොඳ හැටි නිදියන් යසට
    යන එක හොඳයි නොගිහින් ඔය පුහුණුවට

    බස් නැවතුමට ළඟ ලර්නස් ගුරුවරයා
    මා දුටු විගස පස්සෙන් දුව එන සැටියා
    මන් හෙට එයි කියා ඔහු බලමින් සිටියා
    අල්ලයි වලිගෙ මන් අද මෙහි පිටරැටියා

    ReplyDelete
  2. @බින්දී

    ලයිසොන් ගත්තෙ වාහන එලවන්න නොවේ
    පිටරට බුවා දුන් උපදෙස පිලිපැදුවේ
    මට ඔය එලවිල්ල කරදරයකි මෙලොවේ
    වැඩපොළ කරා යන්නේ මං බස් කටුවේ

    ReplyDelete
  3. ලස්සන කවි පෙළකි මෙය නම් හරිම ගති
    මෙය කියවන විටදි මට ලයිසන් ගන්ට හිතී
    ලර්නස් ගොසින් ගන්නා ලයිසමෙන් නිති
    ජරමර පිටට තරදර ලැබෙනවා වෙති

    ලයිසන් ගන්ට වියදම් කරනා වේලේ
    පයින් ගියානම් වටිනවා නේද බොලේ
    ඒ මුදලින් සයිකලයක් ගෙන රාළේ
    හොදට පදිනු මැන තම ගම පහළ වෙලේ

    පිබිදීගෙන එන කවි මුතු මල් ඉත්ත
    ඒ මල්වලින් සුවදක් හමනවා සත්ත
    සමනල් බඹර කැළ ඇත මේ මල් වත්ත
    පැණි බී කියයි නැහැ නොවැ මේ පැණි තිත්ත

    ReplyDelete
  4. ලැයිසම ගන්න ඔබ කල ඔය අලි හොරය
    බොහො දෙන කරනවලු නොමැතිව අඬ හැරය
    කී එක හොඳය නැහැ නෙව මට රක්ෂණය
    මම සැඟවෙනව එනකොට නුඹෙ වාහනය

    ReplyDelete
  5. @ලකී;

    පුහුණුව එකකි ලර්නර් එක තව එකකි
    පැදවුම එකකි ලයිසොම වෙනමම පොතකි
    ඇත්තම ටෙස්ට් එක මහමග ලැබුණි සකි
    නොබියව හිඳින් මට එළවන්නට ඇහැකි

    ReplyDelete
  6. @අසංක

    අංකුර කවියන්
    තව එක්කරගන්
    ආරාධනාව
    පැත්තෙන් දමපන්

    ReplyDelete
  7. අපොයි හොඳ වෙලාවට මට කවි ලියන්ට බෑනේ...:D

    ReplyDelete
  8. පොඩ්ඩි ඔන්න ඔහේ ලියමු බලන්න. පුළුවන් කියල කට්ටිය නැහැනේ උපතින්.

    [[හොඳ වෙලාවට]]

    ... අර කවියෙන් නොකී කතාව නිකම් ලිව්වා නම්.

    ReplyDelete
  9. කොකා ගෙ බ්ලොග් දෙකක් තියෙන බව අදනෙ දන්නේ...

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................