Tuesday, January 17, 2012

මිය ගිය සෙනෙහස!



මගේ නෙතු පිය අතර කිමිදී

සොයයි ඔහු ආදරය

වසර ගණනනකට පෙරදී

අහිමි වූ ඒ ආදරය

යලිත් සිත් මල පුබුදු වා ලූ



සිත දෙතැනක නැවතී

ඔහු හා ඔබ අතර වෙලී

හඳුනා ගත නොහැකිව

දෙගිඩියාවෙන් පෙළයි

මා සිත උමතුව මත්වී



දියණිය මාගේ සිහිවී

කඳුළු අතර සිත හිරවී

මිදෙන්නට බල කරාවී

යළිත් එමි සිහියට පියවී

ඔහු සුරතින් මිදී

ආවෙමි හදකට වේදනා දී

Wednesday, January 4, 2012

හෝල්ට් එක





                                                         ගොඩ දවසකින් කවියක් දාන්න පුළුවන් වුණා. හැමෝටම මුලින්ම සුභම සුභ අවුරුද්දක් කියලා පතනවා....     ටික කාලයක් කවි ලියැවෙන එක කරන්න බැරිවුණත් කොහොමින් කොහොමින් හරි ඉස්සරහට කවි ලියන්න පුළුවන් වෙයි කියල හිතනවා..  කවිමුතුමල්වල කවි ලියන හැමෝගෙම කවි අදහස් අළුත් වෙන්න කියල පතනවා.ඒ අළුත් වෙන කවි , කවිමුතුමල්වල පල කරන්න කියලත් ඉල්ලා හිටිනවා.....

Monday, December 5, 2011

ආසයි මට තාමත්!


සුදු වැලි මිදුලේ කොලපත මත හිඳ

තක්කිත තරිකිත රවුම් ගසන්නට

පොල් පිති ගොන් වස්සා උඩ නැගලා

අයියට කියලා කාර් පදින්නට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්



පාට සරුංගල් ඈත යවන්නට

කුරුම්බැට්ටි මැෂිමේ හැඩ දමලා

ඔළිඳ මදටියා බොත්තම් අල්ලාලා

පාට ගවුම් පොඩි ඇඳුම් මසන්නට

ආසයි මට තාමත්

මල්ලියෙ ආසයි මට තාමත්



සීතල පින්නේ මුතු පාවඩ මත

චක්ගුඩු චක්ගුඩු චක්ගුඩු කියලා

ලන්ද එහා කෙළවරට දුවන්නට

බෝවිටියා දං දෙතොල් තෙමන්නට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්



දොළ පාරේ ගල් තලාව මත හිඳ

දණ්ඩි පැටව් උඩ පනිනු බලන්නට

පුංචි දෙපා පොඩි සිසිල් කරන්නට

රබර් පියලි පොඩි බඹර තනන්නට

ආසයි මට තාමත්

මල්ලියෙ ආසයි මට තාමත්



කෝම්පිට්ටු බත් ඉදිලා හරිම රසයි

බිත්තර හොදි හදලා හනි හනිකට

නෙළුම් කොලේකට බෙදලා දෙන්නට

එක්කන් යන්නට පුංචිම කාලෙට

ආසයි මට තාමත්

නංගියෙ ආසයි මට තාමත්