Thursday, October 6, 2011
අපේ කාලයේ හිඟන්නෙක්......
කළු කැත මුහුණ නාවර බේරී තිබුණු
දිය පොද පහස නැත ඒ වත මුණ ගැසුණු
කබ සොටු සේම රැවුලද තැන තැන පිරුණු
ඔහු දුටු විගස මූසල දවසක් ගෙවුණු
හොරි බලු නාම්බෙකු පටියෙන් දවටගෙන
තුරුලට රැගෙන ඌ හොඳහැටි සනසවන
ඒ බල්ලාට පමණක් කරුණා පාන
වෙන බල්ලෙකුට නොම දෙනු පාරේ ගමන
පදික වේදිකාවට උණුසුම දන්දී
දහවල් වනතුරුම ඔහුනම් එතන නිදී
කන්කලු හඬක් දෙන මැස්සට සවන දිදී
කකුලේ තුවාලය කසමින් සුසුම් අදී
කන්නට යමක් නැතිමුත් අහුලා බුදින
ඉඳහිට ලැබෙයි හොඳ කෑමක් සිත පිනන
සෙනසුරු වදින්නෙත් බත් පතකට හිඟන
යයි පවසමින් තම බල්ලට කෑම දෙන
කිසිදා යදිනු නැත මිනිසට වැඳ වැටිලා
හැකිනම් දෙන්න කීයක් හරි දුක හිතිලා
රුපියල පහ දකින තැන ඔහු බැන වැදිලා
මේකෙන් ඉන්න හැකිවෙද තේකක් බීලා
කර මත ගමන් මල්ලක් ඇත කළු පාට
සුසිනිඳු කොට්ටයකි එය සමහර රෑට
එහි නැති දෙයක් නැත මේ ලෝකය අවට
එයනම් ලැබී ඇත්තේ ඔහුගේ පිනට
තද ඝන අව්ව හා නා කපනා වැස්ස
ඔහු හට ලබා දේ රසබර සුව පහස
මේ සුවිසල් ලොවම වේ ඔහුගේ නිවස
එතුළට වැදී ඔහු ගෙව්වා තම දවස
[ සිතුවම 2011 පෙබරවාරි 13 වැනි දින සිළුමිණ පුවත් පතෙන්...]
Subscribe to:
Post Comments (Atom)
යාචයෙකුව දකින කවියා යාචකයා ගැන හිතන දේ...හරිම ලස්සනය පද එකතු කරාපු ගෙත්තමක්...
ReplyDeleteහරි අගෙයි !!
ReplyDeleteමල්ලි, හරිම ලස්සනයි, රුපියල් පහක් දුන්නම දැන් බනිනවම තමයි. හැම දෙයක්ම හරිම තාත්විකව ලියල තියෙනවා. ස්තූතියි ලස්සන කරල බ්ලොග් එක දැම්මට. ජයම පතනවා.
ReplyDeleteලෝකය ගැන විමසිලි ඇසින් බලා විවිධ මන් ඔස්සේ කවිය ගෙන යන අසංක මල්ලි.... බ්ලොග් එකත් ලස්සන කරලා . මන් දවස් දෙකකින් බ්ලොග් කියවන්න ගත්තේ . කොහෙන් පටන් ගන්නදැයි හිත හිත ඉද්දි මේ පැත්තට ආවේ . ආවට පාඩු වුනේ නැහැ .අපුරුයි
ReplyDeleteදැන් කාලෙ හිඟන්නෙක්ට රුපියල් පහක් නම් මදි තමයි..කවි ටික ගොඩක් ලස්සනයි
ReplyDelete