සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින් ඇසේ
මම දිව ගියෙමි වැව සිට තෙත පිටින් හිසේ
දැඩි සේ ගොරදෙමින් දුක් බැල්මකින් ඇසේ
නාඹර මුව දෙනක වැව ළඟ හෙමින් නැසේ
කටු කම්බියට ලස්සන හම ඇත සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය සැටි පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි බේරී
වෙඩි හතකින්ම හම සිදුරුව තිබුණි ඇගේ
හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම මගේ
මිනිසුන් ළඟට ඈ ආ වග හිතට නැඟේ
සිතිවිලි වුණා පිනිබිඳු කම්බියක දිගේ
මිරිසට උයා තිබු ඇගෙ මස එදින රැයේ
මට කිරි රසට වැටහුණු බව මතක තියේ
මුළු රෑ මසිත මව නැති දරු වෙතය ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැඟෙන පැයේ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
ඈ මිනිසුන් මැදට මහ දාවල එන්ට
බියකින් විය යුතුය දඩයම්කරු වන්ට
එද මහ දවල් මිනිසුන් මැද හඬ දෙන්ට
හේතුව දනිමි මවු පෙම කිරි දරු වන්ට
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
කිරි දී සතප්පා පැටවුන් සෙවණ තුළ
සඟවා රස බලන බව මව ළපලු වල
ඇසුවත් පෙරදි මා වන්නියෙ සිටිය කල
නොදනිමි කරුණ ඈ මගෙ වත්තෙහිම මළ
දා ගිය අතු පඳුරු ගින්නෙන් නිකිණි මසේ
සෝකිව ඇඹෙරෙමින් වැළපෙන හැටිය ඇසේ
ඉඳ හිට සුළඟ නවතී ඩා නිවන ලෙසේ
හදවත සිරස බර මම නිදියමිද කෙසේ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
බලු කුකුරුවන්ගේ බඩගිනි හැඬුම වැනී
හැඬුමක් ඇසේ නල බල වන විටදි තුනී
මුව පැටවුන්ගෙ පැමිණිල්ලකි හොඳට දැනී
මහ රෑ මගේ දෑසින් උණු කඳුළු පනී
ඇස් දෙක රතුව දුටුයෙමි පසු දවස උදේ
මට පැහැදිලිය මුව පැටවුන් විඳින වදේ
උන්ගේ බැගෑ හඬ මා පසු පසම ඇදේ
මගෙ හදවත එයින් බිහිසුණු විලස රිදේ
ගෙවුයන නිමා අවටැති වතු පිටි නුදුරු
පැටවුන් සොයන්නට පීරූයෙමු පඳුරු
වැදි කොලු කෑ ගසයි පඳුරක් ළඟ අඳුරු
ඔහුගේ හඬින් මිදුණා පිඹුරුගේ ගොදුරු
එක පැටවෙක් එතී පිඹුරගෙ දරණ මැද
නිදහස් වෙන්ට දඟලත්දී වෙහෙස විඳ
වැදි කොලු පිඹුරු ගෙල මිරිකන විටදි ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු බිඳ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
විමලරත්න කුමාරගම
මේ කවිය පල කරන්නට විශේෂ හේතුව මීට පෙර විමලරත්න කුමාරගමයන්ගේ 'හේරත් හාමි' කවි පන්තිය පල කිරීමෙන් පසු මෙවැනි අදහසක් ලැබූ බැවිනි.