Saturday, August 25, 2012

වෙසක් සිවුපද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

බුදු හාමුදුරුවන් ඉස්සර සිටින                    කොට
මං හිටියනම් එනවිට කැලයට                       දරට
වන මල් නෙලා අතුරා සිරි පතුල                    වට
වැඳ වැටෙනවා නොගොහින් ගෙට       වරුවකට

කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය    මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත             වගේ
එතකොට බලත හැකි පොරවා වඩින          ර‍ඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි       හුළ‍ඟේ

පන් උගුලන් ඇවිත් සායම් පොවා              ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා                 ගෙන
අම්මට තාත්තට අත ගස්සවා                     ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා             ගෙන

රාහුල පුංචි හාමුදුරුවො වඩින                  කොට
ගෙදරට වැඩමවා ගෙන සුදු වියන්                යට
කිරිබත් හදා සුවඳැල් හාලෙන්                   රස‍ට
ටික ටික වලඳවනවා ඇවිදින්                    ළඟ‍ට

ගල් පෙරළපු දවසෙ ගිජිකුළු පව්වේ             සිට
මං හිටියනම් සත පණහක් දී                      අතට
රා බොන අපේ ලොකු මාමා පිටත්          කොට
දැනමුතු කමක් කරනව දෙව්දත්              තෙරට

බුදු හාමුදුරුවන් හට බැණ වදින                   විට
මොකටද ඉතින් ඉන්නට බැරි වුණා        කොට
අම්මලා මොනවා කීවත් මොලවලා             මිට
දෙනවා චිංචි මානවිකාවගෙ                     කටට

සච්චකයාට ඇවිදින් වාදෙට                  පැන්න
සැක්කරයා මොටද ආවේ ඔර                 වන්න
දිව ඇද විරිත්තල පණ්ඩිතකම                යන්න
මල්ලියි මමයි හිටියම ඇති නිය             වන්න

මගෙ මල් පොකුරු දුටුවම ඉවසුමක්       නැතී
පොඩි පොඩි හාමුදුරුවරු මළුවේ          නැවතී
කිරි එතනා හෙටත් ගෙනැවිත් මල්       කිනිතී
දෙනවද කියා හෙමිහිට අහනවා               ඇතී


ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ -

       1913 ජූනි 19 වැනි දින රුහුණේ පුවක්දණ්ඩාවේ උපත ලැබීය. බෙලිඅත්තේ ශ්‍රී පඤ්ඤානන්ද බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා 1924 දී පුවක්දණ්ඩාවේ පංචථූපාරාමයේ පැවිදි විය. පන්සලේ හටගත් අර්බුද සහිත වාතාවරණය නිසා කැලෑවට පලාගොස් උපැවිදි විය. කැලෑවෙන් දඹුල්ල කඩමණ්ඩියට පැමිණි ඔහු කොළඹටද, එතැනින් මීගමුවටත් අයාලේ ඇවිද ගොස් නැවතත් අඟුරුකාරමුල්ල පන්සලේ දී යළිත් පැවිදි විය.නැවතත් පැවිදි බවෙන් තොරවිය. රැස්වීමකදී අධිරාජ්‍යවාදීන්ට පරිභව කළේ යැයි ඔහුව රිමාන්ඩ් බාරයට ගැනිණි. ලංකාදීප කතෘ මණ්ඩලයට පිලිපන් ඔහු පුවත්පත් තීරු ලිපි, පද්‍ය රචනා සහ ගීත ආදිය නිර්මාණය කිරීමට උත්සුක විය. ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය වූ 'මනෝහාරී' ඔහු‍ගේ නිමැවුමකි. කෝමල රේඛා නමින් ගීත සංග්‍රහයක්ද නිමවන ලදී. කෝමල රේඛා හැරුණු කල මුද්‍රණය කරන ලද එකම කෘතිය 'ගොළු දැරිය' නම් කෙටි කතා සංග්‍රහයයි. විපත සිදුවූයේ 1964 වර්ෂයේ ඔක්තෝම්බර් මස 4 වැනි දින කොළඹදීය.

7 comments:

  1. වැදගත් දේ ලිවිම කාටත් වැදගත්!

    ReplyDelete
  2. පැරණි කවි නැවතත් අපි අතරට ගෙනාවට ඉස්තුතියි ...!!!

    ReplyDelete
  3. නියමයි කොළඹ යුගයේ කවි.

    ReplyDelete
  4. මන්
    මේ කවි ටික සොයමින් හිටියේ .. ගොඩක් පින් මල්ලි

    ReplyDelete
  5. බොහොම පින් අසන්ක ස්තූතියි ඉල්ලීම ඉටුකලාට

    ReplyDelete
  6. Methuma visin rachana karana lada "Obe namin seya bandimi" geethayata mulikau karunu monawada kiya danageneemata kemathi.

    ReplyDelete
    Replies
    1. එම ගේය පද මෙතුමාගේ නොවන අතර මහගම සේකරයන් විසින් රචිත ගීතයකි. සියල්ලන්ගේම දැන ගැනීම පිණිස උපුටාගැනීමක් දක්වමි.

      දුටුගැමුණු රජතුමා තුන් සිංහලය එක්සත් කිරීමෙන් පසු ඊළඟට කළ දැවැන්තම කාර්ය වූයේ රුවන්මැලි මහා සෑ චෛත්‍ය කර්මාන්තයයි.
      චෛත්‍යය හැකි තාක් විශාලව සිදු කිරීම දුටුගැමුණු රජතුමාගේ අදහස විය. එතුමා රිදී නගුලක් ගෙන ස්තූපය බැඳීමේ සීමාව ලකුණු කළේය. ඒ, ප්‍රමාණය අති විශාල වූවකි.
      ‘රජතුමාගේ ජීවිත කාලය තුළ මේ ඉදිකිරීම් නිමාකළ නොහැකියි’…. එදෙස බලා සිටි ඍධිමත් සිද්ධාර්ථ නම් රහතන් වහන්සේ තීරණය කළහ.
      ‘රජතුමනි ඔබට චෛත්‍යය කළ හැකි සීමාව මා පෙන්වන්නම් ’ යනුවෙන් පවසා සිද්ධාර්ථ රහතන් වහන්සේ මහ සෑයේ ප්‍රමාණය ලකුණු කළහ.
      එතැනින් පසු රජතුමාට ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් මතු විය.
      මහ සෑය ඉදිකිරීමට වෙන්වූ භූමියේ විශාල තෙළඹු ගසක් තිබෙයි. මේ ගස චෛත්‍ය කර්මාන්තය සඳහා කැපිය යුතුම වේ. මේ වෙලේ තෙළඹු ගසට අධිගෘහිත දේවතාවියක් පෙනී සිට, ‘ මහ රජ … මේ ගස කැපීමට මා විරුද්ධය. මේ මගේ වාස භවනයි. ඔබේ කටයුත්තට වෙනත් ස්ථානයක් තෝරා ගන්න’…. යි ප්‍රකාශ කළාය.

      ‘දේවතාවිය, අපි මේ කරන්නේ සම්බුද්ධ ශාසනයට උතුම් සේවයක්. මහා සෑය කිරීමට අතීතයේ මහරහතන් වහන්සේ පවා පෙන්වා වදාළ ස්ථානය මෙතැනයි… ඔබ අපට ඉඩ දෙන්න….’ රජතුමා ඉල්ලා සිටියේය.
      රජතුමා කී දෙය අසා සිටි දෙවඟන, හොඳයි… මා වෙනුවෙන් යමක් ඔබට කළ හැකිද? යි විමසා සිටියාය.
      ‘එසේය….. දේවතාවිය’
      ‘එහෙනම් මහරජ මගේ නම ස්වර්ණමාලී….. රත්නමාලී කියලත් කියනවා. ඔබ කරවන මහ සෑයට මගේ නම තබන්න. එය කළ හැකිද?
      රජතුමා මහ සෑයට ස්වර්ණමාලී නම තැබීමට කැමැති විය. රුවන්වැලි මහා සෑයට රත්නමාලී හා ස්වර්ණමාලි නාමය වැටුණේ මේ සිදුවීම මුල් කරගෙනයි.

      ථූපවංශයේ සඳහන් වන මේ පුරාවත ඇසුරින් මහගම සේකරයන් විසින් සුවිශිෂ්ට ගීයක් හෙළ ගී ගොන්නට දායාද කරන්නට යෙදුණි.
      මේ ගීතයේ තනුව නිර්මාණය කර ඇත්තේ අමරදේවයන් දැඩි සේ පි‍්‍රය කරන කිර්වානි රාගය ඇසුරින් වන අතර​ මේ රාගය පරිහරණය කළ පළමු ලාංකික​ සංගීතවේදියා අමරදේවයන් බව හැඟේ. මේ රාගය දක්‍ෂිණ භාරතීය රාගයක් වුවත්, මේ ගීතයේ බෞද්ධ පරිසරය, බෞද්ධ හැඟීම්, භක්ති රසය උද්දීපනය වන අයුරින් ස්වර සංකලනය සිදුකර ඇති අයුරු කදිමය. ගැයුමත් එසේමය. බෞද්ධ හැඟීම් උද්දීපනය වන අයුරින් ගැයෙන මේ ගීතය ඔහුගේ හඬටම ආවේනික වූ ගීතයක් යැයි හැඟේ.

      උපුටා ගැනීම - http://www.lankashowbiz.com.au/

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................