Friday, October 21, 2011

රුව දැකීම - ජී.බී.සේනානායක

රන් හැට්ටය ඇද
රන් පටියෙහි
දිග කඩුව බැද
අසු පිට නැඟුණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසුකොට ගියේ ය.
පස් වසක් ගමන් කළ ඔහු
විවාහ කොටගත් කුමරිය
ගෙන ඒමට
තව පස් වසක් ගත විය.
"එවැනි රුවක් නොදිටිමු" යි
ඈ ගෙනා දින
පුර වැස්සෝ කීහ.
එදින සවස් කල
පුර දොර අසලදී
රජ ගෙදර
දොරටු පල්ලාගේ දුව
භද්‍රා
කුමරුට හමු විය.
"තී කවුරුදැ" යි
ඔහු විස්මයෙන් ඇසී ය.
"තිගේ වැනි රුවක් 
මම කිසි කලක නොදිටිමි."


ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)



     නිර්මාණාත්මක සාහිත්‍යයට මෙන් ම විචාර සාහිත්‍යයට ද අදාළ කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍ය ක්‍ෂෙත්‍රයට දායාද කළ ගුණතිලක බණ්ඩාර සේනානායක හෙවත් ජී.බී. සේනානායක උපත ලැබුවේ 1913 ජූලි මස 14 වැනිදා කොළඹදී ය.
                    කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල සිට ම ඉංගි‍්‍රසි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියැවීමට රුචියක් දැක්වීය.
             හේමපාල මුනිදාස මහතාගේ ආරාධනයෙන් ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙහි ද, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුමෙන් ‘දිනමිණ’ පත්‍රයෙහිද පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ජී.බී. සේනානායකයන් කෙටිකතා නිර්මාණකරුවකු වශයෙන් කරළියට පැමිණෙන්නේ දිනමිණ පත්‍රයේ හා ‘නව මඟ’ සඟරාවේ කෙටිකතා පළවීමෙනි.
      ඔහුගේ පළමු ග්‍රන්ථය වන්නේ 1945 දී ලියා පළ කළ ‘දුප්පතුන් නැති ලෝකය’ නම් කෙටිකතා සංග්‍රහයයි. අනතුරුව 1946 දී ‘පළිගැනීම’ කෘතිය පළ වූ අතර නිසඳැස් කාව්‍යයේ ආරම්භය සනිටුහන් වූයේ මෙමඟින් බව විචාරකයෝ පවසති.
        1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ‘සාහිත්‍යසූරි’ සම්මාන උපාධිය ජී.බී. සේනානායකයන් වෙත පිරිනැමුණු අතර ඔහු ලියූ කෘති තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වී තිබේ.
        බුද්ධ පූර්ව භාරතීය සමාජය පසුබිම් කොට ගනිමින් 1964 දී ‘මේධා’ 1965 දී ‘චාරුමුඛ’ හා 1967 දී ‘වරදත්ත’ නම් ඓතිහාසික නවකතා ත්‍රිත්වයක් දසේනානායකයෝ රචනා කළහ. මීට අමතර ව ‘එකට එක’, ‘මම එදා සහ හෙට’, ‘සෙවණැලි’, ‘මණිකේතු’, ‘අවරගිර’, ‘රළ බිඳුම’, ‘ලොකු කුමාරිහාමි’, ‘මල පුඬුව‘, ‘කැකෑරිල්ල’, ‘ජල බැල්ම’, ‘බැඳුම’, ‘රුව‘, ‘මදුපාණී’, ‘උරගල’ හා ‘කෙලෙස් සයුර’ ඔහු විසින් රචිත නවකතා අතර වේ. ‘කලහය’, ‘දුප්පතුන් නැති ලෝකය’, ‘මිතුරිය’, ‘ගමන’, ‘පළිගැනීම’ හා ‘ඈත බැලුම’ සේනානායකයන් ලියූ කෙටිකතා සංග්‍රහ අතර වේ.
        ජීවිතයේ අවසාන භාගයේදී අන්ධභාවයට පත් වූ සේනානායකයෝ අන්ධ වී සිටියදී පවා නිර්මාණකරණයේ නිරත වූහ. ඔහු අන්ධ භාවයට පත්වූ අනතුරුව ලියූ කෘති අතරින් ‘විනිවිඳිමි අඳුර’ කෘතිය ප්‍රධාන වේ.
       නවකතා කලාව, විචාර ප්‍රවේශය, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව හා සාහිත්‍ය දර්ශන සිතිවිලි ඔහු ලියූ විචාර ග්‍රන්ථ අතරින් කිහිපයක් වන අතර 1985 මාර්තු 16 වැනිදා අලුයම මේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යවේදියා ජීවිතයෙන් සමුගත්තේ ය. 

10 comments:

  1. බොහොම වටිනා ලිපියක් මල්ලි . සමාවෙන්න කවිමුතු අත ඇරලා නෙමේ . වැඩ ටිකක් වැඩියි මේ දවස්වල . පොත් ටිකකුත් ලැබුනා කියවන්න . සේද මාවතෙත් අතරමන් වෙලා ඉන්නේ . කවියක් ලියන්න සිතක් ඇති වුන ගමන් මේ පැත්තේ එනවාමයි

    ReplyDelete
  2. මහත්මයා,
    ඔබතුමා ලොකු සේවයක් කරනවා වගේ පරන කවි දාල,
    මටත් උදවුවක් කරනවද?
    මට ඕන කුඩලිගමයන්ගේ "සොහොන්බිම" කවි පන්තිය.
    මම හෙවුවා හම්බුන් නෑ.
    ස්තූතියි.

    ReplyDelete
  3. ජී.බී...කියන්නේ මාත් ඉතා කැමතී ලේඛකයෙක්....
    සහො...මං අවුට් උනේ 2000...දී

    ReplyDelete
  4. ජීබීගේ කතාවල මම කැමතිම දේ තමයි යම් යම් සිදුවීම් වලදී මිනිස් සිතේ ඇතිවන හැඟීම් (කෝපය, ඉරිසියාව වගේ) ඒවා පහල වුනු හැටිත් ඒවා යටපත් කරගෙන වෙනස් විදිහකට පෙනී සිටිය හැටිත් ගැන කරන විවරන . .

    ඒවා හරිම තාත්විකයි . . .

    මගේ කැමති කතා කරුවෝ අතරින් කෙනෙක් ජීබී කියන්නේ

    (උඹට බ්ලොග් එකක් තියෙනවා කියලා දන්නේ අදයි බන්)

    ReplyDelete
  5. මේක උඹේ බ්ලොග් එක කියලා දන්නේ අදයි කියලා වෙනස් වෙන්න ඕන . ..

    ReplyDelete
  6. අඩේ සමාවෙන්ට . . මම හිතුවේ මේ බ්ලොග් එක ලකීගේ කියලා . .පස්සේ දැක්කේ ලියන කස්ටිය

    ReplyDelete
  7. ජී බී සේනානායක පළිගැනීමේ ම තවත් කවියක දී මෙහෙම කියනවා..

    මම තොප නොහඳුනමි..
    මට තොප මතක නැත..

    කියෙව්වම හිතෙන්නේ නම් මහා විකාරයක් කියලා.. ඒත් මේ කවියේ සහ ඒ කවියේ යම් සමාන කමක් තියෙනවා කියලා දැනෙනවා..

    ReplyDelete
  8. lionel Ratnatilake5:54 AM, April 03, 2012

    ජී.බී.කියන විද්වතාගේ නොකියූ පොතක් නැහැ.එකොළහේ පන්තියේදී "වරදත්ත" සාහිත්‍ය විෂයය සඳහා නියමිත උනා. හැබැයි මට අවුට් වෙන්නට බැරි උනා. හේතුව, ඇතුලට යන්නට වරම් නොලැබූ නිසයි.

    ReplyDelete
  9. ජී. බී. සේනානායකගේ නිශ්ශබ්දතාවය නිසදැස සොයනවිට මේ බ්ලොග් සපෝට් එක හමුවුනේ, ඒ කවිය පලකරන්න ඔබට පුලුවන්ද?

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................