Thursday, October 18, 2012

උදය - කුමාරතුංග මුනිදාස


ඇසෙන්නේ කා කා  හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්


පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා


සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ


දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ


'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි

කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත









කුමාරතුංග මුනිදාස (1887 - 1944)

රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.‍
කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.

4 comments:

  1. බොහොම ස්තූතියි තනූජා අක්කේ, සුජීව අයියා කරපු ඉල්ලීමට අනුව මම තනූජා අක්කගෙන් කරපු ඉල්ලීම වෙනුවෙන් මේ කවිය පළකිරීම ගැන.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි මේ කවි පෙළ පල කිරීම ගැන

    ReplyDelete
  3. මාත් කැමති ‍මිනිසෙක් තමයි කුමාරතුංගයන්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  4. බොහොම වටිනා ලියැවිල්ලක් ස්තුතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................