Monday, June 18, 2012

එම මළ ගෙවල් දෙකටම මා යා යුතුය


දෙදෙනෙක් සිටියේය දෙදෙනම        වයසකය
එකෙකු පන්සිල්ය අනෙකා            බොනවාය
අකලට නොවූවත් දෙදෙනා                 මියැදීය
ගෙවල් දෙක අසල සුදුකොඩි              එල්ලීය

බොනවා වුණත් ඔහු හරියට      පොහොසත්ය
නිවසද තට්ටු හතකින් ඉහළට                   වීය
පන්සිල් රකින ඔහු හට හිමි            පැල්පතය
රට උළු වලින් වැහිබිඳු බිමටම                  වීය

පැල්පත හිමිවු ඔහු පන්සිල්             ගුණසිරිය
තට්ටු නිවස හිමි ඔහු කුඩු                   සේකරය
දෙදෙනගෙ ගෙවල් දෙක එක ළඟ       පිහිටීය
එනමුත් ඔවුනොවුන් අඳුරන්නේ         නැතිය
 
සේකර නිවස හත් ගව්වක් සුදු           කොඩිය
ගුණසිරි පැල්පතේ එක කොඩියක්           වීය
සේකර බලන්නට ආ බස්                   පිරිලාය
ගුණසිරි මළගෙදර නෑදෑයොත්            නැතිය

සේකර පොස්ටර A3 සයිස්                      විය
A5 සයිස් හිමි වූයේ                        ගුණසිරිය
සේකර මළගෙදර ආ අය පොෂ්               වීය
අර මළ ගෙදරනම් සිටි අය             වයසකය
 
බොන්නට බීම කන්නට බිස්කට්          ඇතිය
කොපමණ සෙනඟ හිටියත් හරි        සුවඳමය
සුවඳ දියරයක් ඉට වග                       කීවේය
සාලයෙ ඉස්තරම් පෙට්ටියේ ඔහුගේ       කය

මැස්සන් සිටි නිසා එහි හරි               කරදරය
මරණාධාර සමිතියේ පුටු හිස්                 වීය
ටික මොහොතකින් පහන් දැල්ල නිවුණේය
පහන් දැල්ල ලෙස වූ ඔහු                  ජීවිතය

එකම කනත්තක දෙදෙනම         වැළලේය
ඉන්පසු දිර දිරා යයි පොහොරව     දෙ' කය
යායුතු වීය නරලොව හෝ ලොව         දිව්‍ය
එම මළ ගෙවල් දෙකටම මා යා         යුතුය


8 comments:

  1. යාතාර්ථය ඒ අයුරින්ම ලියා ඇත!

    ReplyDelete
  2. හරිම සංවේදියි අසංක මල්ලී. මේකම නේද? බොහෝවිට සිදුවන්නේ. හරිම යතාර්ථවාදීව ලියවිලා. ඔබට ජයම පතනවා.

    ReplyDelete
  3. සමහරුන්ට පෞද්ගලික සුසාන භූමි කියලත් තියනව නොවැ. හැබැයි කොහෙ උනත් පොලොව යට පනුවො තමා.

    ReplyDelete
  4. සේකර ගුණසිරිද යනුවෙන් වෙනස් නැත
    කෙටි කලකින්ම එක ලෙස කය දිරනු ඇත
    ඇති නැති වෙනස පවතීනම් යම් දියත
    මේ දුක් ගීත සවනට පාවෙනව ඇත ...

    ගුණසිරි මැස්සො පිරි මඩුවෙන් පිට වෙද්දී
    සේකර නික්ම යයි දහසක් දුක් වෙද්දී
    කර ගත් කුසල අකුසල ගැන විමසද්දී
    ගුණසිරි දිව්ය ලොව සේකර නිර යද්දී ......

    ReplyDelete
  5. හරිම ඇත්ත . අපුරු අදහස . ආයෙමත් කියවා බලන්න මල්ලි . රිද්මය ටිකක් අවුල් වෙලා බොහොම තැන්වල

    ReplyDelete
  6. හොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කවි පන්තිය පිළිඹඳ කුඩා විචාරයක් අසංක මල්ලිට පෞද්ගලිකව යොමු කර ඇති.

    ReplyDelete
  7. අසංක මල්ලිගේ ඉල්ලීම පරිදි මා කළ කුඩා විචාරය මෙහි පල කරමි.

    හොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ප්‍රකාශ කරන්න ලොකු හදිස්සියක් තිබුණු බවයි පෙනෙන්නේ. බොරු වර්ණනා කරන්න කැමති නැහැ. එහෙම කලොත් ඔයාගේ කවි වල අඩු පාඩු හැදෙන්නේ නැහැ. කවි වල ඒකාකාරී බව වැඩියි. බින්දි අක්කා කිව්වා වගේම රිද්මයේ අවුලකුත් තියෙනවා. මා දකින විදිහට නම් මේ අඩු පාඩු වෙන්නේ ඔයාගේ හදිස්සිය නිසයි. නැතුව හැකියාවේ අඩුවක් නොවෙයි. කවි පන්තියක් පළ කරන්න කලින් නැවත නැවත කියවමින් අඩු පාඩු සකස්කරන්න. ලියවුනු සමහර කවි හරි නැහැ කියල හිතෙනවා නම් ඒවා අමුතුවෙන් ලියන්න. ඒ වගේම මම තවත් දකින දෙයක් තමා ඔයා හතර පැදි අතරම හිරවී සිටින බව. ඒකත් එකම රිද්මයක් එක්ක. මෙයින් බැහැර වෙන්න. වෙනත් රිද්මත් භාවිතා කරන්න උත්සාහ ගන්න. නිසඳැස් වෙතටත් යොමුවෙන්න. ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.

    ReplyDelete
  8. ගොඩාක් හොඳ කවියක්!
    දිගටම කරගෙන යන්න.
    හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................