Showing posts with label Sujeewa Kokawala. Show all posts
Showing posts with label Sujeewa Kokawala. Show all posts

Tuesday, October 9, 2012

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන්

කලක් ගොහින් මෙහි යළි ගොඩ වදින්නේ 
වෙනස් දෙයක් කරනට සිතා මං
සොයන්නටයි කවි මුතු මල් තලාවේ
කලක් සිතේ රැඳි කවියක කතාවක්

කුඩා කලේ අප පොත පත කියූ දේ 
සිතේ ලියවිලා සිතුවම් රටා මෙන්
ලියා මෙහි ඇතේ එබඳුම කවක් මා
සොයා ගනු රිසිමි පසුබිම් කතාවන්  

කිනම් පොත් පෙළක කවුද මේ ලීවේ
බසත් විරිත හා යුගයත් වටින්නේ 
නැතේ ද ඇසි දිසි ලෙස මෙය නඟා ලා? 
සියල්ල දැන ගන්නට රිසින් මා

සොයා සෙවුම්හල් වල සැරි සැරීමි
ලබා දුන්නෙ එක සෙවුමක්‌ පමණි ඉන්
එයත් පෙර දාක කවි මුතු මලේ හි
මෙමා දමා ලූ සටහන් පතක් වේ

පොඩිත්තියත් මෙය මා ගෙන් අසා ලා
උදෑසනේ හැමදා එය ගයන්නී
ලබා දෙතොත් තොරතුරු පහත කව් හී
බොහෝ ලෙසින් තුති පුදනෙමි ඔබට මා 

-------------

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් 

නැගෙව් කියන්නා වැනි දැන් මැ නින්දෙන් 
දොරින් අඩක් ඇරියා මැ මේ එන්නේ 
සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන් 

පියා හඹත් කූඩු වලින් කුරුල්ලෝ
ඉතා මැ මීරියි හඬ දැන් ඔවුන්ගේ 
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ 
අලුත් පණක් ගස් වලටත් ලැබීලා

Sunday, October 16, 2011

ටයි මාමා

[නිකමට ලියු පදවැල් අතර පලකල මගේ ම කවියක් මා විසින් ම මෙහි ද පල කෙරුණි]

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

Wednesday, August 3, 2011

කනයා

කන
මඩ කන
මඩෙහි නිදන
පණ
රැක ගෙන
ගඟට නොයන
දින
දිය එන
තුරු වේලෙන
පින
පෑදෙන
සිහින මවන


[චිරන්ත ජයසේන ගේ මුහුණු පොතේ කවියකට දුන් පිළිතුරක්. පර්යේෂණාත්මක උත්සාහයක් ලෙස මෙහි පළ කරමි]
 

Wednesday, July 20, 2011

කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද - බින්දියට දුන් පිළිතුරක්

ටික  දිනකට කලින් බින්දිය දියට හළ
කවි වියමනක් රැළි නැගුවා නෙලුම් විල

ඇය හට මා දුන්න කවි ප්‍රතිචාර පෙළ
පල  කරනට සිතුනි මේ කවි පිටිය තුල

"කටුරොද ගම තවම ඒ වගෙ ලස්සනද?"
කියලා  පටන් ගත් ඇගෙ කවි සංවාද
පැටලී වාදයට සඳැස ද නිසදැස ද 
කීයක් තුවාළ ව රෝහල් ගත වී ද?

වල්පල් ලියූවට බින්දිගෙ නෙලුම් විලේ
ප්‍රශ්නය කිසි කෙනෙක් නැහැ අහවරක් කලේ
කටුරොද තවම පෙර මෙන් සුන්දර ද බොලේ
දන්නා කෙනෙක් ඇති දෝ මේ වියත් කුලේ

කටුරොද කොහේ තියෙනා ගම් පොජ්ජක් ද?
පලබර ගමට තවමත් හිරු පායත් ද?
නැතහොත් මේ රටේ ඇවිලුණු ගිනි යුද්ධ
අන් හැම තැන මෙන් ම එගමත් වනසත් ද?

ගිම්හානිය කියා ඇති දුක්බර ඇත්ත
ඩෝසර් කර දමා ඒ පල බර වත්ත
බොරු තණකොළ වවා වට කොට හැම පැත්ත
"සංවර්ධනය කර" බෙදල ද මේ හැත්ත

ගොඩ මඩ දෙකම අඩු ගානට මිලට ගෙන
මඩ ගොඩ කර දමා සාරය උරා ගෙන
කණු හිටවලා කොඩි බැනරුත් දමා ගෙන
නමකුත් "තෝනි බුෂ්" වාගේ දමා ගෙන

ඒ ගම මැදින් ගලනා මනහර නදිය
කුණු පුරවලා ලඟටත් යන්නට බැරිය
කඩ මණ්ඩියේ සද්දෙට මුළු ගම යටය
නගරය අසල නම් වනු ඇත මේ හදිය

පිහිටුම අනුව ඉරණම කියුමට හැකියෙන්
කොහි වෙ ද මෙගම හෙළි කර ගන්නා අටියෙන්
වෙන කිසි මගක් කටුරොද සොයනට නොවුයෙන්
තකහනියක් ම වැන්දෙමි ගූගල් දෙවියන්

දෙවියන් වුවද නැහැ මේ ගම දෙසට හැරී
මුල් පිටුවෙහි නොවුනි කිසි සඳහනක් කෙරී
කවි ගී කතා අතරේ යට ගිහින් පෙරී
දුටු සටහනක් උපුටා නොදමන්න බැරී

"However Samanera Velivita Sri Saranankara born in 1698 in Velivita village in Galagedera entered the order at the age of 16 as a pupil of Ven. Suriyagoda Rajasundera, who had received upasampada ordination from Arkanese monks in 1697 at Suriyagoda (Kadaroddawa) Vihara at Pujapitiya. This village has been immortalized by poet Sagara Palansuriya (Keyas) in 'Sudo Sudu', the opening verse of which gives it as 'Katuroda'."

 
රුවන්  පුරේ හිමි අනඳය සාගරය
කේයස් නමින් පළකළ කවි ආකරය
නුවරට නුදුරු මේ ගම පූජා පිටිය
කටුරොද නමින් බොරු නමකින් ලියු හැටිය

කටුරොද යන්න ඔහුගේ කවි සිතට එන
කල්පිත ගමක් බව මෙතනත් ඇත හැඳින
ඇතැමුන් කියන සුද්දගෙ මුල් පොතේ එන
කටුරොද වැනි ගමේ නමවත් කියනු මැන

පූජා පිටිය කටුරොද බව ඇත්තක් ද?
සිවුරෙහි උන්නු කේයස් එහි උන්නෙක් ද?
නැතිනම් ඔහුගෙ මරණින් පසු කටුරොද්ද
කේයස් කියන සිතුවිල්ලක සැතපෙත් ද?

Tuesday, July 5, 2011

පගා සීරිස්: පගා නොදී උසාවිත් නොයා බේරුන හැටි

පෙලින්  පෙලට මුතු අමුණන හතර පදේ රස ගුලාව
ලියන්නට හිතයි ලස්සන විරිදු කරුගෙ කවි කලාව
වරින් වරට මුණ ගස්වන මගේ මතක සිත්තරාව 
රිසින් විඳිනු මැන මිතුරනි මෙගා සීරිසේ "පගාව"

කාර් ලඩිය කරදරයකි හිත මිතුරට "කතන්දර"
ඔහුට වඩා අපට දුකකි ඒ ගැන ලියු කතන්දර
මටත් වංගියක් තිබුනා ගැලන්ට් එකක් ඇතෙක් බර
කලක් ගොහින් විකුණන්නට හමුවිය මට බයර් පොර

ආරෙම්වී එකට යන්න බේස් ලයින් එකට ගියා
පාර අයිනෙ නවත්තලා තෙල බනුවෙන් සොයමි එයා
ඒ සමගම දුවන් ආපි අවි ගත් හමුදා භටයා 
බෑ නොව මෙහි නවතන්නට හයි සෙකුරිටි සෝන් කියා

හිතට ආපු බයට වහා කාරෙක පාරට ලෑවා
"මෙතන කේස් කට් කරනව" කියල බයර් ටත් කීවා
ඈතින් හුන් පොලිස් බුවෙක් විසිල් එකෙන් හඬ ගෑවා
ෆෝන් එකත් කනේ ගහන් පාරට දැම්මයි කීවා

"දුවන් ආපු සෝල්ජරය දැකලා මං බය උනේය"
"අනේ මේකෙ අන්තිම දා හෙට ඉඳලා බස් එකේය"
"බැරි ද අපිට ශේප් වෙන්න ආයිත් මෙය නොම කෙරේය"
කොච්චර වැන්දත් රළහමි මට බුරුලක් නොදුන්නේය

බලෙන් වගේ ගහපු දඩේ ශේප් වෙන්න වත් නොහැකී
"පොලිසියට නොව කෙලින් ම උසාවියට යනු" ඔහු කී
කෝල් එකට නතර කළා මා එලෙව්වෙ වෙන එකෙකී 
මගේ  හිතට හරි තරහයි අසාධාරනෙන් මිරිකී

දඩ ලියන්නෙ පොලීසියෙනි නඩු දාන්නෙ වෙලා පමා
ලයිසොම  ඇති පොලිසියේ පොලිසියට ගියෙමි මෙමා
දැක්ක  ගමන් දඩ පත්තර නිලදරුවා හිස උදුමා
"මෙහෙන් නොවේ උසාවියෙන්" රැස්පොට් පිට කිව්ව තමා

කලින් කලට වෙස් පෙරලෙන විෂ්ණු දෙවිඳුගේ අවතර
හොඳින් චිත්‍රපට ගත කල කැමරන් මාමගෙ අවතර
එවන්  චරිත මට වැහෙනව වාසිය ගන්නට නෙකවර
මහත්තයෙකු වෙස් ගත්තෙමි දරනා වැදගත් තනතුර 

"මේකයි රළහමි සිද්දිය නැහැනේ මං කෝට්ස් ගිහින්
දන්නෙත් නැහැ ප්‍රොසීජරය අපිට ඔව්ව තූ නොදකින්"
මහත්තයා වැඩ කරන්නෙ කොහෙදැයි ඔහු ඇහුව සැණින්
"කොම්පියුටර්  ෆීල්ඩ් එකේ" කියුවා මා බොහොම බරෙන්

"ඉන්නකො එහෙනම් පොඩ්ඩක්" කියලා මට සන් කළේය
දවසේ දඩි බිඩි වැඩ ටික හනිකට ඔහු නිම කළේය
අරගෙන මගෙ කඩදාසිය ගෙවුම් පතක් සැකසුවේය 
බාගෙට ඉඳගෙන එළවා ඇති බව බොරුවට ලිවීය

අඩුම දඩය ලියා තිබුණි රුපියල් සියයක් පමණි
තැපැල් පොලින් හැක ගෙවනට උසාවි නොම අවැසි වුනි
මොකද යකෝ මේ සෙනෙහස කියලා මා පුදුම උනි
ගෙඩි රුපියල් තුන් සියයක් මගේ අතේ ගුලි ගැසුණි

ආපහු විත් ලයිසොම ගෙන දෙන්න උන්න මුත් පගාව 
මිනිහ ඔහේ කතා බහේ ජොබ් එක ගැනමයි කතාව
"මහත්තයෝ මගේ කොලුව උසස් පෙලට යන වෙලාව
කොම්පියුටරයක්  දෙන්නට මගේ හිතේ කල්පනාව"

"බැරිද අපිට ගන්න එකක් මහත්තයගේ ඔපීසියෙන්?
 පොඩි ගානට එකක් දෙන්න මහත්තයට හැකිනෙ ඉතින්"
මෙච්චර මට උදව් කරපු රහස දැනුනි එක සැණෙකින්
මට ඌ ගැන කනගාටුයි අපෙන් එකෙකි ඌත් ඉතින්

"කොම්පියුටර් කොම්පැණි ඇත හාඩ්වෙයා සොෆ්ට්වෙයා
මං ඉන්නේ දෙවෙනි ගොඩේ එහෙ නැහැ විකුනන්න තියා
වැඩ කරන්න අපිත් ගන්නෙ කඩේ තියෙන එව්ව මෙයා"
ඔෆිස්  එකෙන් අරන් දෙන්න බැරි බව මම දුන්න කියා

දරුවට සෙනෙහස දක්වන ආදර බර පොලිස් පියෙක්
උගේ පුතත් හෙට ලිව්වොත් පරිගනකෙන් බ්ලොග් අහුරක්
මං  වගේම තව මිනිහෙකි මගේ හිතට දැනුනි දුකක්
අංකය දුන්නා මිනිහට කරනෙමි මම මට හැක්කක්

"කොම්පියුටර් අරන් දෙන්න යුනිටිය මට බොහොම ලඟයි

ඕනානම් අමතනු මට උදව් කරන්නට හැකිවෙයි
මට කල මේ උදව් වලට ඔබට බොහොම ස්තුතියි"
සල්ලිත් මා දුන්නෙ නැතේ එතන පගා දිය නොහැකියි

ලිහා ගන්න බැරුව ගිහින් සිද්ද වෙච්ච පටලැවිල්ල

මගෙන් ඔහුට ගන්න බැරිය ගන්න හිටිය ලොකු කැපිල්ල
මොනව කරන්නද අවසන මිනිහට වැරදුනි සියල්ල
යන එන මං නැතුව හිටිය හැදිල වගේ කරකැවිල්ල

Wednesday, June 22, 2011

පගා සීරිස්: ලයිසොම ගත්ත හැටි


විරිදුව කවි කොලෙන් ඇරඹුන කතන්දර   
බ්ලොග් පිටු වල ද නිම්නද දෙයි නිරන්තර  
සුමිහිරි කතා හැකි විදිහට මතක් කර
ලියමුද අපිත් කවියෙන් රස හැඟුම් බර

“කතන්දර” ලියන හැටියට කතා මෙගා
මටත් ලියන්නට සිත්විය කවට නඟා
මෙයත් තවත් සීරිසයකි හරිම දිගා
මෙගා නොවෙයි මේකේ නම තමයි පගා

-----------------
උසස් පෙලට ලියලා ප්‍රතිපල පැමිණ
මටත් නොරට යන්නට ඉඩ කඩ ලැබිණ
හදිස්සියේ මයි ඔක්කොම වැඩ යෙදුන
තවත් දෙමාසයකුයි ඇත්තේ යන්න

එරට ඉඳං මෙරටට ආ බුවෙක් හුනි    
නොරට ගැන මෙමට චිස්තර කියා දුනි
“නුඹට නැතිද ලයිසන්?” ඔහුගෙන් ඇසුනි
“එරට එකක් ගන්නට එය උදව් වුනි”

ඉතින් කොහොම ගමි රියැදුරු බලපත්තේ
හිතින් මටත් හරි කරදරයකි ඇත්තේ
“යමන් මං දන්න තැනකට අපෙ පැත්තේ”
මගෙත් එක්ක යන අනිකා එය දත්තේ

දෙන්නම හෙමින් ගිය විට ලර්නර් පොලට
උන්නා එකෙක් ලෝකෙම රවටන ජයට
“මල්ලිල නිකම් ගන්නව නම් යන කමට
දෙන්නම් පටස් ගා චුට්ටක් වැඩි මිලට”

කරනට තිබුනෙ නැහැ අපටත් වෙන කිසිවක්
දෙමසට කරන්නට ඇත තව වැඩ දහසක්
"ඉඳහිට ආවාම ඇති ඉඩ ඇති දවසක්
ගැනුමට හැකිය ලයිසොම නැහැ කරදරයක්"

මිනිහා එදා හිට සතියට වරක් මෙන  
මැස්ඩා වෑන් එකටට අප දමා ගෙන
පස්සා සීට් වල රොත්තක් ඔබා ගෙන
දුන්නා පාඩමක් තියරිය කියා දෙන

තියරිය මිසක නැහැ අප ලද අවකාසේ
එළවන්නට පුරුදු වන්නට අප රිසි සේ
බොහො විට සියලු දෙන නිමකල පසු දවසේ
සුළු මොහොතක් ලැබුණි ඉස්සරහට යන සේ

යන්තම් අල්ලලා වාහන කලාව
ටෙස්ට් එක කරන්නයි දැන් මේ වෙලාව
ට්‍රේනර් බාරෙකෙන් අර ගෙන “ජරාව”
නගරෙට ගියා මුණ ගැසුමට හොරා ව

පටන් ගන්නෙ වාචික පැන තුනක් අසා
දකුණට හැරෙන සලකුණ දුනි කියන ලෙසා
දෙවනුව වමට හරවන සලකුණ නොලසා  
අපෙන් එකෙකි මේ එක්සැමිනර් මිනිසා    

ඉන්පසු පාර දිගටම මහ ජරමරය
තනියම අරන් යන්නට දන්නේ නැතිය
තව පොඩ්ඩෙන් බැරල් බානා තඩි ලොරිය
මගෙ “හුරු අතින්” ගෑවෙනු වලකනු බැරිය

ටෙස්ට් එක කරන්නට ආ කොල්ලන් අතරේ
හිටියා එකෙක් ඌ මගෙ හොඳ හිත මිතුරේ
උගෙ අයියගේ රිය  පදවනවා නිතරේ
ඊයෙත් ගිහින් නඩයක් ගෙන දුරු කතරේ

මිනිහා උන්නෙ පිරෙනා තුරු දහ අටය
ඔය ලර්නර් මැජික් ඌ හට අනවැසිය
ගත්තේ වාහනේ කෙලි බඩුවක් ලෙසය
මිනිහා ඔහේ යනවා නැහැ ජරමරය

ටිකක් දුර ගිහින් මතු වී පුරුදු ගති
අතක් ගියර් එක උඩ ඌ තබා ගති
තවත් ටිකක් ගිය පසු රිය නතර වෙති
මෙතෙක් කරපු අයගේ ප්‍රතිපල කියති

අපට ලැබුනි පිටසන් පත සමග කොලේ
හොඳට දන්න කොල්ලට නැහැ එහෙම කලේ
“මෙහෙට එන්න” කියලා ඔහු ගියපු කලේ
“ඔහෙට ලැබෙන් නෑ ලයිසොන් එක” ගුගුලේ

“අනේ සර්  මොකක් දෝ මා කල වරද?”
“එක’තින් වීල් එක අල්ලන එක හරිද?”
අසමත් උනා ඌ හින්දා පොඩි වරද
මම ගොඩ ගියා ලොකු ලොකු දේ සිදු වුව ද

ඔහොමයි උනේ ලයිසන් ගත් කතාව  
ඌ කල වරද ලර්නර් නොම ගෙනාව
ආපහු ගෙනත් එක දවසට එයාව
ඌ ගොඩ ගියා අල්ලා ගෙන කලාව