Thursday, August 25, 2011

රැවුල

අතදරු සමය පසු කරමින්                 සැතපෙන්නේ
සුසිනිදු බවකි ඔහුගේ මුහුණේ                     රැඳුනේ
කිරි පැහැ සුදෙනි ඔහු ගත මෙන් සිත           දිලුනේ
පෑයූ පුන් හඳක් මෙනි බබලණ                   පින්නේ

බහක් නොතේරෙන වදනට                     උල්පතය
පිරුණූ මස් ගොබින් යුතු ඔහුගේ                   ගතය
සඳ හිරු කිරණ පායා ඔහු වත                        මතය
ලාවට නැඟුණු ගස් තඹ පාටින්                       යුතුය

දනගා යනෙන වයසට දැන් කෙමෙන්           හැරේ
වෙනමම ලෝකයක් තම සිත තුළම               පිරේ
වෙනසක් නොමැත සිත නොයොදමි රැවුල   කෙරේ
මොනර ගෙල පැහැය මෙනි කෙස්          අතරතුරේ

පාසැල් සමය අවුදින් ඒ තුළ                      වෙලුණූ
තඹ පැහැ ගස් කෙමෙන් රඹ පැහැයට         හැරුණූ
දුවිලි වැදී මුහුණේ දහඩිය                          පෙරුණු
අව් රැස් නිසා තද කළු පැහැයෙන්                  දිලුණු


සැබෑ වතකි නෑ පලඳා වෙස්                          මුහුණූ
ඉලන්දාරි යැයි කීවා ගම                             ගැහැණූ
කටහඬ රළුය හඬ මෙනි බසයෙන්              නැඟුණූ
කුරුලෑ මුහුණ සඳ ලප වාගෙයි                     පිරුණූ

පරිනත යොවුන් වයසේ දැලි රැවුලේ               හැටී
මුල්වර කැපු දින කිරිබත් කාලා                        සිටී
මුහුණම එළිය වී රස ආලයක                          වැටී
දින දින වෙනස් වන හැඩයෙන් යුතුව                දිටී

තේජස බලය පෙන්වන උඩු රැවුල                   එදා
ඔහු හට දාව දරුවන් සිව්දෙනෙකු                     වදා
සඳ නැති රෑක ගගනේ කළු පැහැය                   බදා
තිබුණත් පසුව තැන තැන ඇති පැහැය             සුදා

තැන තැන රැවුල හටගෙන ඇති මේ               දවස
අඳයට ගත් කුඹූර මෙනි ඔහු පෙර                  දවස
රැවුලද ඔහු සමඟ වල ගොස් තනි                 පිණීස
සුව සේ වෙසේවයි දුරු කරගෙන              වෙහෙස

19 comments:

  1. ඉතාම ලස්සනයි!
    නොහිතෙන මාතෘකාවක් ගැන ලියල තියෙන්නේ!

    ReplyDelete
  2. මේ කවිය සාගර පලන්සූරිය කවියාගේ පරිණාමා කවියට සාපේක්ෂව ලියන ලද්දක්.විශේෂයෙන් පර්යේෂණමය කවියක් විදියටයි මම දකින්නේ.මේ කවියෙන් මොනයම්ම ආකාරයකට හෝ මුල් කවියට හානියක් සිදුවූයෙන් නම් සමාව භජනය කොට සිටිමි.ඇත්තෙන්ම සාමාන්‍ය ආකාරයට කවියක් ලියනවාට වඩා අමාරු කාර්යයක් බව නම් වැටහුනා.ඔබගේ අදහස් තබා යන්න.

    ReplyDelete
  3. @ ඉන්දික
    ස්තූතියි.

    ReplyDelete
  4. හරිම අපූරුයි අසංක..හරිම අපූරුයි..ආයෙත් නිදහස් කාලයක් ඇවිල්ල වගේ..මට මතක විදියට ඔයා මේ අවුරුද්දෙ A/L නේද ?

    ReplyDelete
  5. අසංක ඔබේ කවි හැකියාව ඉහල යන හැටි දකින්නත් ආසයි.

    ReplyDelete
  6. මල්ලි මට නම් මෙය මෙතෙක් ඔබ ලියු හොඳම කවි පෙළ . අනගි වචන භාවිතය සහ රිද්මය හොඳින් ගැලපිලා . හරිම සතුටුයි. ඔබේ ඉදිරි කවි දිවියට මගේ අවංක සුබ පැතුම් .

    ReplyDelete
  7. නියම කවියක් මචං ඒවගේම අමුතුම කවියක් .. කාට හිතෙන්නේ මෙහෙම දෙයක් ගැන ලියන්න .. මචං උඹ බ්ලොග් ලියන්න එන්න තිබුනේ මීට කලින් .. සුපිරි කවියක් කියලා මම ආයේ කියනවා


    මට වෙලා තියෙන්නේ මාරම වැඩක් නෙව මගේ මූනේ වම් පස රැවුල වැවීම දුර්වලයි

    ReplyDelete
  8. අසංක මල්ලී ඔබේ නිර්මාණශීලිත්වය ගැන හරිම ආඩම්බරයි. වරක් දෙවරක් නොවේ කිහිප වරක්ම කියෙව්වා, රසවින්ඳා. මාතෘකාව දකින කෙනෙකුට සාමාන්‍ය දෙයක් හැටියට හිතෙන්න පුලුවන්. ඒත් ඒ සාමාන්‍ය දෙය තුල ඇති අසාමාන්‍ය දෙය මතුකිරීම හා කවීත්වය අතර සමතුලිතතාවය එතරම් ලේසි දෙයක් නෙවේ, ඔබ එය බොහෝ සාර්ථකව කර ඇත. ජය.

    ReplyDelete
  9. ඇත්ත තමයි. ඔයා බලන් ඉදිද්දී නේ දියුණු වෙන්නේ. හරිම ලස්සනයි මල්ලි දිගටම ලියන්න

    ReplyDelete
  10. අසංක මල්ලී ,
    මේ කවි පංතිය හරිම අපූරුයි. දිනෙන් දින දියුණු වනවා දකින විට හරිම සතුටක් දැනෙන්නෙ. අසාමාන්‍ය මාතෘකාවක් හරිම අපූරුවට ජීවන දහමේ අනියත බවත් වෙනස්වීමත් කැටිකරලා ගොඩනගපු හැටි අපූරුයි. දිනෙන් දින දියුණුවන්නට හදවතින්ම සුබ පතනවා. හොඳට විභාගේ කලා නේද?

    ReplyDelete
  11. @ luckey
    ස්තූතියි.නිදහස්මයි කියල කියන්න බෑ.තාම විභාගේ ඉවර නෑ.මේ දැනුත් එක පේපරයක් ලියලයි ආවේ(ඒවා ගැන නම් මොකට කතා කරනවද)හැබැයි මාර වැඩේ කියන්නේ මට විභාග දවස්වලට තමා කවි සිතුවිලි එන්නේ.සමහරවිට මානසික ආතතියට වෙන්ඩ ඇති.O/L ලියන කාලේ තමයි මුලින්ම කවි ලිවීම ආරම්භ වෙන්නේ.ඊටපස්සේ ආපහු A/L කාලේ.කොහොම වුණත් දැන්නම් දිගටම ලියැවෙයි කියල හිතනවා..

    ReplyDelete
  12. @ Sujeewa Kokawala

    ස්තූතියි සූජීව අයියේ.ඔයාලගේ දිරි ගැන්වීම තමයි මට තියෙන සතුට.මගෙ කවියක් බලල කෙනෙක් ඔහොම කියනකොට ඒ සතුට දෙගුණ තෙගුණ වෙන එක නවත්තන්නනම් මටත් බැරිවෙයි.

    ප.ලි - ආ සුජීව අයියේ මම ඔයාගේ අළුත් බ්ලොග් එක දැක්කා.ඒකේ තිබ්බ කෙටි කතා ටිකනං සුපිරි ඈ...
    මගෙත් ආසාවක් තියෙනවා කෙටි කතා ලියන්න.උත්සහයක් දරල බලන්න ඕනේ

    ReplyDelete
  13. @බින්දි
    විශේෂ ස්තූතිය ඉතිං බින්දි අක්කට තමා.මම තවත් කවි පන්ති 2ක් 3ක් ලියල තියෙන්නේ ලඟදිම දාන්නම්.දැන් ටික දවසකින් අක්කා කවිමුතුමල් වල පෝස්ට් එකක් දැම්මේ නෑනේ.ලඟදිම දාන්නකෝ මොකක් හරි කවි පන්තියක්.

    ReplyDelete
  14. @හිස් අහස

    ස්තුතියි සහෝ.මටත් හිතුණා ටිකක් කලින් බ්ලොග් ලෝකෙට ආවා නම් කියලා.බ්ලොග් කලාවත් එක්තරා විදියක අමුතුම කලාවක් කියලයි මට හිතෙන්නේ. කවිමුතුමල් වලට සාදරයෙන් පිළිගන්නවා

    වම්පස රැවුල ටිකක් වැඩිපුර කැපුවොතින් හරි යයි. හික්ස් :D

    ReplyDelete
  15. @ගල්මල්-Coral
    ස්තූතියි.ඇත්තෙන්ම කවුරුත් නොහිතන මාතෘකා ඔස්සේ කවි නිර්මාණය කිරීම තමයි කවියගේ ක්‍රියාවලිය.ඊට අනුගත වීමට මා දැරූ ප්‍රයත්නයනම් සාර්ථකව ඇති බවට ඔබගේ අදහස තුළින් මනාවට ඔප්පු වෙනවා.ඔවැනි දිරිගැන්වීම් තුළින් ඉදිරියේදී හොද නිර්මාණ කිරීමට ඇති බලාපොරොත්තු නම් එමටයි. Thankz..

    ReplyDelete
  16. @ Chandy VIC

    ස්තූතියි අක්කේ

    ReplyDelete
  17. @ Chandi
    ස්තූතියි අක්කේ.ඔන්න බලන්න අක්කේ රැවුලේ වටිනාකම. ජීවිතය තේරුම්ගන්නත් පුළුවන්නේ රැවුලෙන්.අක්කා ඔය අන්තිමට අහපු ප්‍රශ්ණෙට නම් හිනාවකින් සංග්‍රහ කරනවා ඇරෙන්න දෙන්න උත්තර නෑ මං ලඟ....

    ReplyDelete
  18. ෂා ඔයා නම් මාරයි මල්ලි.
    O/L කාලේ නෙමේ පොඩි කාලේ ඉදලම ඔයා කවි හදනවනෙ.මතක නැද්ද පොඩි දවස් වලදි මේ ලෝකෙ තේරුමක් නැති වචන තොගයක් තා‍ලෙට කිය කිය ඉදල අපි මැදදි කථා කලොත් බැන බැන අඩන්නෙ සින්දුව නවත්තපු තැන මතක් කරන්න..... කියල.මළ වදේ ඒ දවස්වල නම්.
    තව තවත් ලියලා දක්ෂතා දියුණු කරගන්න. හුගක් ආඩම්බරයි මට ඔයා ගැන.

    ReplyDelete
  19. මම සින්හල කවි එකතුවක් හදනවා, ඒකට මේ කවි වලින් ගොඩක් අදසක් ගන්න පුලුවන් උනා, බොහොම ස්තුතියි අයියෙ !

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................