දින දින පිරුණි නව ජලයෙන් හොඳ හැටිම
ඒ ලෙස සිත් සතන් පුරවා අපි අපෙම
තිබහට වතුර දුන්නා ඔබ අප වෙතම
මේ වසරෙදිත් අප ලඟ ඉනු එය පැතුම
සීතල ජල පොදක් ඔබ අප හට දන්දී
එනමුත් ලැබු දෙයක් නැත ඔබ අප වෙතදී
කළගුණ සලකනුව නිතරම ඉමු පින්දී
ඔබ නැති තැනදි මේසය තනිවම පරදී
හරි තේජසින් අවුරුදු මේසය මතදී
කිරිබත් මුංකැවුම් අතරේ ඔබ ඉද්දී
රජෙකුව මැදට ගත් සේනාවක සිද්ධි
මතකෙට නැඟුණි ඔබ දුන් ජල මා බොද්දී
තව එක් දිනක් ඔබ ඔය තේජස පෑවා
නාබර නැගණියන් වැඩි වයසට ආවා
ඔබ තවමත් එහෙම වෙනසක් නෑ පෑවා
ඔබ නැති තැනදි මෙනි හඳ තුළ නැති හාවා
හරි දුක සෝකයෙන් තැවෙමින් තිබු ගෙදර
ලොකු දුකකින්ය සුදු රෙදි මේසය අතර
මරණෙට ආ අයට ඔබ දුන්නා වතුර
සැලකුව කෙනෙකු නැත සීයට ඔබ විතර
කාලය කෙමෙන් ගතවූවා නෑ දැනුනේ
බෝ කලකින් පසුව මා ගෙදරට වැදුනේ
ඔබ තවමත් එහෙම ලොකු මේසය මතනේ
ඔටුනක් වැනි පියන ඔබ හිස මත රැඳුනේ
මඟුලක සිරිය විසිරුණි මේ ගෙබිම තුළ
මා දැන් බවට පත්වී ඇත මනමාල
මඟුල් මේසේ මත ඔබ ඉනු දුටුව කල
ලොකු ප්‍රශ්ණයකි ඔබ නොවැටුණි රස ආල
කාලය තව ටිකක් දුරස්ව ගිය කලට
තව තව අමුත්තන් එක්වුණි පවුලකට
උවමනාව වැඩි වුණි ඔබගේ වැඩට
තිබහ නිවන එක ඔබ හට ඇති සතුට
එක් දිනයකදී ඔබගේ වැඩ කරන'තුර
මේසය මතින් පතිතව සැම තැන විසිර
රතු රුධිරයක් මෙන් සැම තැන ජල පැතිර
ඔබ ගැන සිතමි දුක්බරිතව ඇඳ වැතිර
සසරේ පණිවිඩය කියු බව මට දැනුණි
අනියත බවද ඉන් හොඳහැටි හෙලි කෙරුණි
නව ජල බඳුනකට මේසයේ ඉඩ ලැබුණි
ඔබ දුන් රස තරම් රස නැති බව දැනුණි