Tuesday, January 24, 2017

ගම්පති වලව්ව


බිත්තිය පුරාවට බැඳිලා ඇති            සෙවලයි
පොතුද ගැළවිලා ඇත එහි වී               අපලයි
අං තට්ටුව පුරා රජයන මකුළු               දැලයි
හිත තුළ ඇති කරන මූසල බව           සසලයි

මැද මහ හිලක් ඇති කළ වේවැල්       පුටුවේ
ඉස්සර මතක පෙළ ඒ අතරිනි             දුටුවේ
කනප්පුවට බර දුන් පත්තර                පිටුවේ
එළියක් හෙම නොවේ මේ කිසිවක්     දුටුවේ

මුළු ගේ විවර කළ දොර පළු දෙක        අතර
තවමත් තෙත බරිත වී බේරෙයි            වතුර
රට උළු හිඩැසකින් එළියක් නොම      කවර
ආවත් එළිය සඟවාලයි අතු                  පතර

මිදුල පුරා විසිරුණු කොළරොඩු        අස්සේ
පිලිකන්නේ වළං අතුරපු ලී             මැස්සේ
අව්වක් පෑයුවත් පැය ගාණක්           තිස්සේ
වියැලෙන්නට කලින් වැස්සා මහ    වැස්සේ

මහ ජන ගඟක් විය කලකට පෙර        දවස
ඕනෙම පැනයකට පිළිතුරු දුන්          පවස
අද දින නොමැතිමුත් මිනිසුන්ගේ       පහස
වෙනකක් නොවේ ආරච්චිගේ මහ     නිවස

වැට කැඩුවොතින් හරකා අල්ලපු         ගෙදර
හොරකම් කළොත් අනුනගේ බඩුවක්    කවර
ලිඳ ලඟ මඟ තොටේ ඇතිවන            අඩදබර
මොහොතින් විසඳුවා පැන, කිසිවෙකු නොමර

ඇඟිලි තුඩුවලින් කරකන උඩු            රැවුල
බර කල්පනාවකදී රැළිගත්                නළල
උපැස් යුවල ඉහළින් තිබු ඇස්            යුගල
මේ හැම එක්කළා තේජස් බව           ධවල

කලකට කලින් මුළු ගම කඳුලින්        පුරවා
ගම්පති ගියා මේ හැම අසරණ           කරවා
මිනිසුන් සතුන් හැමටම ආදරෙ      කෙරුවා
බෝසත් වෙන්න කියමින් පෙරුමන්  පිරුවා

ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කවි හිත එළියට එනවා... හිරවෙල ඉඳලා කවි හිතටත් ඇතිවෙලා. හැබැයි තවමත් කාලයත් එක්ක සටනක...

Wednesday, November 23, 2016

හිස් අහස



එලා මුදු තණ  පලස
වැතිර ඒ මත නිසල
යොමා නෙත අහස
බලමි කොහිද ඔබ


ඈත සොදුරු ඉසව්වක
ඇවිද යන රාත්‍රියක
නිසල වන පියසක
අප දෙදෙන තනියම


කියනු බැරි කතාවක
ඇරඹුමක් නොතියාම
නිමාවක් දකින්න ද
අපේ හද පතුල සිඹ


ගීයකින් හිත දවන
නිමේශය නිසසලව
රෝස පෙති අතර
වැතිර හිදී සෝබරව

Friday, October 14, 2016

හැල්මේ දුවන



පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට  පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන

AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..


සෙත්සිරිපායේ සිට ලියමි.

Tuesday, May 31, 2016

බිම වට මලක පෙති මත .....







මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්


.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු  මල් මතක් වුනා ....

Sunday, July 26, 2015

රුචිය

කියනවා සමහරු
අඹයක්ලු ආද‍රේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....

ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....

හිතෙන්නැද්ද
නිකමටවත්..

ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...

ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......

Saturday, March 28, 2015

කඳුලක දැවටුන නොමියන සෙනෙහස!




පෙනෙන දුරක හිටියත් ලඟින් ඉන්න වරම් නැති
සුවඳ දැනෙනා ලඟක සිට සිඹින්නට වරම් නැති
පහසක ලඟ සිටියත් දැවටෙන්න වරම් නැති
වදනක් දොඩනට බැරිව  වැට මායිම් දමා ඇති

සඳ ඇවිත් ලඟටම නිල් අහස තව දුර නැතී
සිප ගන්න නොයිඳුලෙන් ඔය මුහුණ මට බැරී
ලබා ගන්න නම් ඉතින් ඔය දෑත දැන් බැරී
දරන්නේ සියලු දුක් කල සසර  පින්  මදී

මැවු සිහින ආදරෙන් ලඟ ඉන්න දැවටි ලා 
බොඳවෙලා ගිහින් මා මෙහි තනිකර දා
ගිය මග තොටේ මල් කැකුළු පරවෙ ලා
පිපෙන්නේ කවදා ද කියන් මට ලං වෙ ලා

හදේ රැඳුන සෙනෙහස කොතරම්  දැයි කියනු බැරී
දුර සසර පුරා ආවත් මෙ ලෙස අප දෙදෙනා බැඳී
රහසේ බැඳි ආදරේ  ගිලිහිලා නෙත් අගට කඳුළු  දී
කඳුළු ගඟක් ගලා ඇවිත් සරයි  මහ සාගරේ  රැළී


Saturday, March 21, 2015

දියණියක වෙතින්




මේ තරම් දුක් කඳක් ඉහිළුව නෙතක් අද ඇත වියලිලා
හැම දරුවෙක් තුලම නිදන් කල ආදරය ඇත ගිලිහිලා
නිදයි නුබ සුවෙන් දෙන තුල කුමරියක සේ  වැතිරිලා
අම්මේ නුබෙ පා පියුම් නමදිමි මම උනු කඳුළු සලා

දරු සිව් දෙනෙකුට මව වුණි සසර බැමි ලෙස පෙර බවේ
තවත් දරු කැලකටම මව් වුණි සෙනෙහසම දී මේ බවේ
කියන්නට නම් එමට දේ ඇත නෙතේ කඳුලක් වී තිබේ
ඔබ නිදන දෙස බලා සුසුම්ලමි යලිත් හමුවෙන තුරු බවේ

වියෝවුන පසුව හිමියන් සියලු දරු බර හිසින් දරා
දුකක් නොමදී සැදූ දරුවන් රැක බලා ගති ඔබ සදා
දෙ ඇස් පාදා යහමග කියාදී සියලු දෙන රැක ගෙන සදා
කල මෙහෙය ලියනට මදි මෙලෙස ම'සිත් අහස පුරා

දෝත ගෙන ඔබේ දෑතට ආදරෙන් මා හා දෙඩූ
නිතර දුක සැප සොයා බලමින් මවක ලෙස මා හැදූ
සොයුරියක ලෙස එක්ව ආ මග අපට සෙනෙහස බෙදූ
සොයුරියගෙ මව උනි අද නුඹ මා ගෙ මව නම් නොම වූ

සිනාවෙන් පිරි ඔබේ මුව අග මන්දහාසය පුරවලා
අනූවිය පිරි කෙසඟ සිරුරත අනිත්‍ය මට පෙන්වලා
සැමගේම ආදරය හැරදා ඔබ ගිහින් අ  තනිවෙලා
නිවන් පතමි අම්මේ සෙනෙහෙන් නුඹට  ලංවෙලා 

Sunday, March 15, 2015

සොඳුරිය නික්ම ගිහින්




පාට පාට සළු ඈ ගත සැරසූ
සමනළ් තටු වල තවරා ගිහින්
ඈ ගත සුවඳින් මා හද සැනසූ
අතු අග මල් මත තබා ගිහින්

සියුමැළි දෙතොලේ පහස මට දුන්
මල් පෙතිමත ඈ තබා ගිහින්
මුදු මුදු සුළගේ ලෙල දුන් කෙහෙරැල්
නුග අතු මත ඈ තබා ගිහින්

දිදුලන මුවමත රැන්දු සිසිලෙන්
ගඟ දියම ඈ පුරවා ගිහින්
මා හද මියැසිය මන්මත් කරවූ
වෙණ තත් මත ඈ තබා ගිහින්

නෙක හද තරු මල් ගැන කියමින්
ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා ගිහින්
මා නෙත් සදහට පිරවූ කඳුලින්
වැහි බිඳු එකිනෙක ඈ පුරවා ගිහින්

මතක පොතේ පිටු පෙරළන වාරේ
පරිසරයම ඈ පුරා ගැටෙයි
කඳුලක හිරවුන සෙනෙහස පුරවා
නො එන ලෙසට ඈ නික්ම ගිහින්.



Friday, March 13, 2015

ඈත බංගලි දේශයේ සිට 
ලියු කවියක්         පෙම්වතී 
රෑට මෙහි එන ගමන් අරගෙන
 ඇවිත් තිබුණා සඳවතී 

උදේ මුරයට වැඩට ආ ඉර 
එක්ක එනකම් පෙම්වතා 
අහසටම උස ක්‍රේන් එක  උඩ 
තවම ඉන්නව සඳලතා 

.....

Friday, July 25, 2014

කැම්පස් ජීවිතේ..

උදේ වේල නැත අප කන්නේ             බඩට
දහවල උදෑසන දෙක කන්නේ            එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත්    කමට
මේ දුක කියන්නේ කොහොමද       අම්මාට