Showing posts with label G.B.Senanayake. Show all posts
Showing posts with label G.B.Senanayake. Show all posts

Friday, February 16, 2018

වරද - ජී.බී. සේනානායක

File:Weeki Wachee spring 10079u.jpg

ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.

ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,

ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.

ඔබ මිස
අන් කිසිවකු  නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය,

නැඟී සිට සමාවන්න, ස්වාමීනි,

- - - - - - - - - - - - - - - - -

මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,

මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත් 
නෙත් පියා ගතිමි.

ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)

Wednesday, March 22, 2017

නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක


දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල් 
කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......

මා මුහුනෙහි 
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....

මසකු හඬනගා දැඟලූයෙන්
ගං ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....

ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......

ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....

නිශ්ශබ්ද්තාවය දැඩි විය 
පෙදෙස වසා ගෙන පැතිරුනු 
නිහඩ බවින් මිරිකුණු මම 
ඇයගේ 
රන්වන් 
දිගටි 
නිසල 
මුහුණ දෙස බලා 
කරබා ගතිමි. 

ජී.බී. සේනානායක

Friday, October 21, 2011

රුව දැකීම - ජී.බී.සේනානායක

රන් හැට්ටය ඇද
රන් පටියෙහි
දිග කඩුව බැද
අසු පිට නැඟුණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසුකොට ගියේ ය.
පස් වසක් ගමන් කළ ඔහු
විවාහ කොටගත් කුමරිය
ගෙන ඒමට
තව පස් වසක් ගත විය.
"එවැනි රුවක් නොදිටිමු" යි
ඈ ගෙනා දින
පුර වැස්සෝ කීහ.
එදින සවස් කල
පුර දොර අසලදී
රජ ගෙදර
දොරටු පල්ලාගේ දුව
භද්‍රා
කුමරුට හමු විය.
"තී කවුරුදැ" යි
ඔහු විස්මයෙන් ඇසී ය.
"තිගේ වැනි රුවක් 
මම කිසි කලක නොදිටිමි."


ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)



     නිර්මාණාත්මක සාහිත්‍යයට මෙන් ම විචාර සාහිත්‍යයට ද අදාළ කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍ය ක්‍ෂෙත්‍රයට දායාද කළ ගුණතිලක බණ්ඩාර සේනානායක හෙවත් ජී.බී. සේනානායක උපත ලැබුවේ 1913 ජූලි මස 14 වැනිදා කොළඹදී ය.
                    කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල සිට ම ඉංගි‍්‍රසි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියැවීමට රුචියක් දැක්වීය.
             හේමපාල මුනිදාස මහතාගේ ආරාධනයෙන් ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙහි ද, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුමෙන් ‘දිනමිණ’ පත්‍රයෙහිද පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ජී.බී. සේනානායකයන් කෙටිකතා නිර්මාණකරුවකු වශයෙන් කරළියට පැමිණෙන්නේ දිනමිණ පත්‍රයේ හා ‘නව මඟ’ සඟරාවේ කෙටිකතා පළවීමෙනි.
      ඔහුගේ පළමු ග්‍රන්ථය වන්නේ 1945 දී ලියා පළ කළ ‘දුප්පතුන් නැති ලෝකය’ නම් කෙටිකතා සංග්‍රහයයි. අනතුරුව 1946 දී ‘පළිගැනීම’ කෘතිය පළ වූ අතර නිසඳැස් කාව්‍යයේ ආරම්භය සනිටුහන් වූයේ මෙමඟින් බව විචාරකයෝ පවසති.
        1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ‘සාහිත්‍යසූරි’ සම්මාන උපාධිය ජී.බී. සේනානායකයන් වෙත පිරිනැමුණු අතර ඔහු ලියූ කෘති තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වී තිබේ.
        බුද්ධ පූර්ව භාරතීය සමාජය පසුබිම් කොට ගනිමින් 1964 දී ‘මේධා’ 1965 දී ‘චාරුමුඛ’ හා 1967 දී ‘වරදත්ත’ නම් ඓතිහාසික නවකතා ත්‍රිත්වයක් දසේනානායකයෝ රචනා කළහ. මීට අමතර ව ‘එකට එක’, ‘මම එදා සහ හෙට’, ‘සෙවණැලි’, ‘මණිකේතු’, ‘අවරගිර’, ‘රළ බිඳුම’, ‘ලොකු කුමාරිහාමි’, ‘මල පුඬුව‘, ‘කැකෑරිල්ල’, ‘ජල බැල්ම’, ‘බැඳුම’, ‘රුව‘, ‘මදුපාණී’, ‘උරගල’ හා ‘කෙලෙස් සයුර’ ඔහු විසින් රචිත නවකතා අතර වේ. ‘කලහය’, ‘දුප්පතුන් නැති ලෝකය’, ‘මිතුරිය’, ‘ගමන’, ‘පළිගැනීම’ හා ‘ඈත බැලුම’ සේනානායකයන් ලියූ කෙටිකතා සංග්‍රහ අතර වේ.
        ජීවිතයේ අවසාන භාගයේදී අන්ධභාවයට පත් වූ සේනානායකයෝ අන්ධ වී සිටියදී පවා නිර්මාණකරණයේ නිරත වූහ. ඔහු අන්ධ භාවයට පත්වූ අනතුරුව ලියූ කෘති අතරින් ‘විනිවිඳිමි අඳුර’ කෘතිය ප්‍රධාන වේ.
       නවකතා කලාව, විචාර ප්‍රවේශය, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව හා සාහිත්‍ය දර්ශන සිතිවිලි ඔහු ලියූ විචාර ග්‍රන්ථ අතරින් කිහිපයක් වන අතර 1985 මාර්තු 16 වැනිදා අලුයම මේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යවේදියා ජීවිතයෙන් සමුගත්තේ ය.