Thursday, March 30, 2017
ගංඟාවේ ගීතය - එච්.එම් කුඩලිගම
කදු බෑවුමක දං බෝවිටි පදුරු තළා
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
Wednesday, March 29, 2017
කොළඹ ට්‍රැපික්
කෝට්ටේ ඉඳන්
පිටකොටුවට යාම
ගතවෙන වැඩක්
වේ පැය ගණනක් බෝම
දවසින් භාගයක්
ඉඳ බස් රථයේම
වෙලාවකට වැඩකට
යන්නේ කෝම
පිබිදෙන නමුත්
කුකුළා අත්රුවා ගෙන
වැඩකට යනෙන
විට සැඩ හිරු මුදුන් වෙන
පාර තමයි
වත්මන මළ පනින තැන
කවි ලියවෙනවා
වාහන තදබදය ගැන
මුළුදුර ගමන
එපමණ දුරකුත් නෑනේ
පොඩිදුර ගියත්
ආයෙත් නවතිනවානේ
දූවිලි වැලි
බොරළු හා ගල් කැට ගානේ
ඉබි ගමනින් තමයි දැන් බස් රථ යන්නේ
ප්‍රශ්නෙට කොපමණක් විසඳුම් දුන්නාට
කොතරම් ගුවන් පාලම් තව හැදුවාට
වාහන වලට බදු වැඩිකර ගැසුවාට
මේ තදබදය පවතියි දිවි පුරාවට
Monday, March 27, 2017
සින්නක්කර හදවත
ඇගේ කෙහෙරැලි අතර දිවයන ඇඟිලි අතරෙහි ඇස් ඔබා
නෙත් අඟින් හෙලනා බැලුම් දැක දියව යයි ගල් හිත් පවා
මොහොතකට කාලයද නැවතුණි මගේ හද ගින්නෙන් දවා
ලියා දෙන්නට සිතුණි හදවත ඔබට සින්නක්කර තබා
Wednesday, March 22, 2017
නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල්
කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......
මා මුහුනෙහි
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....
මසකු හඬනගා දැඟලූයෙන්
ගං ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....
ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....
නිශ්ශබ්ද්තාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.
ජී.බී. සේනානායක
Monday, March 20, 2017
මතකයාය
සමනළ මාවතේ ඇවිද ගියෙමු අපි
නිමක් නොවෙන කතා කලෙමු අපිමතකය පමණක් ඉතිරිව ඇති
ඒ සමනල් විය පසු කර ඇති අපි
ඈත හිම කදු අතර හිරවී
අපේ ආදර බස් දොඩාවීහිම පියල්ලක වැතිර පාවී
ඔබේ මුව මත පිණි ඉසේවී
ඔබේ සුසුමක රැදී සිරවී
මල් පියල්ලක පාවී ඇවිත්කොයි තරම් මට ආදරේ
කළා දෝ ඔබ රහසින් කියාවී
මග බලා හිඳිමු අපි යළිත්
ඒ සොඳුරු සමනළ් වියඑනතුරා දහසක් පැතුම් මල්
පුබුදවා සිත් මල් යාය පුරා
Saturday, February 4, 2017
නිදහස් උදානය - සුගුණපාල සමරසේකර
මගෙ සිරි ලංකා භූමි තලේ
අද ජයමංගල කෝළ හලේ
පහ කළ පරගැති රාජ බලේ
නමෝ නමෝ මාතා බැබලේ
සිරිලක් අඹරෙහි නැඟ නැඟ දිව්
නිදහස් කාහළ මංගල රැව්
පිදුරුතලාගල සමණොළ පව්
මිහිදුම පැහැ ගෙන සිඹිනු බලව්
විදෙසික පීඩන ගිම් උනවා
නිදහස් මඳනල රැළි දෙනවා
ලක්මව රන්කොඩි ලෙළ වනවා
මෙන් සිරිමා බෝ දලු ලනවා
යුධ වැද රැකුමට හෙළ භූමි
එය සිඹගෙන මළ ලෙස දෑමී
කැප්පෙටිපොළ හිස රණ කාමී
නිදහස දැක වනි මවු භූමී
පෙබරවරිය සිවුවැනි දවසේ
මගෙ මළ මවු ඉපදුණු දවසේ
නව හිරු නව සඳ නුබ දිලිසේ
හෙළ දද රඟ ගති උඩ අහසේ
පෙණකැටි මුතුපට ඉහළට නංගා
රළ පෙළ තරඟෙට වෙරළට නැංගා
පළකොට නිදහස සතුටු තරංගා
හෙමිහිට බැසයෙති ගිං කළු ගංඟා
හැම ළය පතුළක ජාතික ජීවේ
නළියවමින් සිහිලළ නල ආවේ
පන්සල, පල්ලිය, ඝණ්ඨා රාවේ
නිං නඟමින් උඩුගුවනෙහි ගෑවේ
නිදහස පිළිබඳ දිමුතු ජයන්තිය
සළකන ඔබ අද හරි පින් වන්තිය
කිය කිය දිවගෙන සිඳුරළ පන්තිය
සිඹගති සිරිලක් ආදර වන්තිය
සුගුණපාල සමරසේකර
Friday, February 3, 2017
ගුණසේකර වත්ත
සුවිසල් මාර ගස හන්දිය මැද්දේය
පොඩි සුළඟටත් එය නිතරම පැද්දේය
එහෙ මෙහෙ යනෙන මාවත් ගම් බැද්දේය
ගුණසේකර වත්ත ලෙස නම් ලද්දේෙය
මුළු වත්තටම තිබුණෙ කඩවල් තුනකි
සැලුන් එක සමඟ සිල්ලර කඩ දෙකකි
බැලු බැලු හැම තැනම ලී පැල්පත් පෙළකි
වත්තේ ඒ කොනයි මේ කොන පොඩි දුරකි
ඇන්ටනා ලයිට් කණු හැමතැන තිබුණි
වයර් හැම තැනම කෙස් රොද වන් යකිනි
දහවල උදෑසන රැයවල් ගත කෙරුණි
මේ පොඩි වත්ත සුර පුරයක් ලෙස දිලුණි
බිත්ති තනා තිබුණේ වල් ලෑලි වලින්
වහලය නිමවුණේ ටකරං යකඩ මලින්
සුළඟට ගසා නොයනට බර ටයර තුළින්
වැස්සට වතුර බේරී එයි වහලෙ හිලින්
අමුතු අමුතු රස්සා කළ මිනිසුන් වෙති ගම පුරාම
සොර සතුරන් හිඟන්නන්ද කැම්පස් යන සුමිතුරාම
මැරයන් සහ ගණිකාවන් දිගටම වැඩ නෑ විරාම
එහිම ඉපිද එහිම මැරේ නම ඉතිරිව යයි දිරාම
සවසට සියල්ලන් එක්වෙති පාර තොටේ
කොල්ල්න කුරුට්ටන් සෙල්ලම් කරති වටේ
පොඩි පොඩි රණ්ඩු ඇති වූවද වටේ පිටේ
ගුණසේකර වත්ත දැන් පරසිදුය රටේ
මත්පැන් අවන්හල් කිසිවක් නැත වත්තේ
එනමුත් හෙරෝයින් කුඩු ගංජද ඇත්තේ
පොලිස් මැති ඇමතිසවසට ගම පැත්තේ
එනිසා කිසිවෙකුත් කා හට බිය නැත්තේ
රෑ බෝ වන විටදී ගම අඳුරෙන් ගිලුණේ
සුන්දර ගම ගැහැණු එළිමහනට වැදුණේ
කිමිදෙන්නට ගියොත් හෙම බිහිසුණු පොකුණේ
මටවත් නොතේරී මම මා හට විකිණේ
සැන්දෑ හිරුගේ ගිනියම් රත් පැහැය දිගේ
කපුටගේ නදින් මිහිරක් එක් කරන අගේ
සිහිලස ලැබෙයි වැටුණත් කුණු ගලන ගඟේ
මතකෙන් නොයයි වත්තම එයි සිතට මගේ
Thursday, February 2, 2017
උතුරෙන් - සාගර පළන්සූරිය
දකුණේ මෙන්ම උතුරෙත් හිරු නඟියි උදේ
රන්තරු රිදී තරු සවසට පෙළට ඇදේ
හඳ ඇති දාට රසබර රැස් දහර හඳේ
පොල් ගස් මුදුනෙ මෙන් තල් ගස් මුදුනෙ වැදේ
ගෙන එයි මිහිර ගී මදනල හමන විට
වැටහෙයි නොවැටහුණු සැඟවුණු කරුණු මට
නිල් පැහැයක් නැතත් මේ වැලි පොළව පිට
උදයට පෙනේ බොල් පිනිබිඳු පබළු ඇට
තනි බව දැනේ එහි කවුතුක රසය ඇත
මා පිට ගෙයක බව සලකනු පුරුදු නැත
හැම මොහොතක ම ඇති උණුසුම් ගතිය මත
උගතිමි කිම ද මිනිසා සතු දෙනෙත තෙත
දහදිය හෙළන අය හිරිහැර අතර වැටී
දකුණේ මෙන්ම උතුරෙත් හැම තැනම සිටී
විමසා බලමි ඔවුනගෙ හදවතෙහි හැටී
කළුගල් යකඩ නොව උණු වී හැළෙන ඉටී
බැඳ ඇති විළංගුව පා මිණිසළඹ කොට
සලකා වැටෙන එය බැන්දහු ඉදිරි පිට
මිනිසුන් දකුණෙ මෙන් උතුරෙත් පෙනෙන විට
සිහියෙන් තුරන් වෙයි හෙට යන දවස මට
මිනිසා වෙතින් මිනිසා වෙන් කරන රිසින්
බැඳ ඇති පවුරු පදනම් කිසි කෙනෙකු විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු පසින්
පාළම බැඳෙනු ඇත දවසක උතුරු දෙසින්
පැයකදි එකට හමු වන දුර ඇත දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙ ද කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන
බේදය පිළිස්සී හමු වේවා දකුණ !
සාගර පළන්සූරිය
Tuesday, January 31, 2017
ටාසන් මළා - විමලරත්න කුමාරගම
සිව් වසරකට පෙර විත් මගෙ ඇසුර බලා
මේ වනතුරුම මගෙ තනිකම බැහැර කළා
අද අළුයම ම උණුසුම් වෙන විටදි වළා
පිංචිත් මාත් මරමින් ටාසන්ද මළා
හඟුරන්කෙතේ පෙරහැර පැවතුණු දාක
මා උඹ ගෙනාවේ මහ කළුවර රෑක
මා පමණක් ම දුටු ඉඩකඩ ඇති ගේක
උඹ මා සෙවූ සැටි මට වැටහෙන දේක
රෑ සුළඟිල්ල උරමින් නිදි වැදුණු ඇඳේ
මගෙ කට, නහය ලෙවකෑවෙහි නැගිට උදේ
උඹ ගැන මතක නො නැවත හදවතට ඇදේ
මගෙ හිස ඇසද පපුවද එක විලස රිදේ
පිටිසර ලියන් දිය සැනහෙන තැනට පැන
දිව ආවෙහිය තනපට හෝ හවරි ගෙන
උන් උඹ අඹා ආවිට හුරතලට බැන
උඹ දත්තහෙිය මා නැවතී සිටිය තැන
දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු හැටි
ගස් දිග යන්ට ඉගිලෙන්නට හැදුව හැටි
පූසි සමඟ උඹ සෙල්ලම් කරපු හැටි
මා උඹ මෙන්ම මියයෙන තුරු මතක හිටී
දරු සයදෙනෙකුගේ පියෙකුව මළද උඹ
මම ‘‘නිදරුවී“ වැඩුවෙමි උඹ නිතර සිඹ
මීයන් අඹා දොළ බජ ගල් තුළට පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර ගොබ
සන් දෙන වෙණක් සේ සිහිපස හඳ පානේ
දුන් නෙහි උඹත් මට හුදු සෙනෙහස දානේ
දැන් මට දැනෙන්නේ හැබැහින් හෝ සීනේ
රන් කිරියා මල් සුවඳයි උඹෙ මූනේ
මියගිය පසුව උඹ ඉවකර යුතුව සෙනේ
පිංචි කිමද මා ළඟටම තුරුළු වුණේ
ඇය හට දැනුදු තනිවූ බව හොඳට දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ
මහ කළුවරක් බිහිවිය හැක උදා සනින්
මළ බෙර හඬක් සැනසුමකට යොදා ගනින්
ටාසන් මළා මගෙ පාළඟ නිදා ගනින්
මා මෙන් උඹත් පිංචි හිත හදා ගනින්
දේදුන්න - 1951- විමලරත්න කුමාරගම
Friday, January 27, 2017
තවුසාට වූ හදිය - පී.බී.අල්විස් පෙරේරා

දැහැනින් නැගුණු තවුසා දැක කුටිය ළඟ
මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව දිග
සාමිනි අපට යා යුතු තව බොහොම මඟ
දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි ලැග
අතහැර මිනිස් වාසය නිදහස පැතුව
මම මෙහි සිටින්නෙමි සිත සොම්නස යුතුව
මට ඉඳ පුරුද්දක් නැහැ කරදර ඇතුව
දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ නැතුව
ගොළුවන් වගේ කරබා මුල්ලකට වෙලා
ඉන්නට හැකිය සුසුමක්වත් වැඩිය නොලා
අපි මොන තරම් සංවර වෙන්නෙමුද බලා
ඉඩ දෙනු මැනවි කී විට ඒ නඩෙහි මුලා
තවුසා කුටිය එක මුල්ලක ඉඩ දුන්නේ
පිම්බා ලෙසින් මීයට නිහඩව උන්නේ
පැයකට පමණ පසු කවුරුත් කොදුරන්නේ
ඇතමුන් තව්සගේ ඵලවැල ටික කන්නේ
බණ බාවනාවට කරදර ඇතිඳු ඉතා
තවුසා සිටියි මුල්ලක එරමිණිය ගොතා
මගියෝ ලැබුණු නිදහස තව දුරට පතා
තුන් මුල්ල්ක්ම අත් කරගෙන කරති කතා
මගියෝ සිටිති දැන් කුටියෙහි සියළු තැන
කතිකා කරති වියහියදම් ගමන් ගැන
මුව සම පවා තව්සා සතු පැහැර ගෙන
ඔහු රෑ තැවෙන හැට් කුටියෙන් පිටට පැන
තවුසගෙ තව්ස් පිරිකර ටිකවත් නැත්තේ
කෙණ්ඩිය පත්කඩය මිදුලේ එළි පත්තේ
අදුරේ මහා කලබල ගතියක් ඇත්තේ
ඒ මදිවාට කවුදෝ ගුටි කෙළ ගත්තේ
මැසි මදුරුවන්ගේ විස දළ තුඩු පාවා
තවුසා සීතලේ රෑ සට සට ගෑවා
මගියෝ ගියහ තවුසා කුටියට ආවා
තිබුණා මිනී තුන හතරක් එහි බාවා
පී.බී. අල්විස් පෙරේරා
Subscribe to:
Posts (Atom)








