Showing posts with label Chandy VIC. Show all posts
Showing posts with label Chandy VIC. Show all posts

Friday, November 25, 2011

 වසන්තය



මඟ දෙපස පේලියට හිට ගෙන

හොරෙන් මා දෙස බලා හිනැහෙන

නම නොදත් මල් කැකුළු තරමට

විකසිතව දිදුලයි මගේ සිත


දිනෙන් දින දිගුවන දහවලට

ඉර එලිය නැහැවෙන ගහ කොළට

නෙක සියොත් සරණා නුඹ ගැබට

මොන තරම් අසිරියක් කළහැකිද?


පිපුණු මල් පර නොවී තියේ නම්

නිරතුරුව බිඟු රොනට වඩී නම්

ගුමු ගුමුව නිබදවම ඇසේ නම්

වසන්තය හැමදාම රැඳේ නම්


දිගු දවස් ටිකෙන්ටික කෙටි වේවි

හිරු එලිය හෙමි හෙමින් අඩු වේවි

උණුසුමත් සීතලට යට වේවි

මේ සතුට ආයෙමත් දියවේවි

Saturday, July 30, 2011

ඇසළ සඳ

පයින් ගස් අතරින් මුවා වෙන ඇසළ සඳ
අද ඇසළ පෝය බව කියනවා
නේක පාටින් දිලෙන කැමීලියා මල් අතර
මගේ හිත පිච්ච මල් හොයනවා

හිම මිදෙන සීතලත් එක්ක එන සඳ කිරණ
හිතට යස උණුසුමක් ගෙනෙනවා
සඳ එක්ක එකතු වී මටත් නොකියාම ගොස්
මගේ හිත දළදාව වදිනවා

තරු නොමැති අහසේ සඳ ට දැනෙනා තනිය
මටත් දැනෙනවා දැයි සඳ සෙමින් අහනවා
නෑ කියන්නත් බැරිව ඔව් කියන්නත් බැරිව
මගේ හිත ගොලුවෙලා ඉන්නවා

සඳට තනි රකින්නට නැගෙන ඉර බට තරුව
පායාවි ඉක්මනින් මගේ හිත කියනවා
ඈත පෙරදිග අහසෙ ගුරු තරුව නැගෙන තුරු
මගේ හිත තාමත් මග බලා ඉන්නවා

Thursday, July 28, 2011

මතක කඳුළු

කෙසේ අදහන්නද?
ඔබ නික්ම ගිය බව
මටත් නොකියාම
මගෙන් සමු නොගෙනම
දුරු රටක සිටිනා මා එන්නට පෙරම
ඊයේ පෙරේදත් කථා කර
ඇවිත් යන්නට නොව
ඇවිත් ඉන්නටම එන්නයි කියූ
අම්මා අහිමි වූ අපට අම්මාම වී
ආදරය බෙදා දුන් ඔබට
කෙසේ නම් පතන්නද නිවන් සුව
සිත් කියද්දී අප නැවත හමු විය යුතුම බව
මේ සසර සැරිසරණ තුරු

(නිමිත්ත - මටත් නංගීටත් තමන්ගේ දරුවන්ට වගේ සලකපු, අපේ පවුලේ හිතවතියක් පසුගියදා අප අතරින් වියෝවුනා. එදා හිතට දැනුනු දුක අසරණ කම අදටත් එහෙමම තියනවා. පිටරට පදිංචි වීම වෙනුවෙන් අපි ගෙවන මිල හොඳින්ම දැනුන වෙලාවක් තමා මේ. හිතේ දුකට ලියපු කවියක්. දුක හිතෙන කවියක් ලියුවට සමාවෙන්ඩ)

Wednesday, July 6, 2011

බ්ලොග් ලොවට නවක මම......

ඇරයුමට පළමුවෙන් තුති පුදමි ඔබහට
මටත් ගොඩවදින්නට හැකිය දැන් ඉඳ හිට
නවකයෙක් වන නිසාවෙන් තවම බ්ලොග් ලොවට
කියන්නම් මා ගැන මට හිතෙන හැටියට

දියණියක් වීම හැර මා පියාණන්ට
සොයුරියක් වීම හැර එකම නැගණියන්ට
යෙහෙලියක් වීම හැර පිය සබද ඔබ සැමට
වෙන කිසිම බැදීමක් නොමැත මාහට දැනට

කරණීය මෙත් සුතුර කියවෙන සැහැල්ලුව විඳිමී
ලොවෙන් නිබඳවම ලැබුණු ආදරය අගයමී
දිවි මගේ සතුට, දුක එකලෙසම විදගමී
ලොවෙන් ලද ආදරය නිතර ආපසු දෙමී

තරහා ගියත් ඉද හිට ටිකක්
තියා ගන් නැ හිතේ කහටක්
ලියා ගන්ට ඇහැකි මුත් කවියක්
තවම නොමවෙමි කිවිඳියක්