Showing posts with label Sagara Palansooriya. Show all posts
Showing posts with label Sagara Palansooriya. Show all posts

Sunday, June 27, 2021

උගත්කම - කේයස් (සාගර පලන්සූරිය)

එළු සකු මගද පොත් කට පාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී

පොළොවට ගැටගසන්නා වාගේ අහස
වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස

හැම වචනයම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා ඔහුගෙන් දුරුව

මේ පොත නිසා බිරියත් නැති වූයේ
ඉන් පසු ඈ නොවෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැදවා යළි පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම්දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා පිරුණු සොයින්

ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් මේ හෝටලය වෙත
කිසිවෙකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල් කරු අලාබෙට
උගතා බැරිම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියෙ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමග පියා
අරහෙන් මෙහෙන් යම්තම් ගමන ගියා

පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කලෝ කිසිවකු එහි නොයන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නොකියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිගන්නෝ රැස් වෙති රැට
නරකද එතැන තෝරා ගත්තම මීට

මෙහෙම සිතාලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනේ ලා අලුතින් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙපයින් ගමන් කර
ලංවිය හිගන්නන්ගේ පැමුනුමෙන් පෙර

ගත කල මුළු දවස හිගමන පිණිස
ආවෝ හිගන්නෝ අම්බලමට සවස
වෙන දවසට වද අද මෙහි දුටු වෙනස
ඇති එක පඩිතුමා උන්ටත් පෙර පිවිස

පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැත කන මෙන් පහර
හිගන්නෝ නිදති එහි තැන තැන වැතිර

මැදයම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිගන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේදැයි තව උගුරෙ කෙළ
කම්මැලි වී වැනෙයි පොල් තෙල් පහනේ සීල

පඬුවා තනි වුණා රෑ අම්බලමේ පිලේ
හිගන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ උගතකුගේ මොළේ

බිරිය නඩු දමා ඇති දික්කසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කලයි මහජනයගේ විවේකෙට
මිනිහට විරුද්ධව පැමිණිලි හැබෑවට

දිනකට සිතාසී හත අට ගණනේ ලැබේ
මිනිහට විරුද්ධව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්ධයි මා කළ පොතට
එහි වරදෙක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්න එහෙනම් අවසරද මට

මේ මහ පුදුම පොත කොහොමද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුනොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

ගතවිය දවසක් දෙකක් නෑ ඉවර පොත
පෙරකදෝරුවෙක් එහි බෙහෙතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ලතැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

උසාවියෙ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් විය බැරි තැන සිය දුරයෙන්

 

කේයස් (සාගර පලන්සූරිය)

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය - සාගර පලන්සූරිය

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙලවරය

"හීං මැණිකෙ මගෙ" කියමින් කී ටිකිරි
බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි
පත් වූ කීප වේලවක මේ ළදැරී

"ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද"
කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ

ටිකිරී පොහොසත් ය නැණ ගුණ දෙක වැඩි
අදිරී දුප්පත් ය ගත සිත හැඩි දැඩිය
ඇගේ නියම ආලය මනිනා පඩිය
අදිරිගෙ පැත්තෙ ලා බැලුවම බර වැඩිය

සතුටින් සමාදානෙන් සැපතින් ඉන්නා
දැක දැක සෙනෙහෙ බර අඹු සැමි දෙන්නා
ටිකිරිගෙ ආදරය එලියට නොම පෙන්නා
පුරුදු පරිදි ඔහු සඟවාගෙන උන්නා

විපතට විපත හමුවන තැන මහ විපත
දුකකට හේතු විය මැණිකෙගෙ දරු උපත
දුක් විය යුතු නොවේ ඇසුමට මේ පුවත
උපන් දරුවාට අයියෝ නැත දෙනෙත

යන බව කියා මැණිකෙට ලියුමක් ලීවා
ඔහු පිටරට ගියා කරනුව යුද සේවා
සිංගප්පූරුවෙන් මුල් ලියමන ආවා
වෙඩි වැද අතක් කැපු බව ලිපියෙහි වූවා

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අතපය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිලු කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න
කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න
මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න
දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න

වලව්වේ ඉදිරිපිට වත්තේ කොණක
අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලක
මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක
මල් පහන් පුදනු කාටත් බැලිය හැක


කේයස් (සාගර පලන්සූරිය)
1 ජනවාරි 1948

Thursday, February 2, 2017

උතුරෙන් - සාගර පළන්සූරිය



















දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි       උදේ
රන්තරු රිදී තරු සවසට පෙළට               ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර                   හඳේ
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ

ගෙන එයි මිහිර ගී මදනල  හමන                විට
වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු    මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව      පිට
උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු           ඇට

තනි බව දැනේ එහි කවුතුක රසය              ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු             නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය     මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත          තෙත

දහදිය හෙළන අය හිරිහැර අතර                වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම       සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි               හැටී
කළුගල් යකඩ නොව උණු වී හැළෙන        ඉටී

බැඳ ඇති විළංගුව පා මිණිසළඹ              කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි                පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස         මට

මිනිසා වෙතින් මිනිසා වෙන් කරන         රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු               පසින්
පාළම බැඳෙනු ඇත දවසක උතුරු         දෙසින්

පැයකදි එකට හමු වන දුර ඇත                දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                            ඔතන
බේදය පිළිස්සී හමු වේවා                          දකුණ !

සාගර පළන්සූරිය

Wednesday, June 20, 2012

කන උන්දෑ - සාගර පලන්සූරිය


මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක           ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ            ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ         ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු                    ළ

ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු             ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම                  ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ                    ම
පහතට නොබැස්සා හිඟමනකට තර                ම

හරකා සතා මගදී හමුවන ඇය                        ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස            ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම                 ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය               ට

ඇය ආ වේලාවට අ‍ප ගෙදරට දොර                ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප         ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව              ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන       ට

ඈ හොඳ හොඳ කතා කවි සීපද ද                න්නී
ඒවා රසට පැය ගණනක් පවස                   න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක       න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ                    න්නී

            *    *     *     *     *     *      *
කලකට පසුව ඇය විසු පැල්පත පැව              තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව         තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ   තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ       තී

සාගර පලන්සූරිය

Thursday, August 18, 2011

පරිණාමා - සාගර පලන්සූරිය

දහඩිය පෙරාගෙන මහ දහවල                    ගින්නේ
වැලිබත් උයන අවදියේ ගෙයි              පිළිකන්නේ
මා ඇය දුටුව බව ඇය කොහොමද              දන්නේ
හඳ වාගෙයි එදා ඈ බැබලුණු                     පින්නේ

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්         වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින          ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                    කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ

ඉන්පසු ඇය දිටිමි නව යොවුනෙහි            වෙලුණු
රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි                ගිලුණු
ඇගෙ යටි පතුලෙ වැද යන තැන                 තැලුණු
වැලිකැට තිබේ හිරියල් පාටට                    හැරුණු

ඇගෙ නෙත් කොනින් ආ මඳලස වැද           පිපුණු
වනමල් ගැන කීහ සමහර ගම                    ගැහැනු
ඇගෙ කටහඬින් ඉපනැලි තුළ ගොනු          ගැසුණූ
සුමිහිරි තාල කවදාවත් නැත                     නැසෙනු

පරිනත යොවුන් වයසේ විලි බර ව                   සිටී
ඇය මම දිටිමි මුළු ගම බබලවන                     හැටී
හැසිරෙනු දිටිමි රන් රස ආලයක                     වැටී
ඇය දැන් තනිව විසු දවසට වැඩිය                     වටී

කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා
ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා
හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා
ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා

අවසන් වරට මවිසින් ඇය දුටු                        දවස
ඇය පිරිවරා වැලපුණි හිත ඇති                      පිරිස
සුව සේ වෙසේවයි දුරු කරගෙන               වෙහෙස
සොහොනක් කළෙමි මගෙ හදවත ඇය        පිණීස
                           
                                                                                         සාගර පලන්සූරිය 
                                                                                           ( විසිවුණූ තරු )

                    ----------------------------------------------------------------------------

රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා උපන් පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු පැවිදි කල භාවිත කළ   'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද   'කේයස් ' යන අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන් ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ  'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල පැහැදිලි වේ.

  කේයස් යන නම වඩාත් ප්‍රකටව ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි කවියාගේ 'ඊනොක් ආඩ්න්' කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , ‍'මල් හාමි' යනාදි කෘති ද පුවත්පත් සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය' , 'තැවුල් ඉගිළෙන සිහින' , 'දෙවියන් නැති දෙවොල' යනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ය.

                  ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
               උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.