Wednesday, August 1, 2012

මිරිවැඩිය



පැළඳිදාම  කකුල් දෙකේ
දියපට්ටා මතුවී
බෙහෙත් පැලැස්තර දමන්න
දවස පුරා සිදුවී


සති අන්තෙදි ඔප දමන්න
අමතක වූවේ නැහැ
රාක්කෙ උඩ නුඹ තියන්න
හැමදාමත් මට බැහැ

බර වැඩි යයි නුඹ සිතුවද
නැතිනම් තරහින්ද
වැහි දිනයෙදි පය ලිස්සුවෙ
මගේම වරදින්ද

හන්දියෙ කොලු රංචුව කඩෙ
දාන් අදින සතොසින්
ඒ පැත්තට නෙත රැඳුනේ
මගෙ හිරිමල් හිත ගිහින්

ඉරිසියාවෙ මා අසීරු
කරමින් උඩ පැනලා
කැඩී ගියා මා පාදෙන්
නුඹ එහෙ මෙහෙ වීලා

හැට්ට කටුව අමුණාගෙන
මුව රතුවී තරහින්
ගෙදර එද්දි කකුල කැපී
කටුව ගැලවිලා ගිහින්

දින සති මාසය ගෙවිලා
ඉරණම කැරකීලා
අනතුරින්ම දෙපා අහිමි
වූ විට කලකිරිලා

දූවිලි රැඳි රාක්කෙ මත.
ඉඳගෙන හිනහීලා
නුඹ ඔච්චම් කරනවාද
මට වූ දේ හිතලා

8 comments:

  1. සැගවුණු අර්ථය හුගක් දුක හිතෙන කතාවක් නේද ?

    ReplyDelete
  2. පැති කීපයක් තියෙනවා.හැගුනිනම් ඔබ හරි. ස්තූතියි.

    ReplyDelete
  3. අනේ.......හරිම සංවේදියි සහෝ...

    ReplyDelete
  4. හරිම සංවේදී තාත්වික කවි පෙලක්. මිරිවැඩිසඟලක් ඉල්ලා හැඬුවෙමි .........පා යුග නැති ඔබ දකින තුරා.... මතක් උනා. මේ වගේම හන්දියෙදී මටත් අකරතැබ්බ නම් වෙලා තියෙනවා කටු ගහගෙන ගෙදර එන්න.

    ReplyDelete
  5. බොහොම සියුම් හැඟීම් ගෙන දෙන්නක්.
    එය හදේ ගැඹුරුම තැන ස්පර්ශ කරයි.

    නමුත් මේ කවි පෙලෙහි එන ඇතැම් සිදුවීම්,
    අනතුරකින් දෙපා අහිමිවීම වැනි දේවල්
    කාටත් සිදුනොවේවායි මා ප්‍රාර්ථනා කරමි.

    දිගටම මෙවන් කවිපද
    ගෙත්තම් කරන්නට
    හදපිරි තුටින්
    ආසිරි පතිමි...

    ReplyDelete
  6. ලස්සන පද වැලක්..

    අන්තිම ටික කියවනකොට නම් ටිකක් කණගාටුයි.

    ReplyDelete
  7. මමත් කවි වලට එච්චරම ආස නැති වුනත් ...
    මේ කවියට නම් කැමති වුනා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, සම කර දැක්විය හැක්කේ මවක විසින් තම දරුවා කෙරෙහි දක්වන හැඟීම් සහගත බවටය.හරි මග පෙන්වීම මෙන්ම, දිරි ගැන්වීමද එහිදී මව විසින් සිදු කරයි ..................