Wednesday, July 18, 2012

අන්ධ කවියා - පී.බී.අල්විස් පෙරේරා



සිරුරේ දාහය සනසන නලවැල් සිසිලස ගත් බව දනිමි                      වැවේ
රත්සර හෙළැ'ඹුලු නිලුපුල් මීගඳ නැහැ පුඩු අතරින් ළයට                කැවේ
මායා සිහිනය මැද්දේ පිහිනමි එනමුදු නොදකමි එළිය                   ලොවේ
හදවත කොඳුරයි එහි සටහන් ළඟ හිඳ පිටපත් කළ හැකිද                   දුවේ

විසිතුරු සිතිවිලි අතරින් පැනයති මී මැස්සෝ ගුමු ගුමුව                        දිදී
අසරණ මා දැක අමතන විලසින් සුළඟින් තුරුපත් එකට                       වදී
වන විහඟුන්ගේ ගීතය ඉහිරෙයි විළිකුන් පලතුරු සමඟ                        බිඳී
ලෝකය පිබිදී දොඩමළු වී ඇත මා පමණක් නෙත් අඳව                      නිදී

වැව් බන්දේසිය සොබා සොඳුරි වෙත පිළිගන්වන විට ඇඹුල              තබා
පෙර මෙන් අහසේ පායන රන්හිරු වගුරන්නෙද මිණි කිරණ               පබා
වදුලේ පරඬැල් අතුළ කැදැල්ලේ තනියම පසුවන කුරුලු                   බබා
මව නැති අතරේ ''කිචි කිචි'' ගෑවේ ඉගිලෙන පිණිසයි ළඟදි            නොබා

අංකුර පහරින් ඉවුරේ පස් බිඳ ගවයෝ දිය බී යතිද                        දොළින්
කඩි පෙරහැර වැළ නොකැඩී ඇදෙතිද තවමත් නිල්තණ         බිඩැලි වලින්
දියණිය ඔබ මව මට අමතන්නිය සැඟවී හිඳ උණ පඳුරු                     තුළින්
අමුණා මල්දම් මා ගෙළ සරසනු ඈ වැළලු තැන පිපුණ                     මලින්

උණුසුම සිසිලස හඳුනමි ගුණයෙන් රෑ දාවල එක පරිදි                     ගෙවේ
කැළඹී පාවෙමි දුම් රොටුවක් මෙන් යට ගිය මතකෙහි සිහින         ලොවේ
මවගේ කටහඬ වෙනසක් නොමැතිව සැඟවී ඇත ඔබ මුවෙහි             දුවේ
ඈ දුන් රන් මල්දම හිස එපරිදි ඇද්දයි අතගා බලමි                           මුවේ

ඔබගේ මව සහ මා එක් දවසක් අවර'ඹරෙහි හිරු ගිලෙන                පැයේ
හිඳගෙන හුන් විට පුලින තලාවක ඈ විමසූවා වැතිර                         ළයේ
සැන්දෑ වෙළ පෙති පරයන තොල් ඇති දූ මැණිකක් ඔබ රිසිද          පියේ
ඇය කී වදනෙහි සැබෑව දක්නට පෙර මගෙ ‍නෙත් දෙක නැතිව       ගියේ

මදුමල් පෙතිවල සිනිඳු මොළොක් බව මවගේ අත්වල තිබුණු           එදා
ඈ නැති වූයේ ඒවා කැටිකොට පොඩි දුවගේ අත් දෙකට                   පුදා
නා රොන් වැනි මුදු කෙහෙරැලි පීරා සුවඳ අලෙව් දී පොකුරු            බෙදා
සරසන සැටි ඔබ දක්නට නොලැබී ඇතිවෙයි අඳ ඇස්වලට               රුදා

ආලය උල්පත් දෙතැනක පිපිරී මහ ගංගාවක් පරිදි                      සෙනේ
උතුරා යද්දී නැංවූ සේතුව නොදකී ඇස් දෙක සිතට                      පෙනේ
ඇයි මෙතරම් තෙත පොඩි කම්මුල්වල සුරතල් දුව අඬනවද            අනේ
දුවගේ කඳුළැලි අත ගෑවෙන විට ලේ තැවරෙන මෙන් අතට          දැනේ

පී.බී.අල්විස් පෙරේරා

9 comments:

  1. හරිම ලස්සනයි. ස්තූතියි අසංක පුතා. පී.බී. අල්විස් පෙරේරා කියන්නෙ අපිට හිටපු හොඳම කවියෙක් නෙ. මම හරිම ආස කවි පන්තියක් මේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ලොකු දෝණිට ලියපු කවි පන්තියටත් මම හරිම ආසයි. පුළුවන්නම් ඒකත් හොයල දාන්න කෝ. සුරකුමරියො මල් සලා නටයි මෙදෙස බල බලා.........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මම ඒ කවිය පළ කරනවා. මම කොහොමත් ඉස්සරහට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 'සිනා කුමාරි' සහ 'අකුරට යනවයි කියලා' කවි පන්ති දෙක පළ කරන්න හිතන් හිටියේ... ස්තූතියි

      Delete
  2. අපූරුයි!ඔබ මේවා පලකරන එක වටිනවා සහෝ..

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි අසංක .හරිම සංවේදී කවි පෙළක් . මියගිය බිරිඳ සහ අඳ නෙත් ...ඒ සියලු ශෝක සංකා පරයන ඔහු සතු එකම වස්තුව ඔහුගේ දියණිය . සොබා සොඳුරු සිත්තම් තුලින් උපමා ගලපා පබැඳු කවි පෙළ හරිම අගෙයි . කාලෙකට පෙර කියවා තිබුනත් මතකයේ තිබුනේ නැහැ . කීපවිටක් රස වින්දා .


    .මානවසිංහයන්ගේ කවි ගැන චන්දි අක්ක කියූ නිසා මට මතක් වුන කවි පන්තියක් තියෙනවා මි කිරි ගැන . ඔයාට ලැබුනොත් පලකරන්න .

    පොඩි නැන්දා හිනා වේවි වේලට ගෙනා මි කිරි

    හා පැටියා රස බලන්න හොස්ස පෙවූ මි කිරි .....

    ReplyDelete
  4. කවියන් සිටින තැනකට කවියන් එනවා
    සිතිවිලි ගලා පද වැල් වී කියවෙනවා
    මේ කවි දකින විට සිත කුල්මත් වෙනවා
    ආයිත් කවද හරි මේ පැත්තට එනවා

    ReplyDelete
  5. Godak watinwa puluwannm meke vicharayath lassanata dannko

    ReplyDelete
  6. නියමයි

    ReplyDelete
  7. මම මේ කවිය හොය හොය හිටියේ ස්තුති ඔබට

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................