Showing posts with label Parana Kavi. Show all posts
Showing posts with label Parana Kavi. Show all posts

Sunday, July 11, 2021

ආරච්චිරාළ - විමලරත්න කුමාරගම

 


අලියා වැටුණු වැව ආරච්චි              රාළට

මුවමස් ඌරුමස් භිඟ නොමැත       කෑමට

මුළු ගංගොඩම හිටියත් ඔහුගේ       වාලට

ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු      නානට

 

වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල          මත

එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු   නැත

කුරහන් බිස්ස යට බල්ලට සෙවන      ඇත

ඔහුගේ ගෙදර මට හොඳටම මතක      ඇත

 

පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත

ගමනට පැදුරු දැමු බර බාගයක්     ඇත

නියඟක් අවත් ඉන් වැඩිපුර බයක්  නැත

වැව කිට්ටුවම වෙල ඉස්සර හයක්  ඇත

 

ඉදිකඩ ළඟම සිටහත් මහළු පලු             ගසේ

පොඩි පෙට්ටියක පානට මැසි පොකුරු නැසේ

ඒළියක් දුටිමි ඒ ඒළියෙන් ඔහුගේ          හිසේ

මට මේ ලියන විට තව ඒ ඒළිය              දිසේ

 

මුළු රෑ ලැගී ඉඳ පලු ගහක            මැස්සක

ලැබ ‌ගෙන අහිංසකයකු පිදුව         මස්ටික

වළඳා අදට වූවත් වසර                  විස්සක

පුදුමයි බලන්නට අද ඔහුගෙ          රැස්ටික


කිසිවෙක් නොවේ කෙරුමට ඔහු සමඟ  හබේ

වෙහෙසක් නැතුව යළ මහ අස්වනුද      ලැබේ

කුරහන් වියෙන් බිහි තුන ඉදිමුනද          ඉබේ

යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර         තිබේ


දවසින් දවස වන පෙත ගං ගොඩෙහි     හැපේ

ඔහුගේ ‌ගෙදර ළඟ කළුවර බුරුත         කැපේ

ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද         ලිපේ

හැම ගැමියෙක්ම ඔහුගේ පාමුලෙහි       හැපේ



Sunday, June 27, 2021

උගත්කම - කේයස් (සාගර පලන්සූරිය)

එළු සකු මගද පොත් කට පාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී

පොළොවට ගැටගසන්නා වාගේ අහස
වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස

හැම වචනයම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා ඔහුගෙන් දුරුව

මේ පොත නිසා බිරියත් නැති වූයේ
ඉන් පසු ඈ නොවෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැදවා යළි පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම්දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා පිරුණු සොයින්

ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් මේ හෝටලය වෙත
කිසිවෙකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල් කරු අලාබෙට
උගතා බැරිම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියෙ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමග පියා
අරහෙන් මෙහෙන් යම්තම් ගමන ගියා

පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කලෝ කිසිවකු එහි නොයන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නොකියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිගන්නෝ රැස් වෙති රැට
නරකද එතැන තෝරා ගත්තම මීට

මෙහෙම සිතාලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනේ ලා අලුතින් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙපයින් ගමන් කර
ලංවිය හිගන්නන්ගේ පැමුනුමෙන් පෙර

ගත කල මුළු දවස හිගමන පිණිස
ආවෝ හිගන්නෝ අම්බලමට සවස
වෙන දවසට වද අද මෙහි දුටු වෙනස
ඇති එක පඩිතුමා උන්ටත් පෙර පිවිස

පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැත කන මෙන් පහර
හිගන්නෝ නිදති එහි තැන තැන වැතිර

මැදයම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිගන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේදැයි තව උගුරෙ කෙළ
කම්මැලි වී වැනෙයි පොල් තෙල් පහනේ සීල

පඬුවා තනි වුණා රෑ අම්බලමේ පිලේ
හිගන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ උගතකුගේ මොළේ

බිරිය නඩු දමා ඇති දික්කසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කලයි මහජනයගේ විවේකෙට
මිනිහට විරුද්ධව පැමිණිලි හැබෑවට

දිනකට සිතාසී හත අට ගණනේ ලැබේ
මිනිහට විරුද්ධව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්ධයි මා කළ පොතට
එහි වරදෙක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්න එහෙනම් අවසරද මට

මේ මහ පුදුම පොත කොහොමද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුනොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

ගතවිය දවසක් දෙකක් නෑ ඉවර පොත
පෙරකදෝරුවෙක් එහි බෙහෙතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ලතැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

උසාවියෙ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් විය බැරි තැන සිය දුරයෙන්

 

කේයස් (සාගර පලන්සූරිය)

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය - සාගර පලන්සූරිය

ගොඩ මඩ දෙකම සරු සාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩ මංඩිය පිහිටියේ ගම කෙලවරය

"හීං මැණිකෙ මගෙ" කියමින් කී ටිකිරි
බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරී
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි
පත් වූ කීප වේලවක මේ ළදැරී

"ගහගන්නට එපා දෙන්නාටම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද"
කියමින් සැනසුවා සුමිහිරි බස් බොලඳ

ටිකිරී පොහොසත් ය නැණ ගුණ දෙක වැඩි
අදිරී දුප්පත් ය ගත සිත හැඩි දැඩිය
ඇගේ නියම ආලය මනිනා පඩිය
අදිරිගෙ පැත්තෙ ලා බැලුවම බර වැඩිය

සතුටින් සමාදානෙන් සැපතින් ඉන්නා
දැක දැක සෙනෙහෙ බර අඹු සැමි දෙන්නා
ටිකිරිගෙ ආදරය එලියට නොම පෙන්නා
පුරුදු පරිදි ඔහු සඟවාගෙන උන්නා

විපතට විපත හමුවන තැන මහ විපත
දුකකට හේතු විය මැණිකෙගෙ දරු උපත
දුක් විය යුතු නොවේ ඇසුමට මේ පුවත
උපන් දරුවාට අයියෝ නැත දෙනෙත

යන බව කියා මැණිකෙට ලියුමක් ලීවා
ඔහු පිටරට ගියා කරනුව යුද සේවා
සිංගප්පූරුවෙන් මුල් ලියමන ආවා
වෙඩි වැද අතක් කැපු බව ලිපියෙහි වූවා

"ලස්සන" කියන දේ නැහැයට වත් කණට
මගේ දිවට හරි මගෙ අතපය වලට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය මට

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු හෙලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මම විහිලු කලා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා

මා මළ පසු මේ ගෙන ගොස් මැණිකෙට දෙන්න
කෙස් රොද මේ සමග ඇත ඈ මට දුන්න
මැණිකෙයි පුතයි මගෙ ටිකිරියි යහතින්න
දිගු කල් වෙසෙත්වා පැතු බව පවසන්න

වලව්වේ ඉදිරිපිට වත්තේ කොණක
අදිරිගෙ සොහොන් කොත ළඟ තැනු මල් පැලක
මැණිකෙයි අඳ පුතයි ටිකිරියි හැම දිනෙක
මල් පහන් පුදනු කාටත් බැලිය හැක


කේයස් (සාගර පලන්සූරිය)
1 ජනවාරි 1948

වලස් දඩයම - විමලරත්න කුමාරගම




පූලයි මායි පලු ගස් දෙබලක මැස්සේ
සයිමා සමඟ කඩියා කැටවළ අස්සේ
අඳුරේ හැම හඬට මගෙ හදවත ගැස්සේ
අඩ හඳ පාළු වන රොද මුදුනට ඉස්සේ
පලු ගහ අවට නැගි මැහි මදුරු නැළවිලි
තරු මල් වලා ගුලි නිල් ගුවන සැරසිලි
වැව් දිය ඇල් මැරී මසු අතර කැලඹිලි
බැලු හැම තැන ම මතු වුණු අමුතු සෙවණැලි
විසිතුරු වලා වැලි කම්මැලි ලෙස පාවේ
කිසියම් සතෙක් තව නැත වැව වෙත ආවේ
දාඩිය ගලා බැස මුලු සිරුර ම නෑවේ
ඈතින් ඇසේ මත් මුව දෙනකගෙ රාවේ
හදිසියෙ දුටිමි කලුවක් වැව වෙත ඇදෙන
වැලහින්නක්ය- ඇය පසු පස දරු දෙදෙන
යන්තම් ඇසුණි හඬ පැටවුන් දිය අදින
කැටවළ තුළින් ඵකණෙහි වෙඩි හඬ නැගිණ
වම් ඉළයට වැටී ගති ඒ වැලහින්න
මම කෑගසිමි කඩියට වෙඩි නොතියන්න
දඟලන අතර ඈ තැති ගෙන නැගිටින්න
දුක්මුසු ලෙසින් හැඬුවා පොඩි දරු දෙන්න
පොඩි පැටවුනුත් ඇදගෙන රැඳෙනු ඉඩ නොදී
ආ කැලයට ම ඵ් මව පැනපි ඇදි ඇදී
කකුලක් කැඩී ගියමුත් ඇයගෙ වෙඩි වැදී
දරු පෙම මරන්නට ඵ් මවට ඵය මදී
හෙමිහිට ඇදී යනතුරු දුරට ම බැද්දේ
හදවත පෙළී පැටවුන් වැළපෙන සද්දේ
සංවේගයෙන් මා සිටි මැස්ස ද පද්දේ
වැළපෙයි කිරල රැළ උඩ පැන වැව මැද්දේ
ගොළුවන් කියන දේ වැටහෙන සවන් පෙතී
මා සතු වෙන්ට ඵදවස සිට පටන් ගතී
දරුවන් දක්න විට සිය මෑණියන් නැතී
ඵ් හැම දෙන ම මගෙ ළග නෑ සියන් වෙතී

"කවිවලට ලැබුණු අදහස්වල බොහෝ ඉල්ලුමක් තිබූ කවි පන්තියකි."

Friday, February 16, 2018

වරද - ජී.බී. සේනානායක

File:Weeki Wachee spring 10079u.jpg

ස්වාමීනි,
නැඟී සිටින්න.
මගේ වරදට සමාවන්න ස්වාමීනි.

ඒය මගෙ නොව,
සිතෙහි වරදකි,
නැත ස්වාමීනි,
සිතෙහි නොව,
ඉඳුරන්ගේ වරදකි,

ඒවේලෙහි
මගේ ඉඳුරෝ
බලවත්ව නැඟී සිටියෝ ය.

ඔබ මිස
අන් කිසිවකු  නොහඳුනන
මගේ සිත
වරදෙහි ඉන්ද්‍රියන් හා ඒක් නොවී ය,

නැඟී සිට සමාවන්න, ස්වාමීනි,

- - - - - - - - - - - - - - - - -

මම නැඟී සිටියෙමි
නැඟී සිට,
අැගේ අත් පා බැඳ,
රුක් අත්තන ලැහැබ අතරින්
අෑ ඔසවාගෙන ගොස්
පුළුල්ව ගලා බස්නා ගඟෙහි
ගැඹුරු තැනකට විසිකොට,

මහත් හඬ නඟා
කැළඹුණු දිය,
යළිත් ශාන්ත වන තෙක් බලා සිට,
අාපසු අවුත් 
නෙත් පියා ගතිමි.

ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)

Friday, April 7, 2017

ප්‍රබුද්ධ - මහගම සේකර

මහගම සේකරයන් උපන්නේ අප්‍රේල් මාසයේ අද වන් දිනයකදීය. එතුමාට උපහාරයක් වශයෙන් මෙම කවිය කවිමුතුමල් වල පළ කරමි.


භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.

ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්‍ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට

වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්‍ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.

කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.


මහගම සේකර 

මහගමසේකර 1929 අප්‍රියෙල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී. ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකුනවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.

Wednesday, April 5, 2017

අඳුර අපේ දුක නිවාවී - ගුණදාස අමරසේකර


යමන් කළුවෙ ගෙදර යන්න, කන්ද උඩින් අඳුර    එනව
උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය     දැනෙනව
අඳුර තමයි අපෙ ඇඟපත නිවන්ට දෙවියෝ        එව්වේ
හනික යමන් ගාල්වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

උදේ හිටන් අව් කට්ටේ උඹව තියන්       මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයි කියාපන්කෝ දැන්වත්       මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ     විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක           නිවන්ට

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම්    කන්නට
දෙයියො තමයි අඳුර දුන්නේ අපෙ ඇඟපත ගිනි නිවන්ට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරව        ගන්ට

මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ      රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද                දමාවී

හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට       ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද       යනව
අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක්       කියනව
ඒ එක්කම ඇහැ පියවිල එළිවෙනතුරු නින්ද        යනව

දෙයියො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟපත      නිවාලන්ට
යමන් කළුවෙ ගාල්වෙලා එකට වැටී                නිදාගන්ට
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය                හෙමිහිට

අඳුර  රෙද්ද, පෙරවාලා අපෙ ඇඟපත නිදි             කරාවී
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර                     නිවාවී

ගුණදාස අමරසේකර

Thursday, March 30, 2017

ගංඟාවේ ගීතය - එච්.එම් කුඩලිගම


කදු බෑවුමක දං බෝවිටි පදුරු                  තළා
පහළට ඇදී පරමල් පෙති ඉවත           නොළා
කලදෝ දියෙන් පුරවා රන් පුලින            තළා
සංගීතවත් වී යමි ඉදිරියට                        ගලා 


සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල     වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි   නොනවතිමි
කවදා කොතනදී හෝ මහ මුහුද                හිමී
හමුවුණු කෙනෙහි මා සතු බර ඔබට        දෙමි


එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
ඔබ කුමකටද මා දුටු තැන             විමසන්නේ
මිනිසුන් ගිහින් නිතරම ආපසු             එන්නේ
කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන්නේ


විසිරී යන පරිදි රන් සමණලුන්               රොඳ
වනමල් පඳුරු දෙදෙරවමින් මුලින්              අද
උඩ පැන පැන නටා ඇවිදින් ගිමන්            සිඳ
නැළවෙමි කුරුල්ලන්ගේ රජ දහන්           මැද


සැපවත් වෙවී රට මැද හිරිකඩ          වැස්සෙන්
කේතකි ගුහා ,උක් කොටු වෙළ් එළි  ඔස්සෙන්
හේ දඬු- බට පඳුරු නිල් ඕවිට            අස්සෙන්
ආයෙමි නිදහසේ දෙවඟන පසු          පස්සෙන්


මහ හඬ දිදී වස්දඩු තාලයට                      හඬා
කදුරැල් වලින් ඇද හැලෙමින් නොවිද      විඩා
වන දෙව්ලියන්ගේ ගම්මානයක              කුඩා
කැරකෙමි සිනා රැළි මතුකොට ඉවුරු      කඩා


හිරිමල් සිනා රැළි පෙණ පිඬු             මිහිරිතම
ගල් පරවලම හැපි හැපි බිහිකරමි             මම
සම තැනිතලාවල හමුවෙයි              අලසකම
නිරසයි අතරමග අවහිර නොදුටු               බිම


එච්.එම් කුඩලිගම 

Wednesday, March 22, 2017

නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක


දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල් 
කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......

මා මුහුනෙහි 
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....

මසකු හඬනගා දැඟලූයෙන්
ගං ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....

ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......

ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....

නිශ්ශබ්ද්තාවය දැඩි විය 
පෙදෙස වසා ගෙන පැතිරුනු 
නිහඩ බවින් මිරිකුණු මම 
ඇයගේ 
රන්වන් 
දිගටි 
නිසල 
මුහුණ දෙස බලා 
කරබා ගතිමි. 

ජී.බී. සේනානායක

Saturday, February 4, 2017

නිදහස් උදානය - සුගුණපාල සමරසේකර




මගෙ සිරි ලංකා භූමි               තලේ
අද ජයමංගල කෝළ              හලේ
පහ කළ පරගැති රාජ             බලේ
නමෝ නමෝ මාතා           බැබලේ

සිරිලක් අඹරෙහි නැඟ නැඟ       දිව්
නිදහස් කාහළ මංගල                රැව්
පිදුරුතලාගල සමණොළ           පව්
මිහිදුම පැහැ ගෙන සිඹිනු        බලව්

විදෙසික පීඩන ගිම්              උනවා
නිදහස් මඳනල රැළි            දෙනවා
ලක්මව රන්කොඩි ලෙළ      වනවා
මෙන් සිරිමා බෝ දලු           ලනවා

යුධ වැද රැකුමට හෙළ              භූමි
එය සිඹගෙන මළ ලෙස           දෑමී
කැප්පෙටිපොළ හිස රණ        කාමී
නිදහස දැක වනි මවු                භූමී

පෙබරවරිය සිවුවැනි              දවසේ
මගෙ මළ මවු ඉපදුණු            දවසේ
නව හිරු නව සඳ නුබ           දිලිසේ
හෙළ දද රඟ ගති උඩ            අහසේ

පෙණකැටි මුතුපට ඉහළට      නංගා
රළ පෙළ තරඟෙට වෙරළට නැංගා
පළකොට නිදහස සතුටු        තරංගා
හෙමිහිට බැසයෙති ගිං කළු    ගංඟා

හැම ළය පතුළක ජාතික        ජීවේ
නළියවමින් සිහිලළ නල       ආවේ
පන්සල, පල්ලිය, ඝණ්ඨා      රාවේ
නිං නඟමින් උඩුගුවනෙහි     ගෑවේ

නිදහස පිළිබඳ දිමුතු       ජයන්තිය
සළකන ඔබ අද හරි පින්   වන්තිය
කිය කිය දිවගෙන සිඳුරළ  පන්තිය
සිඹගති සිරිලක් ආදර        වන්තිය

සුගුණපාල සමරසේකර

Thursday, February 2, 2017

උතුරෙන් - සාගර පළන්සූරිය



















දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි       උදේ
රන්තරු රිදී තරු සවසට පෙළට               ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර                   හඳේ
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ

ගෙන එයි මිහිර ගී මදනල  හමන                විට
වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු    මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව      පිට
උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු           ඇට

තනි බව දැනේ එහි කවුතුක රසය              ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු             නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය     මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත          තෙත

දහදිය හෙළන අය හිරිහැර අතර                වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම       සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි               හැටී
කළුගල් යකඩ නොව උණු වී හැළෙන        ඉටී

බැඳ ඇති විළංගුව පා මිණිසළඹ              කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි                පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස         මට

මිනිසා වෙතින් මිනිසා වෙන් කරන         රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු               පසින්
පාළම බැඳෙනු ඇත දවසක උතුරු         දෙසින්

පැයකදි එකට හමු වන දුර ඇත                දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                            ඔතන
බේදය පිළිස්සී හමු වේවා                          දකුණ !

සාගර පළන්සූරිය