Thursday, October 18, 2012

උදය - කුමාරතුංග මුනිදාස


ඇසෙන්නේ කා කා  හඩ සෑම පැත්තෙන්
නැගෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං '' ආයුබෝවන්" කියා මෙන්


පියා හඹත් කූඩු වලින් කුරැල්ලෝ
ඉතා ම මීරි යි හඩ දැන් ඔවුන් ගේ.
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී ලා


සෙමෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිපී-ගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමටයි දැන් සැරසී සිටින්නේ


දිසාවෙනැ යි මේ හිරැ එන්නේ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදී-ලා
ම්‍ගුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ


'' උතුම් වෙලාවැ" යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වීම තමන් ගෙ කම්හී
ඇතත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත්-පොත් මට මේ වෙලාව යි

කුමාරතුංග මුනිදාස
ශික්ෂා මාර්ගය
දෙවන පොත









කුමාරතුංග මුනිදාස (1887 - 1944)

රැහුණේ පතල වෙදැදුරාණ කෙනකුන් වූ දොන් අබියෙස් කුමාරණතුංගයන්ට දාව, පලවින්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25දා දික්වැල්ලේ ඉඳිගස්ආරේ දී මුනිදාස කුමාරතුංගයෝ උපත ලැබූහ. දික්වැල්ලේ බුදුනු විදුහලත් මාතර සාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍රදානය සැපයීය. මඳ කලක් වැවුරුකන්නල පිරිවෙනින් සකු බසද හදාළ කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ තමන්මය.පසුව කොළඹ රජයේ අභ්‍යාස විදුහලෙන් ගුරු පුහුණුව ලැබු ඔහු බෝහිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹුහ. ඉන්පසු කඩුගන්නාව ද්විභාෂා පාසලේ අධිපති ධූරයෙහි 11 වසරක් කටයුතු කර 1917දී පාසල් පරීක්ෂක ධුරයට උසස් වීම් ලබාගත්තේය. ඒ වසරේ පලවුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය විය. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමු දුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝ වනතුරු සිය මුළු දිවියම කැප කළේ ජාතික මෙහෙවරටයි.
ජාතියක පදනම එදැය වහරන බස බව සලකා, සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තුබුණු හෙළබස නිරවුල් කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේ පදනම හා හරය විය. 'නිකාය සංග්‍රහයෙහි' පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතුත්, 'ක්‍රියා විවරණය' හා ව්‍යාකරණ විවරණය' ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතිත්, කියවන නුවණ හා ශික්ෂා මාර්ගය පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය.මේ සියලු ව්‍යායාමයන්හි අග්‍ර ඵලය ලෙස 1941දී 'හෙළ හවුල' නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි විය.
කුමාරතුංගයන් විසින් රචිත හත්පණ, මඟුල් කෑම හා හීනසැරය සිංහල හා ළමා යොවුන් ප්‍රබන්ධ කලාවේ පදනම ලෙස හැඳින්විය හැක. හාවාගේ වග, නැළවිල්ල, සිරිමත්, උදය බඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත.‍
කාව්‍යකෘති වශයෙන් විශේෂ කොට පළකරවූයේ 'පිය සමර' සහ 'කුමර ගී' පමණක් වුව වර්තමාන සිංහල කවි මඟ සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංග බව විචාරක මතයයි. ගී සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණි.

Tuesday, October 16, 2012

හිමිවිය සම්මානේ අයගම මෙනෙවියට......


මේ බව කියන්නේ සන්තෝසෙකින්          මම
ඔබ හට නැඟෙනු ඇත පැනයක් කරුණු     කිම

කලකට කලින් රජයෙන් දුන්              සම්මාන
කවුරුත් කියන්නේ රාජ්‍ය                   සම්මාන

අකුරුද ඇමිණුවා අප බ්ලොගයෙහිම           සිට
හිමිවිය සම්මානේ අයගම              මෙනෙවියට

කතා ගොඩක් ලීවා ඈ                        ළමයින්ට
වැඩිහිටි අයට වුව බොහොදේ ඇත           ගන්ට

තව තව ලියන්නට සතුටින් පතමු                 අපි
සුවඳ හමනු ඇත තව තව කැකුළු                  පිපී


            ඇය නමින් තනුජා එන් අයගමයි. මෙය විශේෂයෙන්ම කිව යුත්තේ ඇය කවිමුතුමල්වලද කවි පද ගොතන ලේඛිකාවක් වන නිසාවෙනි. 2011 වසරේ රාජ්‍ය සම්මාන දිනූ කෘති අතරට ඇයගේ කෘතියක්ද එක් වීම කවිමුතුමල්වල අපට ගෞරවයක් මෙන්ම සතුටක්ද ගෙනදෙන්නක් බව කිව යුතුයි. හොඳම ළමා සාහිත්‍ය කෘතියට හිමි සම්මානය දිනා ගැනීමේ වරම් ඇය විසින් රචිත අහස්ගමට ගිය පුංචි සිත්තරා කෘතියට හිමි වීම මහත් භාග්‍යයක් ලෙස සිතේ. ඉදිරියටත් මෙවැනිම වටිනා කෘති නිර්මාණකරණය කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා යැයි කවිමුතුමල් වල අපි ඉතසිතින් ප‍්‍රාර්ථනා කරන්නෙමු.

Wednesday, October 10, 2012

හයිකු කවි - සකුරා පියලි හැලි


සකුරා පියලි හැලි
පාවෙයි කෙත් ජලය මත
සඳ එළියේ තරු ගොන්න

වැසි දිනෙක නවාතැන් ගතිමි
කියෝ තෝ වලට දුරින්
‘පීච්’ මල් පිරුණු මගේ ගෙදර

වසන්ත කල්හි මහ සයුර
දවස පුරා නැගි නැගී බැස යයි
ඔව්, ඒකාකාරීය එහි ස්වභාවය

ඉටි පන්දම අතෙහි දරා
බලන්න ඔහු ගෙවත්ත පුරා සක්මන් කරන විලාසය
දුක්වෙමින් වසන්තය පලා යන හැටි බලා

ගංථාරය මත
යමක් නිසලව වැතිර හිඳී
බලන්න සමනළයෙක්

කුමක්ද සියොළඟ විනිවිද යන සීතල
මගේ මියගිය බිරිඳගේ පනාව
මගේ විලූඹ යට සයනාගාරයේ

මෙම දිවිය කෙතරම් කෙටිද ?
ඇන්ද පා සළකණු සේය සුදු වැලි මත
‘යුයි’ ග වෙරළේ

‘‘අද රාත‍්‍රියෙහි නවාතැන් දෙන්න’’
ඔහු කෑගසයි අසිපත පහත හෙළමින්
බලන්න හිම කුණාටුව
තනිගුචි බූසොන් (1716-1783)

බෂෝගෙන් පසු ජපානයේ ජීවත් වූ දෙවන මහා හයිකු කවියා මොහුය. ඔහු ‘නග්න’ සිතුවම් සම්ප‍්‍රදාය ආලෝකමත් කළ දක්ෂ චිත‍්‍ර ශිල්පියාද වෙයි. ස්වභාව ධර්මය දෙස සංවේදීව බැලූ ඔහුගේ කවිවල ගැඹුරු අධ්‍යාත්මික සුවඳක් හැමුවේය.


Tuesday, October 9, 2012

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන්

කලක් ගොහින් මෙහි යළි ගොඩ වදින්නේ 
වෙනස් දෙයක් කරනට සිතා මං
සොයන්නටයි කවි මුතු මල් තලාවේ
කලක් සිතේ රැඳි කවියක කතාවක්

කුඩා කලේ අප පොත පත කියූ දේ 
සිතේ ලියවිලා සිතුවම් රටා මෙන්
ලියා මෙහි ඇතේ එබඳුම කවක් මා
සොයා ගනු රිසිමි පසුබිම් කතාවන්  

කිනම් පොත් පෙළක කවුද මේ ලීවේ
බසත් විරිත හා යුගයත් වටින්නේ 
නැතේ ද ඇසි දිසි ලෙස මෙය නඟා ලා? 
සියල්ල දැන ගන්නට රිසින් මා

සොයා සෙවුම්හල් වල සැරි සැරීමි
ලබා දුන්නෙ එක සෙවුමක්‌ පමණි ඉන්
එයත් පෙර දාක කවි මුතු මලේ හි
මෙමා දමා ලූ සටහන් පතක් වේ

පොඩිත්තියත් මෙය මා ගෙන් අසා ලා
උදෑසනේ හැමදා එය ගයන්නී
ලබා දෙතොත් තොරතුරු පහත කව් හී
බොහෝ ලෙසින් තුති පුදනෙමි ඔබට මා 

-------------

ඇසෙන්නේ කා කා හඬ සෑම පැත්තෙන් 

නැගෙව් කියන්නා වැනි දැන් මැ නින්දෙන් 
දොරින් අඩක් ඇරියා මැ මේ එන්නේ 
සිසිල් සුළං ආයුබෝවන් කියා මෙන් 

පියා හඹත් කූඩු වලින් කුරුල්ලෝ
ඉතා මැ මීරියි හඬ දැන් ඔවුන්ගේ 
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ 
අලුත් පණක් ගස් වලටත් ලැබීලා

Saturday, September 15, 2012

පොත් මේලා අසිරි

බිනර මහ සැණකෙළි
පොත පත යලිත් වෙයි හෙළි
පොත් මේලා අසිරි
වනම්, මේ කව් ලියා යලි යලි

සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා

විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්

පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එති මේ සියල්ලන්

තම තම නැණ පමණ
රිසි පොත් ගනිති බොහො දන 
රස වින්දන කරන
කතා කියවන අටියෙන

එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම

අමිල පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ
පතමි පොත් මේලාව ජයවේ!

(මකරන්දයේ පළ වූ කවි පෙළක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අගයනු වස් යම් සංශෝධනයන් සහිතව කවි මුතු මල් හි යලි පළ  කළෙමි.)

Saturday, August 25, 2012

වෙසක් සිවුපද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි       හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                     ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්          කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා        කොට
අම්මලා මොනවා කීවත් මොලවලා             මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය             වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්       නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ          නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්       කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -

       1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.

Sunday, August 19, 2012

ඇය - 2

මෙය කියවන්නට පෙර මීට යටින් ඇති ඇය නැමති කවිය කියවා සිටින්නේනම් අගනේ යයි සිතමි.

මගෙ එළිසමය රැකගන්නට බැරිව            ගියා
මුළු හදමඬල මොහොතෙන් දියවෙලා      ගියා
හිරි වැටි ගතම සසලව වෙව්ලුවා              කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා

සඳ නැති රෑක ගගනේ කළු පැහැය            බදා
ඇගේ කළු මුහුණ දුටුවම මගේ දෑස           රුදා
ටයර් තුනක් වන් වු මස් කැදලි                   රඳා
උණු ඊයම් පතුරු මගෙ හදවතට                කිඳා

වැඳිරිය පරාදයි ඈ හා තරඟ                       වැදී‍
ඇය වැලහින්නියකි බැණ වදිනා              විටදී
ඈ හරි කපටි වෙයි හිවලා නිති                  පරදී
ඇගෙ කැත කියන්නට මට උපමාද             මදී

හදවත ගැස්සුනා දුටුවම හොර                   දෑස
වතමත වලගොඩැලි සඳ මෙන් රෑ            අහස
ඇය ඉන්නා තැනට වැදුණා වස්               දෝස
හැමටම සෙතකි ඇය නොමැතිව ගෙවු     මාස

ඇය යන විටදී තණකොළ ගස් වුවද        මැරේ
විහඟුන් ගොළු වුණා මින්දද මැරෙන       තුරේ
ඇ‍‍ඟේ කටහඬට වේලුණු කොළ බිමට     පිරේ
කෙහෙරැලි වැදී සුළඟද යයි නොමැරි       හිරේ

දුටුවම හිමිදිරියෙ මට දවසම                චොරය
දවසේ කිසිදු වැඩ කරගන්නට                බැරිය
මට මතකෙට නැ‍ඟෙයි හෝඩියේ ඇත් පොරය
ඇය එළවා දමන්නට මට කල්                 හරිය

ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා         හට
ඔය බව කීවේ භීතියකිනි විටින්                  විට
මට සිත් වීය එය කවියෙන්               ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක         පිට

Monday, August 13, 2012

ඇය


මගෙ එළිසමය රැකගන්නට බැරිව           ගියා
මුළු හදමඬල මොහොතෙන් ගල්වෙලා    ගියා
හිරිවැටි ගතම සසලව වෙවුලුවා               කියා
අද දින උදෑසන නැවතත් දුටුවා                 එයා

සසරේ සුපුරුදුම සෙවණැල්ලකින්           සැදී
මා තව එතනමුත් නෙත් දෙක ගියා           ඇදී
අංකුර පෙමක රැල්ලක් හදවතේ               වැදී
ඇය රුව වනනු රිසි වුව උපමාද                 මදී

ඇගෙ නිල් වරලසට යට විය මොනර      නිල
සුසිනිඳු දෙකම්මුල් නිසසල හංස              විල
ගිනියම් හිරුගෙ රත්පැහැ ගත් ඇගේ    තොල
මැණීට පින හිමිය මෙලොවට ජාත          කළ

නිශ්චල ගැඹුරු දිය කතරක් වැනි             දෑස
සුළඟද කිති කැවෙයි ඇයගෙන් ලැබ    පහස
ඇගේ සුවඳටයි මම මුළු ලෝකෙන්        ආස
ඇය නැති දාට සඳ මඬලත් නෑ              අහස

ඇය යන විටදි වනමල් ඈ දෙසට          හැරේ
විහඟුන් කිචිබිචිය නවතින             අතරතුරේ
ඈ ගිය විටදි හිරු බැස මෙනි           අවරගිරේ
එවිටයි සිහිවුණේ තවමත් යතුර          දොරේ

දුටුවම හිමිදිරියෙ මට දවසම                 සරිය‍
පුරවන්නට වීය හිත තුළ පෙම්              කවිය
ඇය හා කතා කරනට රිසි වුව               බැරිය
ඒ කිම මෙමා තුළ නැත තවමත්            ජවය

ළඟකදි මුණ ගැසුණු මිතුරෙකු මෙමා       හට
ඔය බව කීවේ උමතුවකිනි විටින්             විට
මට සිත් වීය එය කවියෙන්            ලියන්නට
පෑනක් රැගෙන කටු ගෑවෙමි පොතක       පිට

Wednesday, August 1, 2012

මිරිවැඩිය



පැළඳිදාම  කකුල් දෙකේ
දියපට්ටා මතුවී
බෙහෙත් පැලැස්තර දමන්න
දවස පුරා සිදුවී


සති අන්තෙදි ඔප දමන්න
අමතක වූවේ නැහැ
රාක්කෙ උඩ නුඹ තියන්න
හැමදාමත් මට බැහැ

බර වැඩි යයි නුඹ සිතුවද
නැතිනම් තරහින්ද
වැහි දිනයෙදි පය ලිස්සුවෙ
මගේම වරදින්ද

හන්දියෙ කොලු රංචුව කඩෙ
දාන් අදින සතොසින්
ඒ පැත්තට නෙත රැඳුනේ
මගෙ හිරිමල් හිත ගිහින්

ඉරිසියාවෙ මා අසීරු
කරමින් උඩ පැනලා
කැඩී ගියා මා පාදෙන්
නුඹ එහෙ මෙහෙ වීලා

හැට්ට කටුව අමුණාගෙන
මුව රතුවී තරහින්
ගෙදර එද්දි කකුල කැපී
කටුව ගැලවිලා ගිහින්

දින සති මාසය ගෙවිලා
ඉරණම කැරකීලා
අනතුරින්ම දෙපා අහිමි
වූ විට කලකිරිලා

දූවිලි රැඳි රාක්කෙ මත.
ඉඳගෙන හිනහීලා
නුඹ ඔච්චම් කරනවාද
මට වූ දේ හිතලා

Wednesday, July 25, 2012

මරණය

සොයා ගියෙමි
වැරදිකරු මරණයට
හැමදාම
හැමතැනම
මැරෙන නිසා
ආයුධ, වස, තොණ්ඩුව
සියල් වැරදිකර බව
පසක් විය මට
නමුත් වැරදිය එයත්
සත්‍යය
"මරණය" ලෙස
තිබීමයි වචනයක්
වැරදුණි එයත්
"ඉපදීම" යනු තවත්
වදනක් නිසා
ඉවත් කිරීම වචනය
විය එකම
පිළියම...