Tuesday, May 29, 2012

මගෙ බිසවුනේ අසාපන් - රත්න ශ්‍රී විජේසිංහ

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රී දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ඩ නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ

පොඩි උන්ව බලා ගන්ඩයි
ඉස්කෝලේ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැනුම් අසාගන්ඩයි
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසවු නගරේ
මේ කුලී මාලිගාවේ

කිරි ශිරාවෝ සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැ යි
පියුයරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත් මැ යි
ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත් මැ යි
හාමතේ නොලා දෙදරුවන්
රක්ෂා කෙරෙත් මැ යි

මට යන්ට දෙන්න දේවී
ඒ දුෂ්කර පළාතේ
බෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන් ද වැඩ වසන්නේ
බෝ ප්‍රවේසම්ව ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනැත් දෙන්නම්

නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වාල්කමටා
ඇඟ මස පුදා රකිම් මැ යි
නොපුරම් එහෙත් පෙරුම් දම්
බුදු වන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


රත්න ශ්‍රී විජේසිංහ
(වස්සානේ, 1985)


කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වංකගිරියට මාරුවීම නම් මෙම කාව්‍ය නිර්මාණය දේශපාලන පළිගැනීම් නිසා අනපේක්ෂිත පරිදි දුෂ්කර පළාතකට මාරුවක් ලබන රාජ්‍ය සේවකයකු වන සැමියා සිය අඹුදරුවන් කෙරෙන් වෙන් වී නික්ම යාමට සැරසී පි‍්‍රය බිරිඳ අමතා සමුගන්නා විලාසයෙන් රචිත, සමකාලීන දේශපාලන හා සමාජ යථාර්ථය විවරණය කෙරෙන සංවිභාගශීලි නිර්මාණයකි. කවියා අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්නේ මෙරට ජන විඥානයෙහි නිදන්ගත වෙස්සන්තර ජාතකයේ වෙසතුරු රජු වංකගිරියට නික්ම යාම සඳහා මන්ද්‍රි දේවියගෙන් සමුගත් අවස්ථාව සහෘද මනසට නැඟෙන අයුරිනි. වංකගිරියට නම් සාම්ප්‍රදායික සංකේතාත්මක යෙදුමෙන් අවදි කරවන විශේෂස්මෘති මඟින් එකී අතීත සිද්ධියත් වර්තමාන සිද්්ධියත් සැසදෙමින් එම සිද්ධි දෙක අතර පවත්නා සම විෂමතා කෙරෙහි රසිකයා සංවේදි කරවයි.
වෙසතුරු රජු වංකගිරියට යන්නේ කළිඟු රට ඇතිවූ සාගතය දුරලීම සඳහා ඇළි ඇතු දන්දීම නිසා ඇති වූ රටවැසියන්ගේ විරෝධයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන සිද්ධියෙහි සැමියාට අඹු දරුවන් හැර දමා දුෂ්කර පළාතකට මාරු වී යාමට සිදුවන්නේ දේශපාලන පළිගැනීම් නිසාය. එම සිද්ධි දෙක සහෘද මනසෙහි තුලනය වීමෙන් ඇතිවන ආකල්පමය වෙනස ද නිර්මාණයෙහි අපූර්වත්වයට හේතු වේ.
මේ කාව්‍ය නිර්මාණයෙහි ආකෘතිය හා රිද්මය අතිශය ජනපි‍්‍රයත්වයට පත් “මගෙ මන්ද්‍රි නම් බිසෝගේ” යන නූර්ති ගීතයට සමගාමී වේ. එම ගීතයට අනුව වෙසතුරු රජ සිය බිසවට පවසන්නේ වංකගිරි වනාන්තරය විවිධ දුක් පීඩාවන්ගෙන් ගහන බැවින් සියලුම සැප සම්පත් හා රැකවරණ සහිත මාලිගාවේ නවතින ලෙසයි. එහෙත් වර්තමාන සැමියා විවිධ දුක් පීඩාවන්ගෙන් පිරුණු කර්ණ කටුක නගරයේ කුලී නිවසේ නවතින ලෙස සිය බිරිඳට ආයාචනා කරයි. කවියා සම්ප්‍රදායෙන් මනා පෝෂණයක් ලබමින් සංස්කෘතික ස්මෘති ජනනය කරවමින් වර්තමාන සමාජ විපර්යස්ත භාවයේ පවත්නා දැඩි ඛේදය කම්පනීය ස්වරූපයෙන් පරිකල්පනය කිරීමට සමත් වේ.
“මගෙ බිසවුනේ අසාපන්” යන ආමන්ත්‍රණයෙන් ම සැමියා හා බිරිඳ අතර පවතින අන්‍යොන්‍ය ස්නේහය ගම්‍ය වේ. එහෙත් ඇයට මන්ද්‍රි දේවිය මෙන් ක්‍රියා කළ නොහැකිය. මන්ද්‍රි දේවිය නියෝජනය කළ පවුල, සමාජය දේශපාලන තන්ත්‍රය හා අර්ථ ක්‍රමයට වඩා වත්මන් බිරිඳගේ ජීවන පසුබිම වෙනස්ය; සංකීර්ණය. දෙදෙනාගේම ස්වාමි භක්තියෙහි වෙනසක් නැත. එහෙත් සමාජ ස්තරායනය වෙනස්ය. නූතන බිරිඳ වෙත පැවරී ඇති වගකීම් හා කාර්යභාරය විශාලය. පොඩි උන්ව බලා ගන්ඩයි, “ඉස්කෝලේ එක්ක යන්ඩයි” ලෙඩ දුකට පිහිට වෙන්ඩයි, සැමියාගේ වියෝවී හුදෙකලා වීමේ සාපයක් ලෙස “කුණු බැණුම් අසා ගන්ඩයි” “දිව විකා බර අදින්ඩයි” නගරයේ කුලී මාලිගාවේ නවතින්න ඈට සිදු වේ. වෙස්සන්තරට මෙන් මෙම සැමියාට කෙසේවත් ඇය කැඳවාගෙන යා නොහැකි ය. කවියා භාවිත කරන “කුලී මාලිගාව“ යන යෙදුම සියුම් උත්ප්‍රාසයක් දනවන්නට සමත් වෙයි. ඇය අනන්ත දුක් උසුලමින් තමන් වැහැරෙමින් දරුවන් පෝෂණය කරන අයුරු “කිරි ශිරා සියක් ඉල්පි...” යනුවෙන් අරඹා රක්ෂා කෙරෙත්මැයි” යනුවෙන් අවසන් වන කාව්‍ය ඛණ්ඩයෙන් මැනවින් නිරුපිතය. සැමියාට ද සිය දරු පවුලට දෝත පුරා ජීවිතය ගෙනත් දීමේ මෙහෙය පැවරී ඇත.
ඔහු ඊට මුළු හදින් කැපවී සිටී. ඒ නිසාත් ලද නියෝගයට අනුව ඒ දුෂ්කර පළාතේ යා යුතුය. “බෙලි කපන සතුන් අතරේ... කෙළ ගසන සතුන් අතරේ...” මිනිසුන් ද වැඩ වසන හෙයින් එහි පිටත්වන්නට අවසර පතයි. මෙම සංකේතාත්මක යෙදුම් මඟින් සමාජයේ සත්, අසත් භාවය පිළිබඳ විඥාන ධාරාවක් රසික මනසෙහි අවදි වේ.
කවියා නිර්මාණය කරන සැමියාගේ සහ පියාගේ භූමිකාව සහෘදයා ඔහු කෙරෙහි ගෞරවාදරයෙන් ප්‍රමුදිත කරවන සුලුය. සිය අඹු දරුවන්ගේ සෙනෙහසින් සිනිදු වූ අත්‍යන්ත සම්බන්ධය “නුඹ චන්ද්‍රමඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ” යන්නෙන් ගම්‍ය වේ. එය වෙස්සන්තර ජාතක කාව්‍යයේ “ලපසේ සඳ විලසේ දවසක් වෙන්නුවෙම්මා යන හෘදයංගම උපමාවෙහි සොඳුරු ප්‍රතියෝජනයකි. නිර්මාණය සමාප්ත කරන්නේ “හිමවතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නේ” යනුවෙනි. උදා වී ඇති අභියෝග හමුවේ වුවද සිය කුටුම්භය සුරක්ෂා කළ යුතුය. ඒ සඳහා නික්ම යාම අනිවාර්ය වේ. ඇයට ද කර්ණා කටුක නගරයෙ කුලී නිවසේ නැවතී දුක් අනුභව කරන්නට සිදු වේ. එහෙත් හීනෙන් හිමවතට පැමිණ, සිත සඳුන් තවරන්නට ඇති බාධාව කුමක් ද? විඳින පීඩනයට සාපේක්ෂව එය ද සෑහේ. කවියා සිය විරෝධාකල්ප ප්‍රකාශ කරන්නේ කලාත්මක සංයමයකින් යුතුවය. උපයුක්ත කාව්‍ය සංදර්භය සම්ප්‍රදාය ඥානය, සියුම් කථන ක්‍රම හා භාව ගම්‍ය භාෂා භාවිතය නිසා මෙම නිර්මාණය සහෘදයන්ගේ භාව මණ්ඩලයේත්, ඥාන මණ්ඩලයේත් නිම් වළලු ප්‍රසාරණය කිරීමට සමත් වේ.
මහාචාර්ය දර්ශන රත්නායක විසින් සිළුමිණ පත්‍රයට සැපයු විචාරයක් උපුටා ගතිමි.



5 comments:

  1. ඔබ කරන මෙ වැඩේ ඉතාමත් වටිනවා.දිගටම කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබලාගේ දිරිගැන්වීම තව තවත් මෙහි කවි පලවීම කෙරෙහි බලපාන බවනම් මට විශ්වාසයි.

      Delete
  2. ආසම සින්දුවක් ..ආසම කටහඬක්..ආසම රචකයෙක් ..සුන්දර ගීයක් . ස්තුතියි මල්ලි

    ReplyDelete
  3. ලිපිය කියවන මාගේ දෙසවන කපූගේ හඬ දොංකාර දෙන සෙයක් දැනුනී...ඔබගේ උත්සහයට තුතී

    ReplyDelete
  4. මම ගොඩාක් ආසාවෙන් බලන බ්ලොග් එකක්. අදමද මන්දා කමෙන්ට් කරන්නේ.මේ කවි එකතුව බොහොම වටිනවා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................