Showing posts with label H. M. Kudaligama. Show all posts
Showing posts with label H. M. Kudaligama. Show all posts

Thursday, March 30, 2017

ගංඟාවේ ගීතය - එච්.එම් කුඩලිගම


කදු බෑවුමක දං බෝවිටි පදුරු                  තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත           නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින            තළා
සංගීතවත් වී යමි ඉදිරියට                        ගලා 


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල     වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි   නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද                හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට        දෙමි


එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන             විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු             එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ


විසිරී යන පරිදි රන් සමණලුන්               රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින්              අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන්            සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන්           මැද


සැපවත් වෙවී රට මැද හිරිකඩ          වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි  ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට            අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු          පස්සෙන්


මහ හඬ දිදී වස්දඩු තාලයට                      හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද      විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක              කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු      කඩා


හිරිමල් සිනා රැළි පෙණ පිඬු             මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි             මම
සම තැනිතලාවල හමුවෙයි              අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු               බිම


එච්.එම් කුඩලිගම 

Wednesday, January 25, 2017

වැස්ස - එච්.එම්.කුඩලිගම


















ගැබිනියකගේ තනපුඩුවල පැහැය         උරා
පාවෙන වළාකුළු පවතියි, අහස            පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු             ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි         කරා

අහසේ වලාකුළු හා තරගයෙක              යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට           පදී
දියවල බිදී දෙන රාවය දෙකට             බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට       වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ        හැඩ 
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය          උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු    බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු         කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු          විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී              අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ          දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී         බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව           රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ               මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු    ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි             තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන                  කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින             වල

නැති වළ ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු           සූරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී       හාරා
පිඹුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය           දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින් 
කඳු ගැට වසා විහිදෙයි වැහි ගිලිය     ගොඩින්
නිකෙළෙස් හැගීමක් ඩැහැගත් වන ම  ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු           උඩින්

උපදින අළුත් කලබලයෙන් පපුව              යට
ලොව පෙම්වතුන් පෙම්වතියන් උමතු    කොට
වැටකේ අරලියා බඩවැටි අතර                 සිට
මුර ගා ගෙන ඇදෙයි හිරිකඩ සුළඟ         ගෙට

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි            මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු        ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු              ඇහේ

හැම වැහි වලාව ම ඉගිලීගෙන               එද්දී
මට එයි ජීවමය ගී රසයක්                    ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු                  සිද්දී
සිදු වුන සේ හැඟෙයි මහා වැසි          පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ               ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට     නඟා
රැය සීතලත් අඳුරත් සමග කුර               ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය            ළගා

ගී දේවියට කැප කල දෙවොලකට         සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු         දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන         ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි      මම



එච්.එම්.කුඩලිගම

1918 දී කළුතර කුඩලිගම නම් පිටිසර ගමේ දී එච්. එම් කුඩලිගම මහතා උපත ලැබීය. මොහු කොළඹ යුගයේ කවියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන ලැබූ කුඩලිගම මහතා පසුව රජවත්තේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි නිරතව සිටියේය. සොළොස් හැවිරිදි වියේදීම පද්‍ය රචනාවට බට කුඩලිගම මහතා එතැන්සිට විවිධ පුවත් පත් හා සඟරා වලට රචනා සැපයීය.

ඔහුගේ නිර්මාණ අතර "ඈ", "කුණාටුව", "සිරිමලී" යන කාව්‍ය නිර්මාණ තුන වේ. ඉන් වඩාත්ම ජනප්‍රිය වූයේ "ඈ" නැමති කෘතියයි. කළුගඟ, මුහුද වැනි ස්වභාව සෞන්දර්යාත්මක වස්තු ඔහුගේ නිර්මාණවලට පාදක වී ඇත. කිසියම් සිද්ධියක් ඉතා ශූර ලෙස ගොඩ නගමින්වුත් අවසානයේ ඉතා වක්‍රාකාරයෙන් හෙළි කොට සහෘදයා තුළ දැඩි කම්පනයක් ඇති කොට අපූරු වින්දනයක් ජනිත කිරීමෙහි ලා කුඩලිගම සමත්ය.  කපිල සෙනෙවිරත්න මහතා සමඟ එක්ව "සුවඳ" නැමති කවි සඟරාව අරඹා පවත්වාගෙන ගියේය. කපිල සෙනෙවිරත්න මහතාගේ අභාවයෙන් පසුවද එය කුඩලිගම මහතා විසින් පවත්වාගෙන ගියේය. මෙතුමා කලක් ලේක්හවුස් ආයතනයේ සේවයෙහිද යෙදී සිටියේය.1983 ගොතටුවේදී කුඩලිගම මහතා අභාවප්‍රාප්ත විය.