Showing posts with label Sri Chandrarathna Manawasinghe. Show all posts
Showing posts with label Sri Chandrarathna Manawasinghe. Show all posts

Saturday, August 25, 2012

වෙසක් සිවුපද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි       හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                     ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්          කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා        කොට
අම්මලා මොනවා කීවත් මොලවලා             මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය             වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්       නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ          නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්       කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -

       1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.