Tuesday, October 9, 2012

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන්

කලක් ගොහින් මෙහි යළි ගොඩ වදින්නේ 
වෙනස් දෙයක් කරනට සිතා මං
සොයන්නටයි කවි මුතු මල් තලාවේ
කලක් සිතේ රැඳි කවියක කතාවක්

කුඩා කලේ අප පොත පත කියූ දේ 
සිතේ ලියවිලා සිතුවම් රටා මෙන්
ලියා මෙහි ඇතේ එබඳුම කවක් මා
සොයා ගනු රිසිමි පසුබිම් කතාවන්  

කිනම් පොත් පෙළක කවුද මේ ලීවේ
බසත් විරිත හා යුගයත් වටින්නේ 
නැතේ ද ඇසි දිසි ලෙස මෙය නඟා ලා? 
සියල්ල දැන ගන්නට රිසින් මා

සොයා සෙවුම්හල් වල සැරි සැරීමි
ලබා දුන්නෙ එක සෙවුමක්‌ පමණි ඉන්
එයත් පෙර දාක කවි මුතු මලේ හි
මෙමා දමා ලූ සටහන් පතක් වේ

පොඩිත්තියත් මෙය මා ගෙන් අසා ලා
උදෑසනේ හැමදා එය ගයන්නී
ලබා දෙතොත් තොරතුරු පහත කව් හී
බොහෝ ලෙසින් තුති පුදනෙමි ඔබට මා 

-------------

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් 

නැගෙව් කියන්නා වැනි දැන් මැ නින්දෙන් 
දොරින් අඩක් ඇරියා මැ මේ එන්නේ 
සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන් 

පියා හඹත් කූඩු වලින් කුරුල්ලෝ
ඉතා මැ මීරියි හඬ දැන් ඔවුන්ගේ 
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ 
අලුත් පණක් ගස් වලටත් ලැබීලා

10 comments:

  1. මේ කවිය පහේ පොතේ තියෙන වග මතකයි. ඒ ඇර කිසිත් මතකයට එන්නෙ නෑ සුජීව මල්ලී.

    ReplyDelete
  2. කවිය නම් මතකයි.... ඒ ගැන වැඩි තොරතුරු නම් කියන්න දන්නේ නෑ...

    ReplyDelete
  3. මටත් කවිය මතකයි නමුත් විස්තර මතක නෑනේ

    ReplyDelete
  4. කුමරතුඟු මුනිදස් විසින් උදය ගැන ලියූ කවකි.

    ReplyDelete
    Replies
    1. මෙය ස්ථිර කරමි .

      Delete
  5. මෙය කුමාරතුංග මුනිදාසයන්ගේ උදය නැමති කවි පන්තියයි. එය පසුව මෙහි පල කරමි.(ළඟදිම) දැනට ඔහු පිළිබඳවයි මේ.
    කුමාරතුංග මුනිදාස (1887 - 1944)

    රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
    ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
    කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.‍
    කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.
    සුජීව අයියේ බොහොම ස්තූතියි කවියක් පළ කළෘට. ඔය කවිය ළඟදිම කවිමුතුමල්වල ඵළවෙයි. ඒ වගේම වෙන කෙනෙකුට වුණත් හොයන කවියක් තියෙනවනම් කියන්න. ඒක මෙහි පළ වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! අසංක පුතා මේ සටහනට.

      Delete
  6. ස්තුතියි ඔබ සියලු දෙනාටම. ඇසි දිසි සබැඳියක් ලැබුනොත් එය මෙහි පල කරන්න. යූ ටියුබ් එකේ තිබ්බේ නැහැ.

    "සමන් පිච්ච මල් ඉහිරුණු" කවි පෙළ නම් ඇනිමේෂන් එකක තිබුණා.

    අසංකගේ අනාගත පෝස්ට් එක බලාගෙන ඉන්නම්.

    නැවත වරක් ස්තුතියි බෙහෙවින්ම.

    ReplyDelete
  7. කුමාරතුංග මුනිදාස
    ශික්ෂා මාර්ගය දෙවන පොත
    කුමර ගී ඇතුළු ළමා පැදි පොතෙත් ඇත. විසිදුනු පරකාශනයකි
    සී/ස (පොදු) විසිදුනු පරකාශකයෝ
    471, වැව පාර, බොරලැස්ගමුව.
    දුරකථනය 011-2518682

    ReplyDelete
  8. ධම්මික සිරිපාල6:06 PM, September 21, 2013

    සියළුම දෙනාට බොහොමත්ම ස්තුතියි ! දහම් පාසලේ පොඩි දරුවන්ට උගන්වන්නට සොයා සොයා සිටි පැදියේ දෙවෙනි කවිය ලැබුනා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................