Sunday, June 27, 2021

උගත්කම - කේයස් (සාගර පලන්සූරිය)

එළු සකු මගද පොත් කට පාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී

පොළොවට ගැටගසන්නා වාගේ අහස
වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස

හැම වචනයම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා ඔහුගෙන් දුරුව

මේ පොත නිසා බිරියත් නැති වූයේ
ඉන් පසු ඈ නොවෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැදවා යළි පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම්දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා පිරුණු සොයින්

ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් මේ හෝටලය වෙත
කිසිවෙකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල් කරු අලාබෙට
උගතා බැරිම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියෙ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමග පියා
අරහෙන් මෙහෙන් යම්තම් ගමන ගියා

පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කලෝ කිසිවකු එහි නොයන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නොකියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිගන්නෝ රැස් වෙති රැට
නරකද එතැන තෝරා ගත්තම මීට

මෙහෙම සිතාලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනේ ලා අලුතින් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙපයින් ගමන් කර
ලංවිය හිගන්නන්ගේ පැමුනුමෙන් පෙර

ගත කල මුළු දවස හිගමන පිණිස
ආවෝ හිගන්නෝ අම්බලමට සවස
වෙන දවසට වද අද මෙහි දුටු වෙනස
ඇති එක පඩිතුමා උන්ටත් පෙර පිවිස

පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැත කන මෙන් පහර
හිගන්නෝ නිදති එහි තැන තැන වැතිර

මැදයම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිගන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේදැයි තව උගුරෙ කෙළ
කම්මැලි වී වැනෙයි පොල් තෙල් පහනේ සීල

පඬුවා තනි වුණා රෑ අම්බලමේ පිලේ
හිගන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ උගතකුගේ මොළේ

බිරිය නඩු දමා ඇති දික්කසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කලයි මහජනයගේ විවේකෙට
මිනිහට විරුද්ධව පැමිණිලි හැබෑවට

දිනකට සිතාසී හත අට ගණනේ ලැබේ
මිනිහට විරුද්ධව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්ධයි මා කළ පොතට
එහි වරදෙක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්න එහෙනම් අවසරද මට

මේ මහ පුදුම පොත කොහොමද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුනොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

ගතවිය දවසක් දෙකක් නෑ ඉවර පොත
පෙරකදෝරුවෙක් එහි බෙහෙතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ලතැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

උසාවියෙ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් විය බැරි තැන සිය දුරයෙන්

 

කේයස් (සාගර පලන්සූරිය)

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය - සාගර පලන්සූරිය

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙලවරය

"හීං මැණිකෙ මගෙ" කියමින් කී ටිකිරි
බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි
පත් වූ කීප වේලවක මේ ළදැරී

"ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද"
කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ

ටිකිරී පොහොසත් ය නැණ ගුණ දෙක වැඩි
අදිරී දුප්පත් ය ගත සිත හැඩි දැඩිය
ඇගේ නියම ආලය මනිනා පඩිය
අදිරිගෙ පැත්තෙ ලා බැලුවම බර වැඩිය

සතුටින් සමාදානෙන් සැපතින් ඉන්නා
දැක දැක සෙනෙහෙ බර අඹු සැමි දෙන්නා
ටිකිරිගෙ ආදරය එලියට නොම පෙන්නා
පුරුදු පරිදි ඔහු සඟවාගෙන උන්නා

විපතට විපත හමුවන තැන මහ විපත
දුකකට හේතු විය මැණිකෙගෙ දරු උපත
දුක් විය යුතු නොවේ ඇසුමට මේ පුවත
උපන් දරුවාට අයියෝ නැත දෙනෙත

යන බව කියා මැණිකෙට ලියුමක් ලීවා
ඔහු පිටරට ගියා කරනුව යුද සේවා
සිංගප්පූරුවෙන් මුල් ලියමන ආවා
වෙඩි වැද අතක් කැපු බව ලිපියෙහි වූවා

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අතපය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිලු කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න
කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න
මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න
දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න

වලව්වේ ඉදිරිපිට වත්තේ කොණක
අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලක
මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක
මල් පහන් පුදනු කාටත් බැලිය හැක


කේයස් (සාගර පලන්සූරිය)
1 ජනවාරි 1948

වලස් දඩයම - විමලරත්න කුමාරගම




පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි
තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි
වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි
බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරු වලා වැලි කම්මැලි ලෙස පාවේ
කිසියම් සතෙක් තව නැත වැව වෙත ආවේ
දාඩිය ගලා බැස මුලු සිරුර ම නෑවේ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවේ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක්ය- ඇය පසු පස දරු දෙදෙන
යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙඩි නොතියන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පද්දේ
වැළපෙයි කිරල රැළ උඩ පැන වැව මැද්දේ
ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන් වෙතී

"කවිවලට ලැබුණු අදහස්වල බොහෝ ඉල්ලුමක් තිබූ කවි පන්තියකි."

ඉන්ද්‍රජාලික පෙම්වතියට..෴💙💙💙

සුළඟටම තතු කියන මුහුදු රළ ඈ නතුය

අහස්කුස පෙම් බඳින වැහි පොදද ඈ සතුය

අතුරිකිලි මත පිපුන මල් ගොමුව ඈ වෙතය

නුබෝගැබ මත දිලෙන තරු කැකුළු ඈ නෙතය

 

ඇගේ මුදු කටහඬට ගහකොළද අවනතෙනි

ආදරය ගැන කතා බොහොමයක් දිග ඇරිණි

කටු පඳුරු මත පවා ඒ නිසා මල් පිපුණි

පතොක් මලකට ඇගේ කඳුළු බිඳුවක් වැටුණි

 

උස්ම තුරු මුදුන්වල කෙළවරෙහි අත්තෙ සිනිඳු මල් පෙති පවා ආදරය හැඳිනගයි

වැහුවාම සමනලුන් මලින් බර ඉත්තෙ උන්ගෙ අත්තටු පවා ආදරේ පැහැයගයි

කණාමැදිරියෙකු වුව මුළු රැයක් මත්තෙ ආදරේ නිසාවෙන් සොඳුරු එළි විහිදුවයි

සොබාදම කොහෙන්දෝ මෙය ඉගෙනගත්තෙ ආදරේ අකුරු දන්නේ ඇගේ හදවතයි




Thursday, December 5, 2019

බොරපාට ඇස්


























චතුරස්‍රෙ මහ කොටුවේ වාඩි වී      උන්නාම
බොරදමේ කැටයමින් හඳ එන්න  ගත්තාම
බොරපාට ඇස්වලට ඒ එළිය         වැටුණාම
කඳුළු කැට දිලිසේවි සිනහාව         අස්සේම

Sunday, February 18, 2018

"අාදරය" බ්‍රැන්ඩ් එක

Image result for love business

ප්‍රින්ට් කරලා විකුණන්න
රෝමියෝ ජුලියට්ව
ගෙලවටා බැඳගන්න
දස්කොන්ව ප්‍රමිලාව
ස්ටිකර් හදාගෙන
ගජමන්ගේ කවිවලින්
ෂෙයා කරගෙන යන්න
ක්ලියෝපැට්රගේ පුවත
සාජහන් මුම්ටාස්
දන්නවද දන්නේ නෑ
අාදමුයි ඒ්වවයි
සීඩිවල කවරවල
දෙව්දාස් ෆිල්ම් එක
පොරි කකා බලනකොට
අාදරේ කොහෙද බං
දුවන හදවත් වලට

"අාදරය" බ්‍රැන්ඩ් එක
කෑගහලා විකුණන්න
අනංගයාගේ කඩෙන්
හී පාර විදගන්න
අාදරය විරහාව දෙකම
ලාභයි ගන්න
අපි තාම පිටස්තර
නැද්ද බං අාදරෙට......

Friday, February 16, 2018

වරද - ජී.බී. සේනානායක

File:Weeki Wachee spring 10079u.jpg

ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.

ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,

ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.

ඔබ මිස
අන් කිසිවකු  නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය,

නැඟී සිට සමාවන්න, ස්වාමීනි,

- - - - - - - - - - - - - - - - -

මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,

මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත් 
නෙත් පියා ගතිමි.

ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)

Tuesday, August 8, 2017

ඇත් ගාලේ දරු පෙම. - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

Image result for images of elephants

මොකටද අම්මේ 
අම්මට ගැහුවේ 
මාමල දෙන්නෙකු
වටකරලා

ඇගපත තැලිලා
රිදෙනව ඇතිනේ
කොච්චර ගැහුවද
බැඳ දමලා 

දෙපා සතාගේ 
ළඟ කාබීගෙන
සිටියම ගතිගුණ 
වෙනස් වෙලා

මාමල ඔහොමයි
උන්ගේ බහටම 
හැරෙනව නෑ කම 
අත්හැරලා

Friday, April 7, 2017

ප්‍රබුද්ධ - මහගම සේකර

මහගම සේකරයන් උපන්නේ අප්‍රේල් මාසයේ අද වන් දිනයකදීය. එතුමාට උපහාරයක් වශයෙන් මෙම කවිය කවිමුතුමල් වල පළ කරමි.


භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.

ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට

වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.

කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.


මහගම සේකර 

මහගමසේකර 1929 අප්‍රියෙල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකුනවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

Wednesday, April 5, 2017

අඳුර අපේ දුක නිවාවී - ගුණදාස අමරසේකර


යමන් කළුවෙ ගෙදර යන්න, කන්ද උඩින් අඳුර    එනව
උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය     දැනෙනව
අඳුර තමයි අපෙ ඇඟපත නිවන්ට දෙවියෝ        එව්වේ
හනික යමන් ගාල්වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

උදේ හිටන් අව් කට්ටේ උඹව තියන්       මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයි කියාපන්කෝ දැන්වත්       මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ     විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක           නිවන්ට

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම්    කන්නට
දෙයියො තමයි අඳුර දුන්නේ අපෙ ඇඟපත ගිනි නිවන්ට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරව        ගන්ට

මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ      රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද                දමාවී

හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට       ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද       යනව
අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක්       කියනව
ඒ එක්කම ඇහැ පියවිල එළිවෙනතුරු නින්ද        යනව

දෙයියො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟපත      නිවාලන්ට
යමන් කළුවෙ ගාල්වෙලා එකට වැටී                නිදාගන්ට
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය                හෙමිහිට

අඳුර  රෙද්ද, පෙරවාලා අපෙ ඇඟපත නිදි             කරාවී
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර                     නිවාවී

ගුණදාස අමරසේකර