Showing posts with label P.B.Alwis Perera. Show all posts
Showing posts with label P.B.Alwis Perera. Show all posts

Friday, January 27, 2017

තවුසාට වූ හදිය - පී.බී.අල්විස් පෙරේරා















දැහැනින් නැගුණු තවුසා දැක කුටිය       ළඟ 
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව    දිග 
සාමිනි අපට යා යුතු තව බොහොම        මඟ 
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි   ලැග

අතහැර මිනිස් වාසය නිදහස              පැතුව 
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස   යුතුව 
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර            ඇතුව 
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ  නැතුව 

ගොළුවන් වගේ කරබා මුල්ලකට      වෙලා 
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය    නොලා 
අපි මොන තරම් සංවර වෙන්නෙමුද     බලා 
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි        මුලා 

තවුසා කුටිය එක මුල්ලක ඉඩ        දුන්නේ 
පිම්බා ලෙසින් මීයට නිහඩව         උන්නේ 
පැයකට පමණ පසු කවුරුත්  කොදුරන්නේ 
ඇතමුන් තව්සගේ ඵලවැල ටික     කන්නේ 

බණ බාවනාවට කරදර ඇතිඳු             ඉතා 
තවුසා සිටියි මුල්ලක එරමිණිය       ගොතා 
මගියෝ ලැබුණු නිදහස තව දුරට        පතා 
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති   කතා 

මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු   තැන 
කතිකා කරති වියහියදම් ගමන්          ගැන 
මුව සම පවා තව්සා සතු පැහැර        ගෙන 
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට  පැන 

තවුසගෙ තව්ස් පිරිකර ටිකවත්    නැත්තේ 
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි    පත්තේ 
අදුරේ මහා කලබල ගතියක්         ඇත්තේ 
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ        ගත්තේ

මැසි මදුරුවන්ගේ විස දළ තුඩු         පාවා 
තවුසා සීතලේ රෑ සට සට                ගෑවා 
මගියෝ ගියහ තවුසා කුටියට           ආවා 
තිබුණා මිනී තුන හතරක් එහි           බාවා 

පී.බී. අල්විස් පෙරේරා



Wednesday, July 18, 2012

අන්ධ කවියා - පී.බී.අල්විස් පෙරේරා



සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි                      වැවේ
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට                කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය                   ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද                   දුවේ

විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව                        දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට                       වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ                        බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව                      නිදී

වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල              තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ               පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු                   බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි            නොබා

අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද                        දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ         බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු                     තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ                     මලින්

උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි                     ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින         ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි             දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි                           මුවේ

ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන                පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර                         ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද          පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ ‍නෙත් දෙක නැතිව       ගියේ

මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු           එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට                   පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු            බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට               රුදා

ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි                      සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට                      පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද            අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට          දැනේ

පී.බී.අල්විස් පෙරේරා