Showing posts with label Asanka Asiri. Show all posts
Showing posts with label Asanka Asiri. Show all posts

Sunday, June 27, 2021

ඉන්ද්‍රජාලික පෙම්වතියට..෴💙💙💙

සුළඟටම තතු කියන මුහුදු රළ ඈ නතුය

අහස්කුස පෙම් බඳින වැහි පොදද ඈ සතුය

අතුරිකිලි මත පිපුන මල් ගොමුව ඈ වෙතය

නුබෝගැබ මත දිලෙන තරු කැකුළු ඈ නෙතය

 

ඇගේ මුදු කටහඬට ගහකොළද අවනතෙනි

ආදරය ගැන කතා බොහොමයක් දිග ඇරිණි

කටු පඳුරු මත පවා ඒ නිසා මල් පිපුණි

පතොක් මලකට ඇගේ කඳුළු බිඳුවක් වැටුණි

 

උස්ම තුරු මුදුන්වල කෙළවරෙහි අත්තෙ සිනිඳු මල් පෙති පවා ආදරය හැඳිනගයි

වැහුවාම සමනලුන් මලින් බර ඉත්තෙ උන්ගෙ අත්තටු පවා ආදරේ පැහැයගයි

කණාමැදිරියෙකු වුව මුළු රැයක් මත්තෙ ආදරේ නිසාවෙන් සොඳුරු එළි විහිදුවයි

සොබාදම කොහෙන්දෝ මෙය ඉගෙනගත්තෙ ආදරේ අකුරු දන්නේ ඇගේ හදවතයි




Sunday, February 18, 2018

"අාදරය" බ්‍රැන්ඩ් එක

Image result for love business

ප්‍රින්ට් කරලා විකුණන්න
රෝමියෝ ජුලියට්ව
ගෙලවටා බැඳගන්න
දස්කොන්ව ප්‍රමිලාව
ස්ටිකර් හදාගෙන
ගජමන්ගේ කවිවලින්
ෂෙයා කරගෙන යන්න
ක්ලියෝපැට්රගේ පුවත
සාජහන් මුම්ටාස්
දන්නවද දන්නේ නෑ
අාදමුයි ඒ්වවයි
සීඩිවල කවරවල
දෙව්දාස් ෆිල්ම් එක
පොරි කකා බලනකොට
අාදරේ කොහෙද බං
දුවන හදවත් වලට

"අාදරය" බ්‍රැන්ඩ් එක
කෑගහලා විකුණන්න
අනංගයාගේ කඩෙන්
හී පාර විදගන්න
අාදරය විරහාව දෙකම
ලාභයි ගන්න
අපි තාම පිටස්තර
නැද්ද බං අාදරෙට......

Friday, February 16, 2018

වරද - ජී.බී. සේනානායක

File:Weeki Wachee spring 10079u.jpg

ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.

ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,

ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.

ඔබ මිස
අන් කිසිවකු  නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය,

නැඟී සිට සමාවන්න, ස්වාමීනි,

- - - - - - - - - - - - - - - - -

මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,

මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත් 
නෙත් පියා ගතිමි.

ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)

Wednesday, March 29, 2017

කොළඹ ට්‍රැපික්



කෝට්ටේ ඉඳන් පිටකොටුවට           යාම
ගතවෙන වැඩක් වේ පැය ගණනක් බෝම
දවසින් භාගයක් ඉඳ බස්              රථයේම
වෙලාවකට වැඩකට යන්නේ         කෝම

පිබිදෙන නමුත් කුකුළා අත්රුවා        ගෙන
වැඩකට යනෙන විට සැඩ හිරු මුදුන් වෙන
පාර තමයි වත්මන මළ පනින            තැන
කවි ලියවෙනවා වාහන තදබදය         ගැන

මුළුදුර ගමන එපමණ දුරකුත්       නෑනේ
පොඩිදුර ගියත් ආයෙත්    නවතිනවානේ

දූවිලි වැලි බොරළු හා ගල් කැට    ගානේ
ඉබි ගමනින් තමයි දැන් බස් රථ යන්නේ

ප්‍රශ්නෙට කොපමණක් විසඳුම් දුන්නාට
කොතරම් ගුවන් පාලම් තව     හැදුවාට
වාහන වලට බදු වැඩිකර        ගැසුවාට
මේ තදබදය පවතියි දිවි            පුරාවට

Monday, March 27, 2017

සින්නක්කර හදවත



ඇගේ කෙහෙරැලි අතර දිවයන ඇඟිලි අතරෙහි ඇස්   ඔබා
නෙත් අඟින් හෙලනා බැලුම් දැක දියව යයි ගල් හිත්   පවා
මොහොතකට කාලයද නැවතුණි මගේ හද ගින්නෙන් දවා
ලියා දෙන්නට සිතුණි හදවත ඔබට සින්නක්කර         තබා

Friday, February 3, 2017

ගුණසේකර වත්ත





















සුවිසල් මාර ගස හන්දිය                            මැද්දේය
පොඩි සුළඟටත් එය නිතරම                      පැද්දේය
එහෙ  මෙහෙ යනෙන මාවත් ගම්               බැද්දේය
ගුණසේකර වත්ත ලෙස නම්                    ලද්දේෙය

මුළු වත්තටම තිබුණෙ කඩවල්                      තුනකි
සැලුන් එක සමඟ සිල්ලර කඩ                     දෙකකි
බැලු බැලු හැම තැනම ලී පැල්පත්               පෙළකි
වත්තේ ඒ කොනයි මේ කොන පොඩි             දුරකි

ඇන්ටනා ලයිට් කණු හැමතැන                     තිබුණි
වයර්  හැම තැනම කෙස් රොද වන්                යකිනි
දහවල උදෑසන රැයවල් ගත                       කෙරුණි
මේ පොඩි වත්ත සුර පුරයක් ලෙස                 දිලුණි

බිත්ති තනා තිබුණේ වල් ලෑලි                       වලින්
වහලය නිමවුණේ ටකරං යකඩ                    මලින්
සුළඟට ගසා නොයනට බර ටයර                  තුළින්
වැස්සට වතුර බේරී එයි වහලෙ                     හිලින්

අමුතු අමුතු රස්සා කළ මිනිසුන් වෙති ගම      පුරාම
සොර සතුරන් හිඟන්නන්ද කැම්පස් යන  සුමිතුරාම
මැරයන් සහ ගණිකාවන් දිගටම වැඩ නෑ       විරාම
එහිම ඉපිද එහිම මැරේ නම ඉතිරිව යයි          දිරාම

සවසට සියල්ලන් එක්වෙති පාර                 තොටේ
කොල්ල්න කුරුට්ටන් සෙල්ලම් කරති           වටේ
පොඩි පොඩි රණ්ඩු ඇති වූවද වටේ                පිටේ
ගුණසේකර වත්ත දැන් පරසිදුය                     රටේ

මත්පැන් අවන්හල් කිසිවක් නැත               වත්තේ
එනමුත්  හෙරෝයින් කුඩු ගංජද                 ඇත්තේ
පොලිස්  මැති ඇමතිසවසට ගම                පැත්තේ
එනිසා කිසිවෙකුත් කා හට බිය                නැත්තේ

රෑ බෝ වන විටදී ගම අඳුරෙන්                  ගිලුණේ
සුන්දර ගම ගැහැණු එළිමහනට                 වැදුණේ
කිමිදෙන්නට ගියොත් හෙම බිහිසුණු     පොකුණේ
මටවත් නොතේරී මම මා හට                   විකිණේ

සැන්දෑ හිරුගේ ගිනියම් රත් පැහැය               දිගේ
කපුටගේ නදින් මිහිරක් එක් කරන               අගේ
සිහිලස ලැබෙයි වැටුණත් කුණු ගලන         ගඟේ
මතකෙන් නොයයි වත්තම එයි සිතට          මගේ


Tuesday, January 24, 2017

ගම්පති වලව්ව


බිත්තිය පුරාවට බැඳිලා ඇති            සෙවලයි
පොතුද ගැළවිලා ඇත එහි වී               අපලයි
අං තට්ටුව පුරා රජයන මකුළු               දැලයි
හිත තුළ ඇති කරන මූසල බව           සසලයි

මැද මහ හිලක් ඇති කළ වේවැල්       පුටුවේ
ඉස්සර මතක පෙළ ඒ අතරිනි             දුටුවේ
කනප්පුවට බර දුන් පත්තර                පිටුවේ
එළියක් හෙම නොවේ මේ කිසිවක්     දුටුවේ

මුළු ගේ විවර කළ දොර පළු දෙක        අතර
තවමත් තෙත බරිත වී බේරෙයි            වතුර
රට උළු හිඩැසකින් එළියක් නොම      කවර
ආවත් එළිය සඟවාලයි අතු                  පතර

මිදුල පුරා විසිරුණු කොළරොඩු        අස්සේ
පිලිකන්නේ වළං අතුරපු ලී             මැස්සේ
අව්වක් පෑයුවත් පැය ගාණක්           තිස්සේ
වියැලෙන්නට කලින් වැස්සා මහ    වැස්සේ

මහ ජන ගඟක් විය කලකට පෙර        දවස
ඕනෙම පැනයකට පිළිතුරු දුන්          පවස
අද දින නොමැතිමුත් මිනිසුන්ගේ       පහස
වෙනකක් නොවේ ආරච්චිගේ මහ     නිවස

වැට කැඩුවොතින් හරකා අල්ලපු         ගෙදර
හොරකම් කළොත් අනුනගේ බඩුවක්    කවර
ලිඳ ලඟ මඟ තොටේ ඇතිවන            අඩදබර
මොහොතින් විසඳුවා පැන, කිසිවෙකු නොමර

ඇඟිලි තුඩුවලින් කරකන උඩු            රැවුල
බර කල්පනාවකදී රැළිගත්                නළල
උපැස් යුවල ඉහළින් තිබු ඇස්            යුගල
මේ හැම එක්කළා තේජස් බව           ධවල

කලකට කලින් මුළු ගම කඳුලින්        පුරවා
ගම්පති ගියා මේ හැම අසරණ           කරවා
මිනිසුන් සතුන් හැමටම ආදරෙ      කෙරුවා
බෝසත් වෙන්න කියමින් පෙරුමන්  පිරුවා

ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කවි හිත එළියට එනවා... හිරවෙල ඉඳලා කවි හිතටත් ඇතිවෙලා. හැබැයි තවමත් කාලයත් එක්ක සටනක...

Friday, October 14, 2016

හැල්මේ දුවන



පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට  පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන

AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..


සෙත්සිරිපායේ සිට ලියමි.

Sunday, July 26, 2015

රුචිය

කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....

ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....

හිතෙන්නැද්ද
නිකමටවත්..

ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...

ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......

Friday, July 25, 2014

කැම්පස් ජීවිතේ..

උදේ වේල නැත අප කන්නේ             බඩට
දහවල උදෑසන දෙක කන්නේ            එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත්    කමට
මේ දුක කියන්නේ කොහොමද       අම්මාට

Wednesday, February 12, 2014

රැහැයියා

කවිමුතුමල් පේස්බුක් පිටුවේ ටික කාලේකට කලින් පළවුණ කවියක් කවිමුතුමල් බ්ලොග් පිටුවෙත් ඇමිණුවා.....

Sunday, February 2, 2014

ලීස්තර වැට

පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත

මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්

පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි  තනි ව ලීස්තර වැට මැදින්

වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට

මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම

පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්


එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)

Thursday, January 30, 2014

මැෂිම


ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට

Tuesday, October 16, 2012

හිමිවිය සම්මානේ අයගම මෙනෙවියට......


මේ බව කියන්නේ සන්තෝසෙකින්          මම
ඔබ හට නැඟෙනු ඇත පැනයක් කරුණු     කිම

කලකට කලින් රජයෙන් දුන්              සම්මාන
කවුරුත් කියන්නේ රාජ්‍ය                   සම්මාන

අකුරුද ඇමිණුවා අප බ්ලොගයෙහිම           සිට
හිමිවිය සම්මානේ අයගම              මෙනෙවියට

කතා ගොඩක් ලීවා ඈ                        ළමයින්ට
වැඩිහිටි අයට වුව බොහොදේ ඇත           ගන්ට

තව තව ලියන්නට සතුටින් පතමු                 අපි
සුවඳ හමනු ඇත තව තව කැකුළු                  පිපී


            ඇය නමින් තනුජා එන් අයගමයි. මෙය විශේෂයෙන්ම කිව යුත්තේ ඇය කවිමුතුමල්වලද කවි පද ගොතන ලේඛිකාවක් වන නිසාවෙනි. 2011 වසරේ රාජ්‍ය සම්මාන දිනූ කෘති අතරට ඇයගේ කෘතියක්ද එක් වීම කවිමුතුමල්වල අපට ගෞරවයක් මෙන්ම සතුටක්ද ගෙනදෙන්නක් බව කිව යුතුයි. හොඳම ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය දිනා ගැනීමේ වරම් ඇය විසින් රචිත අහස්ගමට ගිය පුංචි සිත්තරා කෘතියට හිමි වීම මහත් භාග්‍යයක් ලෙස සිතේ. ඉදිරියටත් මෙවැනිම වටිනා කෘති නිර්මාණකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා යැයි කවිමුතුමල් වල අපි ඉතසිතින් ප‍්‍රාර්ථනා කරන්නෙමු.

Wednesday, October 10, 2012

හයිකු කවි - සකුරා පියලි හැලි


සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න

වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර

වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය

ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා

ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්

කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ

මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ

‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
තනිගුචි බූසොන් (1716-1783)

බෂෝගෙන් පසු ජපානයේ ජීවත් වූ දෙවන මහා හයිකු කවියා මොහුය. ඔහු ‘නග්න’ සිතුවම් සම්ප‍්‍රදාය ආලෝකමත් කළ දක්ෂ චිත‍්‍ර ශිල්පියාද වෙයි. ස්වභාව ධර්මය දෙස සංවේදීව බැලූ ඔහුගේ කවිවල ගැඹුරු අධ්‍යාත්මික සුවඳක් හැමුවේය.


Saturday, August 25, 2012

වෙසක් සිවුපද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි       හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                     ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්          කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා        කොට
අම්මලා මොනවා කීවත් මොලවලා             මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය             වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්       නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ          නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්       කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -

       1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.

Sunday, August 19, 2012

ඇය - 2

මෙය කියවන්නට පෙර මීට යටින් ඇති ඇය නැමති කවිය කියවා සිටින්නේනම් අගනේ යයි සිතමි.

මගෙ එළිසමය රැකගන්නට බැරිව            ගියා
මුළු හදමඬල මොහොතෙන් දියවෙලා      ගියා
හිරි වැටි ගතම සසලව වෙව්ලුවා              කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා

සඳ නැති රෑක ගගනේ කළු පැහැය            බදා
ඇගේ කළු මුහුණ දුටුවම මගේ දෑස           රුදා
ටයර් තුනක් වන් වු මස් කැදලි                   රඳා
උණු ඊයම් පතුරු මගෙ හදවතට                කිඳා

වැඳිරිය පරාදයි ඈ හා තරඟ                       වැදී‍
ඇය වැලහින්නියකි බැණ වදිනා              විටදී
ඈ හරි කපටි වෙයි හිවලා නිති                  පරදී
ඇගෙ කැත කියන්නට මට උපමාද             මදී

හදවත ගැස්සුනා දුටුවම හොර                   දෑස
වතමත වලගොඩැලි සඳ මෙන් රෑ            අහස
ඇය ඉන්නා තැනට වැදුණා වස්               දෝස
හැමටම සෙතකි ඇය නොමැතිව ගෙවු     මාස

ඇය යන විටදී තණකොළ ගස් වුවද        මැරේ
විහඟුන් ගොළු වුණා මින්දද මැරෙන       තුරේ
ඇ‍‍ඟේ කටහඬට වේලුණු කොළ බිමට     පිරේ
කෙහෙරැලි වැදී සුළඟද යයි නොමැරි       හිරේ

දුටුවම හිමිදිරියෙ මට දවසම                චොරය
දවසේ කිසිදු වැඩ කරගන්නට                බැරිය
මට මතකෙට නැ‍ඟෙයි හෝඩියේ ඇත් පොරය
ඇය එළවා දමන්නට මට කල්                 හරිය

ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා         හට
ඔය බව කීවේ භීතියකිනි විටින්                  විට
මට සිත් වීය එය කවියෙන්               ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක         පිට

Monday, August 13, 2012

ඇය


මගෙ එළිසමය රැකගන්නට බැරිව           ගියා
මුළු හදමඬල මොහොතෙන් ගල්වෙලා    ගියා
හිරිවැටි ගතම සසලව වෙවුලුවා               කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා

සසරේ සුපුරුදුම සෙවණැල්ලකින්           සැදී
මා තව එතනමුත් නෙත් දෙක ගියා           ඇදී
අංකුර පෙමක රැල්ලක් හදවතේ               වැදී
ඇය රුව වනනු රිසි වුව උපමාද                 මදී

ඇගෙ නිල් වරලසට යට විය මොනර      නිල
සුසිනිඳු දෙකම්මුල් නිසසල හංස              විල
ගිනියම් හිරුගෙ රත්පැහැ ගත් ඇගේ    තොල
මැණීට පින හිමිය මෙලොවට ජාත          කළ

නිශ්චල ගැඹුරු දිය කතරක් වැනි             දෑස
සුළඟද කිති කැවෙයි ඇයගෙන් ලැබ    පහස
ඇගේ සුවඳටයි මම මුළු ලෝකෙන්        ආස
ඇය නැති දාට සඳ මඬලත් නෑ              අහස

ඇය යන විටදි වනමල් ඈ දෙසට          හැරේ
විහඟුන් කිචිබිචිය නවතින             අතරතුරේ
ඈ ගිය විටදි හිරු බැස මෙනි           අවරගිරේ
එවිටයි සිහිවුණේ තවමත් යතුර          දොරේ

දුටුවම හිමිදිරියෙ මට දවසම                 සරිය‍
පුරවන්නට වීය හිත තුළ පෙම්              කවිය
ඇය හා කතා කරනට රිසි වුව               බැරිය
ඒ කිම මෙමා තුළ නැත තවමත්            ජවය

ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා       හට
ඔය බව කීවේ උමතුවකිනි විටින්             විට
මට සිත් වීය එය කවියෙන්            ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක       පිට

Wednesday, July 25, 2012

මරණය

සොයා ගියෙමි
වැරදිකරු මරණයට
හැමදාම
හැමතැනම
මැරෙන නිසා
ආයුධ, වස, තොණ්ඩුව
සියල් වැරදිකර බව
පසක් විය මට
නමුත් වැරදිය එයත්
සත්‍යය
"මරණය" ලෙස
තිබීමයි වචනයක්
වැරදුණි එයත්
"ඉපදීම" යනු තවත්
වදනක් නිසා
ඉවත් කිරීම වචනය
විය එකම
පිළියම...

Sunday, July 22, 2012

සුරත් තොල්


සුරත් තොලක් සිප ගත්තෙමි
ඉන් මා තොල රත් පැහැ විය.
ලේන්සුවෙන් පිස දැමුවෙමි
ලේන්සුවද රත්පැහැ විය
ග‍ඟේ දියෙන් දොවාලීමි
ග‍ඟේ දියද රත්පැහැ විය

මුහුද මැදත් වෙරළ අගත්
රත් පැහැයෙන් සිත්තම් විය

එක් රාජාලි‍යකු බිමට
ඉගිල ආපි දිය බොන්නට
උගේ ඇ‍ඟේ පියාපත්ද
එකපාරට රත්පැහැ විය.
හිරු මඬලක් අඩක් සමඟ
මුළු සඳ මඬලම සැණෙකින්
රත් පැහැයෙන් සිත්තම් විය.


     කර්තෘ ආඥාතයි. නමුත් ග්‍රීසියේ තවත් එක් කවියෙකු බව දැනගන්නට ලැබුණි. ඒ කරුණාරත්න අමරසිංහ කවියා විසින් "ජගත් කාව්‍ය නිර්මාණ" නමින් 1993  දී පළ කළ කාව්‍ය සංග්‍රහයක්  තුළ තිබීය. එය මට ලැබුණු රත්රං  ගොඩක් බඳුය. කිම්ද යත් එහි ඇති කවි අපිව තවදුරටත් සිතන්නට දෙයක් ඉතිරි කරමින් අපව ජාත්‍යන්තරයටද ගෙන යන නිසාය. ඉදිරියට  බලාපොරොත්තු වන්න.