Friday, October 21, 2011

රුව දැකීම - ජී.බී.සේනානායක

රන් හැට්ටය ඇද
රන් පටියෙහි
දිග කඩුව බැද
අසු පිට නැඟුණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසුකොට ගියේ ය.
පස් වසක් ගමන් කළ ඔහු
විවාහ කොටගත් කුමරිය
ගෙන ඒමට
තව පස් වසක් ගත විය.
"එවැනි රුවක් නොදිටිමු" යි
ඈ ගෙනා දින
පුර වැස්සෝ කීහ.
එදින සවස් කල
පුර දොර අසලදී
රජ ගෙදර
දොරටු පල්ලාගේ දුව
භද්‍රා
කුමරුට හමු විය.
"තී කවුරුදැ" යි
ඔහු විස්මයෙන් ඇසී ය.
"තිගේ වැනි රුවක් 
මම කිසි කලක නොදිටිමි."


ජී.බී.සේනානායක
(පලිගැනීම,1946)



     නිර්මාණාත්මක සාහිත්‍යයට මෙන් ම විචාර සාහිත්‍යයට ද අදාළ කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍ය ක්‍ෂෙත්‍රයට දායාද කළ ගුණතිලක බණ්ඩාර සේනානායක හෙවත් ජී.බී. සේනානායක උපත ලැබුවේ 1913 ජූලි මස 14 වැනිදා කොළඹදී ය.
                    කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු කුඩා කල සිට ම ඉංගි‍්‍රසි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියැවීමට රුචියක් දැක්වීය.
             හේමපාල මුනිදාස මහතාගේ ආරාධනයෙන් ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙහි ද, මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුමෙන් ‘දිනමිණ’ පත්‍රයෙහිද පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ජී.බී. සේනානායකයන් කෙටිකතා නිර්මාණකරුවකු වශයෙන් කරළියට පැමිණෙන්නේ දිනමිණ පත්‍රයේ හා ‘නව මඟ’ සඟරාවේ කෙටිකතා පළවීමෙනි.
      ඔහුගේ පළමු ග්‍රන්ථය වන්නේ 1945 දී ලියා පළ කළ ‘දුප්පතුන් නැති ලෝකය’ නම් කෙටිකතා සංග්‍රහයයි. අනතුරුව 1946 දී ‘පළිගැනීම’ කෘතිය පළ වූ අතර නිසඳැස් කාව්‍යයේ ආරම්භය සනිටුහන් වූයේ මෙමඟින් බව විචාරකයෝ පවසති.
        1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ‘සාහිත්‍යසූරි’ සම්මාන උපාධිය ජී.බී. සේනානායකයන් වෙත පිරිනැමුණු අතර ඔහු ලියූ කෘති තුනකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වී තිබේ.
        බුද්ධ පූර්ව භාරතීය සමාජය පසුබිම් කොට ගනිමින් 1964 දී ‘මේධා’ 1965 දී ‘චාරුමුඛ’ හා 1967 දී ‘වරදත්ත’ නම් ඓතිහාසික නවකතා ත්‍රිත්වයක් දසේනානායකයෝ රචනා කළහ. මීට අමතර ව ‘එකට එක’, ‘මම එදා සහ හෙට’, ‘සෙවණැලි’, ‘මණිකේතු’, ‘අවරගිර’, ‘රළ බිඳුම’, ‘ලොකු කුමාරිහාමි’, ‘මල පුඬුව‘, ‘කැකෑරිල්ල’, ‘ජල බැල්ම’, ‘බැඳුම’, ‘රුව‘, ‘මදුපාණී’, ‘උරගල’ හා ‘කෙලෙස් සයුර’ ඔහු විසින් රචිත නවකතා අතර වේ. ‘කලහය’, ‘දුප්පතුන් නැති ලෝකය’, ‘මිතුරිය’, ‘ගමන’, ‘පළිගැනීම’ හා ‘ඈත බැලුම’ සේනානායකයන් ලියූ කෙටිකතා සංග්‍රහ අතර වේ.
        ජීවිතයේ අවසාන භාගයේදී අන්ධභාවයට පත් වූ සේනානායකයෝ අන්ධ වී සිටියදී පවා නිර්මාණකරණයේ නිරත වූහ. ඔහු අන්ධ භාවයට පත්වූ අනතුරුව ලියූ කෘති අතරින් ‘විනිවිඳිමි අඳුර’ කෘතිය ප්‍රධාන වේ.
       නවකතා කලාව, විචාර ප්‍රවේශය, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව හා සාහිත්‍ය දර්ශන සිතිවිලි ඔහු ලියූ විචාර ග්‍රන්ථ අතරින් කිහිපයක් වන අතර 1985 මාර්තු 16 වැනිදා අලුයම මේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යවේදියා ජීවිතයෙන් සමුගත්තේ ය. 

Sunday, October 16, 2011

ටයි මාමා

[නිකමට ලියු පදවැල් අතර පලකල මගේ ම කවියක් මා විසින් ම මෙහි ද පල කෙරුණි]

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

Saturday, October 15, 2011

රිදෙනව දැන්නම් - ‍හොඳටම මගෙ හිත



සෙල්ලමකට නුඹ
ගත්තද මගෙ හිත
නැත්තම් නුඹ දැන්
වයසද හොඳටම,,


ගන්නට බැරිනම්
නිවැරදි එල්ලය
කුඹුරක් කොටපන්
දුනු හී විසිකර,,


එල්ලය වැරදී
නුඹ එවු හී සර
ඇනිලා මගෙ හද
කඩ‍‍තොළු වී ඇත,,


වරදන වරදන 
හැම පාරම නුඹ
ගලවල හී සර
එක දෙක හෙමිහිට,,


"රිදෙනව දැන්නම්
හොඳටම මගෙ හිත"



Thursday, October 6, 2011

අපේ කාලයේ හිඟන්නෙක්......

 


කළු කැත මුහුණ නාවර බේරී              තිබුණු
දිය පොද පහස නැත ඒ වත මුණ        ගැසුණු
කබ සොටු සේම රැවුලද තැන තැන     පිරුණු
ඔහු දුටු විගස මූසල දවසක්               ගෙවුණු

හොරි බලු නාම්බෙකු පටියෙන්     දවටගෙන
තුරුලට රැගෙන ඌ හොහැටි        සනසවන
ඒ බල්ලාට පමණක් කරුණා                 පාන
වෙන බල්ලෙකුට නොම දෙනු පාරේ   ගමන

පදික  වේදිකාවට උණුසුම                    දන්දී
දහවල් වනතුරුම ඔහුනම් එතන              නිදී
කන්කලු හඬක් දෙන මැස්සට සවන         දිදී
කකුලේ තුවාලය කසමින් සුසුම්              අදී

කන්නට යමක් නැතිමුත් අහුලා           බුදින
හිට ලැබෙයි හො කෑමක් සිත       පිනන
සෙනසුරු වදින්නෙත් බත් පතකට      හිඟන
යයි පවසමින් තම බල්ලට කෑම           දෙන

කිසිදා යදිනු නැත මිනිසට වැ           වැටිලා
හැකිනම් දෙන්න කීයක් හරි දුක         හිතිලා
රුපියල පහ දකින තැන ඔහු බැන       වැදිලා
මේකෙන් ඉන්න හැකිවෙද තේකක්      බීලා

කර මත ගමන් මල්ලක් ඇත කළු          පාට
සුසිනිඳු කොට්ටයකි එය සමහර             රෑට
එහි නැති දෙයක් නැත මේ ලෝකය     අවට
එයනම් ලැබී ඇත්තේ ඔහුගේ              පිනට

තද ඝන අව්ව හා නා කපනා                වැස්ස
ඔහු හට ලබා දේ රසබර සුව                පහස
මේ සුවිසල් ලොවම වේ ඔහුගේ          නිවස
එතුළට වැදී ඔහු ගෙව්වා තම                 දවස

                     [ සිතුවම 2011 පෙබරවාරි 13 වැනි දින සිළුමිණ පුවත් පතෙන්...]

Wednesday, September 14, 2011

දරු නැළවිල්ල - ඇස් මහින්ද හිමි.


දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල

මුනි සිරිපා සිඹිමින් නේ

සමනොළ ගිරි පෙදෙසින් නේ

මඳ සුළඟයි මේ එන් නේ

මගේ පුතා නිදියෙන් නේ


නිදහස මහ මුහුදක් වේ

එහි උල්පත පුත නුඹ වේ

ඒ බව සිහිකොට මෙලො වේ

යුතුකම් ඉටු කළ යුතු වේ


විජය තුමා තම්මැන් නේ

පිරිවර සෙන් සමඟින් නේ

සිටි හැටි දැන් සිහි වෙන් නේ

මගේ පුතා නැළවෙන් නේ


දෙන දිවි මුත් රට වෙනුවෙ න්

ජාතික දරුවන් ලැබුවෙ න්

මිදී නොයන් සතුරු මුවෙ න්

ලක්මව් විසුවාය සුවෙ න්


තව්සෙකු සේ ඇඳ පැල ඳා

පඬුවස් දෙව් මහ නිරි ඳා

මා කඳුරින් ගොඩබට දා

මඟුලක් වී රට මුළු දා


දෙව්පුර මෙන් දෙවියන් නේ

සිරි ලක්දිව් බබළන් නේ

එහි සක් දෙව් රජු මෙන් නේ

මගේ පුතා ලොකුවෙන් නේ


ලස්සන මෙන් මහ පොළො වේ

අනුරාපුර ඉඳි කෙරු වේ

දොරමඬලේ කුමරිඳු වේ

උඹට පුතේ සුව එළ වේ


ජාතික රණ දෙරණ ම තේ

ගැටී වැටී මළ මොහො තේ

සුන්දර සුරඹුන්ගෙ අ තේ

නැළවෙන බව සිතනු පු තේ


සිරි මහ බෝ සිඹිමින් නේ

මහමෙව්නා පෙදෙසින් නේ

සුළං දැලක් මේ එන් නේ

මුටසිව රජු සිහි වෙන් නේ


ලක් වැසියන් කෙරෙහි නැ මී

අරහත් මහ මිහිඳු හි මී

පෙවුවෙ උතුම් සඳහම් මී

පුත! නුඹටත් පොවෙමි එ මී


ඇස් මහින්ද හිමි.


ජාතික නිදහස උදාකර ගැනීම සඳහා කවිය අවියක් කරගත් ඇස්.මහින්ද හිමියෝ දේශාභිමානය හා ජාත්‍යානුරාගය ලමාවියේ සිටම අප සිත් වල රෝපනය කොට පෝෂණය කිරීම සඳහා ස්වකීය පද්‍ය රචනා උපයෝගී කර ගත්හ. මේ පද්‍ය නිර්මාණයෙහි අභිප්‍රාය වන්නේ ද හෙළ දරුකැළ තුළ සිය දෙස රැස හා සමය පිළිබඳ වාත්සල්‍ය ජනනය කරවීමයි. කවි හිමියෝ ඒ සඳහා දේශාභිමානය සංකල්පය පදනම් කර ගනිති.

සෑම වැඩිහිටියෙකු තුළම ළමයෙකු සැඟවී සිටින බැවින් මෙම නිර්මාණය හුදෙක් ළමයින්ටම පමනක් සීමා නොවී සෑම රසිකයෙකුටම සමීපවී දේශවාත්සල්‍යය ප්‍රබෝධනය කරයි.

පුතුගේ තොටිල්ල සිඹගෙන මදනල හමයි. ඒ මදපවන එන්නේ සමනොළ ගිරි පෙදෙසිනි. මුනි සිරිපා සිඹිමින් එන ඒ මදපවන පූජනීය වේ. තොටිල්ලේ සැතපෙන බිළිඳුට බුදුසරණින් සුවසේ සැතපිය හැකිය.

නිදහස මහ මුහුදකි. පුත නුඹ ඒ මුහුද සඳහා උල්පතය. පුතෙකුගේ වගකීම පිළිබඳව සිහිකොට ඒ ඉටුකිරීම පිළිබඳ යුතුකම තොටිල්ලේදීම එය පුතුට අවධාරනය කරයි.

කවියා විජය කුමරු ගේ ලක්දිවට පැමිණීම පිළිබඳව රසික මනසේ සිතුව්ම් කරයි.

අතීතයේ සිට වරින් වර ලක් මව ගිල ගැනීමට සතුරෝ පැමිණියහ. එහෙත් ඇය සතුරු මුවෙන් මිදී සුවෙන් විසුවේ ඇය රට වෙනුවෙන් ජීවිතය වුවද පරිත්‍යාග කරන දරුවන් ලැබූ නිසාය. ජාතික දරුවන් ජාතික විරුවන් වන්නේ ඒ ජාතික මෙහෙවරෙනි.

ලක්දිව රාජ වංශය තහවුරු වන්නේ පඬුවස් දෙව් රජුගේ පැමිණීමෙනි. ඔහුගේ පැමිණීම මුළු රටට ම මඟුලක් වූයේ එහෙයිනි. කවියා දෙව්පුර මෙන් බබළන සිරිලක් දිවෙහි සක්දෙව් රජ මෙන් පුතා ලොකුවන්නට පැතීමෙන් ළමා සිතෙහි ගොඩ නඟන පෞර්ෂය ඉතා ප්‍රබල ය. මහ පොළවේ සුන්දරත්වය ල්‍රෙස අනුරාධපුරය ඉඳිකෙරුවේ දොරමඬලාව කුමරිඳු නම් වූ පණ්ඩුකාභය කුමරුය. එම චරිතය ළමා මනස අභියෝගශීලී භාවයෙන්ද නිර්මාණශීලී ගුණයෙන්ද සන්නද්ධ කරවන පූර්වාදර්ශයකි.

යුද වැදී ජාතික රණ දෙරණ මත ගැටී වැටී මිය යන විරුවෝ සොඳුරු සුරඟනන් අතේ නැළවෙන බව පුතුට පෙන්වන්නේ යුද්ධයෙන් මිය යන විරුවෝ ස්වර්ගයෙහි උපදින බව හින්දු සංකල්පයෙහි ඇතිබවද දක්වමිනි.

ශ්‍රී පාදය මෙන්ම ශ්‍රී මහා බෝධිය ද බෞද්ධයන්ගේ සදා පූජනීය සිද්ධස්ථානයන් ය. එහෙයින් මහ මෙව්නා පෙදෙසින් සිරිමා බෝ සිඹිමින් සුළං දැලක් එන මොහොතේ මුටසිව රජු සිහි කරයි. මෙරට උද්‍යාන සංකල්පයේ පියා එතුමාය. සිය ජීවන පරිසරය සුන්දර කරගැනීම සඳහා සංවේදීවූ ඔහුගේ දර්ශණයේ ප්‍රබල බව කවියා ද්වනිත කරන්නේ පිරිසිදු නළ මුදු සුවඳක මහිමය සිහිගන්වමිනි. බුදුන්වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරවමින් අරඹන මේ නිර්මාණය සමාප්ත කෙරෙන්නේ මහින්දාගමනය සිහිපත් කරවමිනි.

ලක්වැසියන් කෙරෙහි උපන් දයනුකම්පාවෙන් යුතු අරහත් මහ මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කර පෙවූ උතුම් සඳහම් මියුරු රසය පුතනුවනි නුඹටත් පොවමි යන යෙදුම මිහිඳු හිමි අනුදත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරපුරෙන් පරපුරට ප්‍රදානය කළ යුතුය යන කවි සිතෙහි වූ ප්‍රර්ථනාව මැනැවින් කුළුගැන්වීමකි.

එහෙහින් ළමා වියෙහි සිටම ජාතික අභිමානය හා දේශවාත්සල්‍ය ජනිත කරවන මෙම නිර්මණය ශෘති රම්‍ය සුගායනීය විරිතකින්ද සුභාවිත බසකින්ද සුපෝශිත වත්සල රසය උපදවන නිර්මාණයක් ලෙස අගය කල හැකිය.

^ මෙම විස්තරය ලබා ගත්තේ ජූනි මස 19 වන ඉරිදා සිළුමිණෙහි පලවූ මහාචdර්ය දර්ශන රත්නායක මැතිඳුන් විසින් පළකරන ලද තිලකය නම්වූ පද්ය සංග්‍රහයෙනි. ඔහුටත් " එස්. මහින්ද හිමියන්ටත් හදපිරි ප්‍රණාමය. &

Monday, September 12, 2011

ගුරුලේත්තුව

දින දින පිරුණි නව ජලයෙන් හොඳ    හැටිම
ඒ ලෙස සිත් සතන් පුරවා අපි            අපෙම
තිබහට වතුර දුන්නා ඔබ අප              වෙතම
මේ වසරෙදිත් අප ලඟ ඉනු එය           පැතුම

සීතල ජල පොදක් ඔබ අප හට              දන්දී
එනමුත් ලැබු දෙයක් නැත ඔබ අප      වෙතදී
කළගුණ සලකනුව නිතරම ඉමු            පින්දී
ඔබ නැති තැනදි මේසය තනිවම            පරදී

හරි තේජසින් අවුරුදු මේසය                මතදී
කිරිබත් මුංකැවුම් අතරේ ඔබ                ඉද්දී
රජෙකුව මැදට ගත් සේනාවක              සිද්ධි
මතකෙට නැඟුණි ඔබ දුන් ජල මා      බොද්දී

තව එක් දිනක් ඔබ ඔය තේජස            පෑවා
නාබර නැගණියන් වැඩි වයසට            ආවා
ඔබ තවමත් එහෙම වෙනසක් නෑ         පෑවා
ඔබ නැති තැනදි මෙනි හඳ තුළ නැති    හාවා

හරි දුක සෝකයෙන් තැවෙමින් තිබු  ගෙදර
ලොකු දුකකින්ය සුදු රෙදි මේසය        අතර
මරණෙට ආ අයට ඔබ දුන්නා              වතුර
සැලකුව කෙනෙකු නැත සීයට ඔබ       විතර

කාලය කෙමෙන් ගතවූවා නෑ          දැනුනේ
බෝ කලකින් පසුව මා ගෙදරට       වැදුනේ
ඔබ තවමත් එහෙම ලොකු මේසය   මතනේ
ඔටුනක් වැනි පියන ඔබ හිස මත      රැඳුනේ

මඟුලක සිරිය විසිරුණි මේ ගෙබිම        තුළ
මා දැන් බවට පත්වී ඇත                මනමාල
මඟුල් මේසේ මත ඔබ ඉනු දුටුව           කල
ලොකු ප්‍රශ්ණයකි ඔබ නොවැටුණි රස  ආල

කාලය තව ටිකක් දුරස්ව ගිය              කලට
තව තව අමුත්තන් එක්වුණි           පවුලකට
උවමනාව වැඩි වුණි ඔබගේ              වැඩට
තිබහ නිවන එක ඔබ හට ඇති           සතුට

එක් දිනයකදී ඔබගේ වැඩ           කරන'තුර
මේසය මතින් පතිතව සැම තැන        විසිර
රතු රුධිරයක් මෙන් සැම තැන ජල   පැතිර
ඔබ ගැන සිතමි දුක්බරිතව ඇඳ         වැතිර

සසරේ පණිවිඩය කියු බව මට          දැනුණි
අනියත බවද ඉන් හොඳහැටි හෙලි කෙරුණි
නව ජල බඳුනකට මේසයේ ඉඩ       ලැබුණි
ඔබ දුන් රස තරම් රස නැති බව       දැනුණි

Monday, September 5, 2011

මේ කවි ටික ළමයින්ටයි



ඉර අම්මගේ දරු නව දෙන
එක අහසට වැඩි හින්දා
හොඳ සවි ඇති දුනුවායා
උන් නව දෙන බිම දැම්මා                                                     
.                              .සතුටු වෙච්ච රැජින අතින්
                                  අමරස ඔසු පැන් ලැබුන හෙයින්
                            සදහට ජිවත් වෙන්නෙමි
                                       දුනුවායා සිටිය තුටින් ..
..දුනුවායා නැති වාරේ
සොරා ගන්න ඒ ඔසු පැන්
කපටි හොරෙකි
එහි ආවේ ...
                                        .....හොඳ කීකරු බිරින්දෑය.
                                         කළහැකි දේ නොදත්තාය
                                                 ඔසු පානය එක හුස්මට
                                              බීගෙන බීගෙන ගියාය
..බෙහෙත් බලය හරි බලගතු
පියඹා උඩ  අහසට නැග.
සඳ මත ඇය නැවතුනාය
එන්නට යලි බැරි වුනාය ..
                                   ...හොඳ සාවෙකි හඳේ ඉන්න
                                              උදව් කරන්නට ආවා..
                                          රූමත් මේ ලඳ ගාවා
                                               බෙහෙත් කොටනවලු හාවා..
  ..හරි ලොකුවට වටකුරුවට
 සරත් සමේ සඳ එනකොට ..
මනරම් පහනකින් කියයි
ඇයට එන්න තතු මගතොට ..
                                               ...පුංචි ළමෝ එක් වෙනා ...
                                                  සඳ එළියේ නැහැ වෙනා
                                           සිඟිති ලොවේ සිරි දැක දැක
                                                සඳ දෙව්දුව හිනැහෙනා ..

Picture .මෙතැනින්



''සඳ උළෙලේ '' කතන්දරේ කවියෙන්  ලියන්න කියල අසංක මල්ලිගේ ඉල්ලීමට ලිව්ව කවි ටික .

Friday, September 2, 2011

කුංග් ෆු පැන්ඩා කව....



3D ලෙස              නිමැවුණු
'කුංග් ෆු පැන්ඩා' නම      දිනු
සටන් කලා ගැන කියැවෙන
බයිස්කෙප්ප           පිටවුණු

නම 'පෝ' නම්    පැන්ඩෙකි
තාත්තා              තාරාවෙකි
නගරයේම ප්‍රසිද්ධ      වුණු
කෑම කඩේ අප            දකී

සටන් කලාවට හිත      ගිය
පාලනයක් නෑ ඇඟ      සිය
එකම කලිසමයි    ඇත්තේ
නොරැ‍ඳේ සිය ගත       එය

ජීවිතේට නෑ              කලින්
පිබිදෙන්නේ  මොහු උදෙන්
ඒ වුණාට සටන්           කලා 
තම හිස මුදුනේ         තියන්

කොටියයි, වඳුරයි ,         නයයි
තණකොළපෙත්තයි, කොකයි
තමයි 'පෝ' ගේ වීරයෝ   ටික
පිස්සු හැදෙන වැඩ        ටිකයි

සටන් කලා               පාසලේ
ඉගැනුම ලැබ පොඩි     කලේ
ඉන්න එකම හතුරා       තමයි
රුදු කළු කොටියෙකි බොලේ

ඔහු සිර කොට       සිටින්නේ
රයිනෝ හිර          ගෙදරනේ
කෙදිනක හෝ ඔහු එන   බව
ඉවෙන් වගේ    දැනෙන්නේ

ඔහු එන බව        සැලවෙලා
ඩ්‍රැගන් වොරිය      තෝරලා
මකර කටේ රඳවා        ඇති
පත්‍රිකාව දෙනු          බොලා

ඩ්‍රැගන් වොරිය    උත්සවයට
පඩි දහසක් ඇත      නගින්ට
පැන්ඩා නගින විදිහ  දැකලා
හිනා නොවි බැහැ   සිටින්ට

අමාරුවෙනි           නගින්නේ
පාසල් දොර       වැසෙන්නේ
උත්සවයේ             ආරම්භය
මේ මොහොතේ වෙයි අනේ

අහස්කූරු පුටු            මතින්
උඩගිය විට ඔහු         ගතින්
වැටුණේ අර සටන     මැදට
කට්ටිය ඇත බිය       සිතින්

පැන්ඩට සිහි නැති       වුණා
සටන් පාසලේ             පිනා
පැන්ඩා ලඟට ඇවිල්ලා දැන්
ඩ්‍රැගන් වොරිය නම    දෙනා

හරිම වැඩකි වුණි       බොලේ
තරහෙන් අන් අය        සැලේ
තඩි ඇඟ මෙන් නෑ මොළයක්
කියමින් කල් ගත        කළේ

මොහු නොම වෙයි සූරයෙක්
කෑමට නම්            මාරයෙක්
මාස්ටර් 'ෂිපු'ත්             කිව්වා
ඔහු කම්මැලි         කාරයෙක්

මාස්ටර් හට       තේරු‍ණේය
'පෝ' ට කෑම  නෙදෙන්නේය
අමාරුවෙන් කෑමට    ගොස්
නොදැන කුංෆු   උගන්නේය

මකර කටේ තිබු       කොළේ
නොවැටී ගත්තත්         විලේ
එය ඇතුලේ කිසිත් නොමැත
හිස් කොළයකි හිත    සැලේ

කොටියයි, වඳුරයි,       නයෝ
ඇතුළු සටන්          කාරයෝ
කළු කොටියව    පරද්දන්න
දැන් උන් සටනට      ගියෝ

ඌ දැනගත් වැඩ        වැඩියි
 නිල බලලා පහර         දෙයි
අපේ සටන් කාරයෝ   ටික
ගුටි කාලා බිම         වැටෙයි

කළු කොටියා          පාසලේ
පැන්ඩත් නෑ         අත්හලේ
කළු කොටියට නැගිටගන්න
බැරි විදියට ගුටි       කෙළේ

පැන්ඩා නියම         වීරයාය
පාසලෙ දැන්           සූරයාය
කුංෆු පැන්ඩා ලෙස නම දිනු
බයිස්කෙප්ප නිම    වුණේය.

Monday, August 29, 2011

හේරත් හාමි - විමලරත්න කුමාරගම

අලියා වැටුණු වැව සිටි හේරත් හා                        මි
මා වැනියකු වුවද මම වැදගත් වී                           මි
මිනී කපන මුත් ඒ හේරත් හා                               මි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන් දෑ                      මි

ඉස්පිරිතාලයේ අලියා වැටුණු වැ                        වේ
මළ මූ ඇදීමෙන් ඔහුගේ දවස ගෙ                      වේ
මාසික පඩිය ලැබ පෙන්නූ නමුදු සු                     වේ
ඔහු දුටු සෑම විට මා දුක් මුසුව තැ                       වේ

ඇඟපත දැඩිය හැඩ ඇත හීන්දෑ                          රිය
වයසක් නොමැත නාඹර ඉලන්දා                       රිය
කිසිවෙක් තවම නැත පැවසුමට බා                    රිය
මට පුදුමයකි ඔහු මේ කරන කා                         රිය

මා වැනියෙකුට තද සංවේගයම දි                         දී
හැමදා උදේ ඔහු මගෙ වැසිකිළිය අ                     දී
හදිසියෙ යමකු මළහොත් දොස්තර ද ව                දී
අප ඉදිරියේ ඔහු මළකුණ කපන ල                       දී

ගොවි-කම්කරු රදල-උඩරට කිසිම කු               ලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය ක     ළේ
දැනගන්නට කිසිදු වරදක් නොමැත මො           ළේ
කිසි අනතුරක් නොකරයි කිසිවකුට කැ             ලේ

අවනත සිනා රැලි වත නිතරම පතු                      රයි
හැම වදනක් ම අවිහිංසකව පතු                         රයි
හැමදා වගේ සවසට බොන ගිනි වතු                  රයි
ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතු                  රයි

පිහියා පහර ලැබ ඔහුගේ නැගණි අ                  නේ
මළ හැටි සිහිව මගෙ නෙත තෙත ගතිය දැ        නේ
නෑඬුව නමුත් ඔහු නැගණිය මැරුණු දි               නේ
උණ ගත් දාට වැලපෙයි නෙත කඳුළු පෙ           නේ

නැගණීය මළ විටදි දොස්තර සමඟ ගො           සින්
ඇගෙ කය කපන ලදි හේරත් හාමි වි                සින්
බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බ             සින්
ඔහු හට වැඩක් නැත ලොව ඇති රිහිරි ම          සින්

නූපන් නිසා දනවත් මහරු පා                           යක
පන්සල වෙතට යයි හැම විටම පෝ                 යක
අලුතෙන් හැදුව වෙහෙරට ඔහු ද දා                  යක
ඊටත් වඩා සලකයි අයියනා                             යක

                                    ----------------------------------------------------------------------------


 1919 ජනවාරි 18 දින පාතදුම්බර පාලිස්පත්තුව බස්නාහිර කොරළේ නාරම්පනවේ දි ජන්මය ලැබු විමලරත්න බණ්ඩා කුමාරගම ගේ පියාණෝ විමලරත්න කුමාරගම 1928 ජනවාරි 18 වන දින පාතදුම්බර පාලිස්පත්තු බටහිර කෝරලයේ නාරම්පනාව ග්‍රාමයේ උපත ලැබිය.පුංචි බන්ඩා කුමාරගම හා බණ්ඩාර මැණිකේ කුමාරගම ඔහුගේ දෙමාපියන් විය. ඔහු හත දෙනෙක් ගෙන් යුක්ත පවුලක දෙවනියා විය.
                            ඔහු මහනුවර මාකොලදෙනිය වේරපිටිය පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු කාලීනව තෙල්දෙණිය ද්වි භාෂා විද්‍යාලයේ හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. ඔහු අවසාන වශයෙන් නුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර මැට්‍රිකුලේෂන් විභාගය විශිෂ්ඨ සමර්ථ සහිතව සමත් වූ අතර ,පාසැල කාලයේද සිංහල කවිය පිළිබද උනන්දුවක් දැක්වූ අතර කවි රචනයේද නියැළුණි.

  පොත්
  • නිල්සීනය (1941)
  • ඔරුව (1942)
  • සංවේග වේදනා (1946)
  • සපුමලී (1946)
  • සුරතල්ලු (1961)

කවි
  • හේරත් හාමිනේ
  • අයියනායක
  • දඩයම
  • වන්නියෙ මල්
  • ගමේ වැව
  • කිරා
  • ආරච්චි රාළ
  • සිරගෙය
  • යන්තම් බේරුනා
  • හරක් හොරා
  • බුදුරුව
  • සුන්දර හාමි
  • ආගන්තුක සත්කාරය
  • අවුරුදු නිවාඩුව
  • මුතුගේ ප්‍රශ්න
  • වන්නියෙ දොස්තර

                                         උපුටාගැනීම :  විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

Saturday, August 27, 2011

මගෙ පොඩි මල්ලී



මට ගහලා සිනා සෙන්නේ
අක්කා ලඟට දුවන් යන්නේ
බේරීමට හාදු දෙන්නේ
මගෙ පොඩි මල්ලී

අප්පච්චිට කොමල පපා
අම්මා ගාව තුරුළු වෙලා
දන්නැති භාෂා කියවන
මගෙ පොඩි මල්ලී

සමනලුන්ට පාට දුන්න
පිච්ච මලට සුවද දුන්න
අපේ ගෙයට එළිය දුන්න
මගෙ පොඩි මල්ලී