Showing posts with label Bindi. Show all posts
Showing posts with label Bindi. Show all posts

Tuesday, May 31, 2016

බිම වට මලක පෙති මත .....







මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්


.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු  මල් මතක් වුනා ....

Friday, March 13, 2015

ඈත බංගලි දේශයේ සිට 
ලියු කවියක්         පෙම්වතී 
රෑට මෙහි එන ගමන් අරගෙන
 ඇවිත් තිබුණා සඳවතී 

උදේ මුරයට වැඩට ආ ඉර 
එක්ක එනකම් පෙම්වතා 
අහසටම උස ක්‍රේන් එක  උඩ 
තවම ඉන්නව සඳලතා 

.....

Thursday, November 29, 2012

ඉර කොහෙද හැංගිලා

 
 
 
 
 
 
මිදුමේ තනියට

චිරි චිරි වැස්ස

වෙනදාට පෙනෙන රතු ගඟ
...

හැංඟිලා කොහෙද දුටුවද

ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද

කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද

මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක

අපොයි මොනතරම් නම් ''මිහිරිද''
 
 
ප. ලි ...
 
මුණු පොතේ දාපු කවි කෑල්ලක් කවිමුතු වල අලවලා දැම්මා

Monday, February 27, 2012

මතක රන් පැස

මග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක

කොයිතරම් බර වුනත්
හදවතට ....
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට




.....පසු සටහන


වෙන බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට ලියවුන වචන ටිකක් . කවිමුතු පාළු වෙලා ගිහින් නිසා නිකමට ඔහේ ලියා දැම්ම .

Monday, September 5, 2011

මේ කවි ටික ළමයින්ටයි



ඉර අම්මගේ දරු නව දෙන
එක අහසට වැඩි හින්දා
හොඳ සවි ඇති දුනුවායා
උන් නව දෙන බිම දැම්මා                                                     
.                              .සතුටු වෙච්ච රැජින අතින්
                                  අමරස ඔසු පැන් ලැබුන හෙයින්
                            සදහට ජිවත් වෙන්නෙමි
                                       දුනුවායා සිටිය තුටින් ..
..දුනුවායා නැති වාරේ
සොරා ගන්න ඒ ඔසු පැන්
කපටි හොරෙකි
එහි ආවේ ...
                                        .....හොඳ කීකරු බිරින්දෑය.
                                         කළහැකි දේ නොදත්තාය
                                                 ඔසු පානය එක හුස්මට
                                              බීගෙන බීගෙන ගියාය
..බෙහෙත් බලය හරි බලගතු
පියඹා උඩ  අහසට නැග.
සඳ මත ඇය නැවතුනාය
එන්නට යලි බැරි වුනාය ..
                                   ...හොඳ සාවෙකි හඳේ ඉන්න
                                              උදව් කරන්නට ආවා..
                                          රූමත් මේ ලඳ ගාවා
                                               බෙහෙත් කොටනවලු හාවා..
  ..හරි ලොකුවට වටකුරුවට
 සරත් සමේ සඳ එනකොට ..
මනරම් පහනකින් කියයි
ඇයට එන්න තතු මගතොට ..
                                               ...පුංචි ළමෝ එක් වෙනා ...
                                                  සඳ එළියේ නැහැ වෙනා
                                           සිඟිති ලොවේ සිරි දැක දැක
                                                සඳ දෙව්දුව හිනැහෙනා ..

Picture .මෙතැනින්



''සඳ උළෙලේ '' කතන්දරේ කවියෙන්  ලියන්න කියල අසංක මල්ලිගේ ඉල්ලීමට ලිව්ව කවි ටික .

Wednesday, August 10, 2011

සරුන්ගල් නිවාඩුව



ඉරටු කපාගෙන - නුල් සොයාගෙන
පාප්ප හදන්න - පිටිත් සොරාගෙන
   ඒ විතරක් මදි ..
නුල් පන්දුවක් - කොළ තුන හතරක්
කොහෙන්ද මුදලක් - කඩමුකො කැටයක්
    ..කවුඩද නයාද ..අනේ වැඩක් නැහැ - හදමුකො අපි හොඳ ලස්සන මොණරෙක්
වුවත් අපිටත් පොඩි පොඩි වැඩ හුරු
කරන්න ඉඩ නැහැ අයියයි වැඩකරු


    
කොළ අලවාලා ලස්සන කරතෙයි
රැලි රැලි දාලා තව හැඩ වැඩෙ තියි
ඇඟිලි තුඩින් ගෙන ''සේරුව'' දමතෙයි
සමබර නොවුනොත් ''කූරිය'' ගසතෙයි


සුළඟ ඇදෙන අත හොඳට බලන්නට
අය්යා සමතෙකි ඕව කරන්නට
සුලන් බදනකම් අල්ලන් ඉන්නට
සිදුවිය හැමදා ගෝලය වෙන්නට


නෙක නෙක හැඩ මෙන් පාට පාට ඇති
සියක් සරුංගල් අහසේ පාවෙති
මාට්ටු දමලා කොල්ලන් තුටු වෙති
බේරන්නට අහසේ ලොකු සටනෙකි


සරුංගලය ඈතට ගිය තරමට
අපිත් ගියා වාගෙයි දුර අහසට
මිතුරේ අහසේ දුටුවේ මොනවද
වලාකුලක් මට කොඳුරනු දුටුවද

පැයක්ද දෙකක්ද නැහැ මුළු වරුවම
දිනක්ද දෙකක්ද නැහැ මුල් මාසෙම
සරුංගලේ නුඹ උඩ ගිය පාරෙම
හිත තිබුනෙත් මගේ දුර ආකාසෙම


නුල කැඩී නුඹ යන්නම යන්නට
ගියදා සිදුවෙයි දුක උහුලන්නට
අනියත දම ගැන විය දැන ගන්නට
යලිත් හැකිය අලුතින් අරඹන්නට




මේ කවිය ....
කුඩා කල නෙක පාට සරුංගල් හැදු අය්යාට ..එගොඩහ සිට හැම වාරෙටම විසල් සරුංගලයක් මෙගොඩට එවූ නම නොදත් අය්යලාට ..
සරුංගල් එක්කම අපිවත් අරන් අහසට ..
ළමා මුව සිප මකා ලුණු රස දහදිය
එදා වාගේම අදත් වෙනසක් නැතුව දැවටෙන
සදාදරණිය සුළඟට ......


Picture from Google Images

Monday, June 27, 2011

මට හමු වූ පුංචි මම

වෙහෙර පාමුල
දෙදන බිම ඇන
කියූ ගාථා
තවම සිහිවෙන
       පිටු නොපා සිටි
          වගේ මිතුදම්
          ඇඳුනු මැදුරේ
       අනගි සිතුවම්
අතුල සුදුවැලි
නැගුන හසරැලි.
පුංචි දැරිවිය
හමුවුනා යලි...
      අහුලා අහුලා
   වැටුණු බෝපත්
       රැකුණි වියළී
    අතර පොත් පත්
ඇවිලී ඇවිලී
පහන් වැටි වල
දැවුනි දොම්නස්
රැදුණු සිත් වල
     බැතින් දැල්වූ
    සුවඳ කූරුත්
   දැනෙයි  හීනෙන්
     වගේ තාමත්
ගෙවා ගව් දුර
නොදා තව කල්
සදා බැතියෙන්
පුදමි සිත් මල්
      කවරදාවත්
 නොවේ පැරණිය
  දෙවෙනි මව
වැනි මගේ කැලණිය

...........  මුණු පොතේ ''කැළණි කළා හවුලට '' බැඳුනු පසු අලුත් වූ මගේ කවි හිත මෙසේ ලීවෙමි.


 
  photo from