සුළඟටම තතු
කියන මුහුදු රළ ඈ නතුය
අහස්කුස පෙම්
බඳින වැහි පොදද ඈ සතුය
අතුරිකිලි මත
පිපුන මල් ගොමුව ඈ වෙතය
නුබෝගැබ මත
දිලෙන තරු කැකුළු ඈ නෙතය
ඇගේ මුදු
කටහඬට ගහකොළද අවනතෙනි
ආදරය ගැන කතා
බොහොමයක් දිග ඇරිණි
කටු පඳුරු මත
පවා ඒ නිසා මල් පිපුණි
පතොක් මලකට
ඇගේ කඳුළු බිඳුවක් වැටුණි
උස්ම තුරු මුදුන්වල කෙළවරෙහි අත්තෙ සිනිඳු මල් පෙති පවා ආදරය හැඳිනගයි
වැහුවාම සමනලුන් මලින් බර ඉත්තෙ උන්ගෙ අත්තටු පවා ආදරේ පැහැයගයි
කණාමැදිරියෙකු වුව මුළු රැයක් මත්තෙ ආදරේ නිසාවෙන් සොඳුරු එළි විහිදුවයි
සොබාදම කොහෙන්දෝ මෙය ඉගෙනගත්තෙ ආදරේ අකුරු දන්නේ ඇගේ හදවතයි


