Showing posts with label Eric Illayapparachchi. Show all posts
Showing posts with label Eric Illayapparachchi. Show all posts

Sunday, February 2, 2014

ලීස්තර වැට

පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත

මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්

පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි  තනි ව ලීස්තර වැට මැදින්

වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට

මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම

පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්


එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)