Thursday, July 15, 2021

අතීත මතක 12

දුවගේ විභාගේ නිසා ගොඩක් දවසකින් ලියන්න බැරි උනා...ඒකට සමවෙන්න.

අතීතයේ වෙසක් දවස්...

කලින්දා හැන්දෑවේ උයා පිහා අවසන් කර කලින්ම නා ගන්නට යන්නේ පල්ලෙහා පිහිටි මහ ලිඳටයි.අත්තම්මා සමඟ නාන්න යන්නට අපි කවදත් ප්‍රිය කලෙමු.ඒ අත්තම්මා ලඟ ඇති වැටකොළු හනස්සෙන් පිට අතුල්ලා ගන්නටය.

මහ ලිඳ ලඟට ගොස් අත්තම්මා ඊට එපිටින් ඇති කොහිල වලට යන්නේ හෙට එනම් වෙසක් පෝය දවසට දානයට කොහිල අල හා දළු එක් කර ව්‍යාංජනයක් පිළියෙල කරන්නටයි. යහමින් හැදී ඇති කොහිළ දළු සහ අල කපාගෙන ගොඩින් තියා අත්තම්මා නා ගනී. ඒ ගමන් අපිවද නාවන්නීය.

නා හමාර කල අත්තම්මා කෙස් ටික පිටුපසට කර තුවායක් ඔතාගෙන පොඩියට ගෙඩියක් ගසා ගෙන කොහිළ මිටියත් සමග ගෙදරට ගොඩවී හවස් කරේ හැදූ වැළිතලපා සමඟ කහට බොන්නීය. ඉන්පසුව කොහිල මිටිය ගෙන අතින් හීනියට කොහිළ දල්ල කඩා කොහිළ දණ්ඩේ පොතු ඇර හීනියට එයද නියපිටින් කඩයි.

අත්තම්මා උදෑසන සිල් ගන්නට යන්නේ කොහිළ මාළුව උයා අවසන් කරයි. කුරුඳුඋම්බලකඩ යහමින් දමා ගොරකා අණ්ඩක්ද දමා කිරට උයන කොහිළ අල සහ දළු එකතු වුණු ව්‍යාංජන බෙහෙවින්ම රසවත්ය. ඊටත් වඩා රසවත් වන්නේ අත්තම්මා හදන කට්ලට් ය. දවල් දානයට කට්ලට් හදා ගුලිකර බිස්කට් කුඩු තවරා පුංචි අම්මලාට බැඳිමට පමණක් ඉතිරි කර පාන්දර හය වෙන විට අර වංගු පිරුණ රවුම් පාරෙන් මමත් සමඟ පන්නසලට යන්නීය.

මමත් සිල් ගන්නට ආත්තම්මා සමඟ වේගයෙන් යන විට මට ඉබේම වගේ මතක් වෙන්නේ දවල්ට කට්ලට් බදින විදිහයි. රස නහර පිනා යන කට්ලට් වල සුවඳ මගේ නැහැයට දැනෙද්දී මම ගමන බාල කරමි. අත්තම්මා පිටුපස හැරි කෝ ලොකු දුවේ ඉක්මන් කරන්න කියා කෑගසයි. මම පාරේ වංගු වලින් වහන් වී අත්තම්මා නොපෙනෙන ලෙස නැවත හැරී ගේ දෙසට ඉක්මන් ගමනේ යෙදෙයි. අන්තිමට පන්සලට යන්නේ අත්තම්මා පමණි. අත්තම්මා මට ලොකු දුවේ කියාත් නංගීට සුට්ටං දුව කියාත් ඇමතුවාය.

ඇතැම් දවසක සිල් ගන්නට පන්සලට ගියත් සීලයක් මා ලඟ රැදුනේම නැත. යන්තම් අටසිල් සමාදම් වී දෙන හීල් දානය වළඳා බණ කියන වෙලාවට මම හිටියේ පන්සලේ ඇති කොකෝවා ගහ මුදුණේය. දවසක්දා පන්සලේ හාමුදුරුවන්ගෙන් බැණුම්ද ඇසුවාය.

සිල් පවාරණ වෙලා ආතම්මා ගෙදරට එන විට අපි බකට් සහ වෙසක් කූඩු පත්තු කරන්නට සැදී පැහිදී සිටිමු. අම්මාමගේ අයියාඅනුලා පුංචි අම්මාබද්‍රා පුංචි අම්මාත් මමත් මේ කාර්යයට දායක විය. එදවස නොයෙකුත් මල් ගස් සහ පළතුරු ගස් වලින් මිදුල පිරී තිබුණි. ඉතින් බකට් එල්ලන්නට කිසිදු කරදරයක් නොවිණි. අවසන වෙසක් කූඩු සහ බකට් එල්ලු විට ගෙය සුරපුරයක් සේ දිස්වෙයි. අපි සියළු දෙනාම මහ රෑ වෙන තුරු මේ අසිරිය විඳගනිමින් නොයෙකුත් කථා කියමින් නිදි වැරුවෙමු. 

ගෙයි මුදලේ කොණට ශ්‍රී පාද කඳුවැටිය පෙනුනේ ඉතා අලංකාරවයි. අපි දනනමා ශ්‍රී පාදය වැන්දෙමු. ගේ ඉදිරිපස ඇති බුදු ගෙය ඉතාමත් පින් පාටින් දිදුලයි. එහි ඇති ධාතූන් වහන්සේලා කිහිප නමකි. අපි ඉතා ආසාවෙන් බුදු ගෙය වැන්දෙමු.

 

 

 

2 comments:

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................