Tuesday, June 5, 2012

ඉර පායා ඉර මුදුනට එන්න එපා - විමලරත්න කුමාරගම


සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින්         ඇසේ
මම දිව ගියෙමි වැව සිට තෙත පිටින්           හිසේ
දැඩි සේ ගොරදෙමින් දුක් බැල්මකින්         ඇසේ
නාඹර මුව දෙනක වැව ළඟ හෙමින්           නැසේ

කටු කම්බියට ලස්සන හම ඇත                       සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය සැටි                   පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය       බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි            බේරී

වෙඩි හතකින්ම හම සිදුරුව තිබුණි             ඇගේ
හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම               මගේ
මිනිසුන් ළඟට ඈ ආ වග හිතට                  නැ‍ඟේ
සිතිවිලි වුණා පිනිබිඳු කම්බියක                   දිගේ

මිරිසට උයා තිබු ඇගෙ මස එදින                රැයේ
මට කිරි රසට වැටහුණු බව මතක               තියේ
මුළු රෑ මසිත මව නැති දරු වෙතය               ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැ‍ඟෙන          පැයේ

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

ඈ මිනිසුන් මැදට මහ දාවල                      එන්ට
බියකින් විය යුතුය දඩයම්කරු                  වන්ට
එද මහ දවල් මිනිසුන් මැද හඬ                දෙන්ට
හේතුව දනිමි මවු පෙම කිරි දරු                 වන්ට

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

කිරි දී සතප්පා පැටවුන් සෙවණ                   තුළ
සඟවා රස බලන බව මව ළපලු                    වල
ඇසුවත් පෙරදි මා වන්නියෙ සිටිය              කල
නොදනිමි කරුණ ඈ මගෙ වත්තෙහිම         මළ

දා ගිය අතු පඳුරු ගින්නෙන් නිකිණි           මසේ
සෝකිව ඇඹෙරෙමින් වැළපෙන හැටිය   ඇසේ
ඉඳ හිට සුළඟ නවතී  ඩා නිවන                ලෙසේ
හදවත සිරස බර මම නිදියමිද                 කෙසේ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

බලු කුකුරුවන්ගේ බඩගිනි හැඬුම             වැනී
හැඬුමක් ඇසේ නල බල වන විටදි              තුනී
මුව පැටවුන්ගෙ පැමිණිල්ලකි හොඳට       දැනී
මහ රෑ මගේ දෑසින් උණු කඳුළු                   පනී

ඇස් දෙක රතුව දුටුයෙමි පසු දවස             උදේ
මට පැහැදිලිය මුව පැටවුන් විඳින              වදේ
උන්ගේ බැගෑ හඬ මා පසු පසම               ඇදේ
මගෙ හදවත එයින් බිහිසුණු විලස             රිදේ

ගෙවුයන නිමා අවටැති වතු පිටි                නුදුරු
පැටවුන් සොයන්නට පීරූයෙමු                 පඳුරු
වැදි කොලු කෑ ගසයි පඳුරක් ළඟ              අඳුරු
ඔහුගේ හඬින් මිදුණා පිඹුරුගේ              ගොදුරු

එක පැටවෙක් එතී පිඹුරගෙ දරණ              මැද
නිදහස් වෙන්ට දඟලත්දී වෙහෙස               විඳ
වැදි කොලු පිඹුරු ගෙල මිරිකන විටදි         ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු                   බිඳ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

විමලරත්න කුමාරගම

මේ කවිය පල කරන්නට විශේෂ හේතුව මීට පෙර විමලරත්න  කුමාරගමයන්ගේ 'හේරත් හාමි' කවි පන්තිය පල කිරීමෙන් පසු මෙවැනි අදහසක් ලැබූ බැවිනි.

සරත් ගුණතුංග said.
විමලරත්න කිවිඳුන්ගේ පබැඳුම ට
දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
තවමත් දුවයි සිත පණහේ දශකය ට්

එපා එපා හිර මුදුනට එන්න එපා
එපා එපා සඳ මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
මේ කවි පදය නම් නොලියා ඉන්න එපා
Bindi said.
ඔන්න මම ආසම කවියෙක්ගේ ආසම කවි පෙළක්. කොළඹ යුගයේ කවි රසවින්දින්නෙක් ලෙස මගේ ස්තුතියත් ඔබට අසංක . සාමාන්‍ය මිනිසාගේ සරල බව සුගම ලෙස කියන්නට හපනෙක් කුමාරගම කවියා . ඔහුගේ ඉතුරු කවි ටිකත් ඉඩ ඇති විට දාන්න මල්ලි හැකිනම්

10 comments:

  1. මචන් අයියනායක ලිව්වෙත් මෙතුමා නේද

    සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හැරුව නුග ගසක බෙනේ
    මළකෑ අළුව ගිය ආයුධ කැබලි පෙනේ
    දෙවියෙක් නැතද මෙහි බලයක් තියෙනු දැනේ

    බුදුගුරු අනි හිරුට හිමි හැම දවස් වල
    මෙ සන් හිඳේ එළියක් ඇත සවස් කල
    ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් වුන
    හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල

    ඒකාලේ අපේ සහිත්‍ය පොතේ තිබුන මං ආසම කවි පන්තියක්

    ReplyDelete
    Replies
    1. ඔවි ඔව් ඊළඟට පළ කරන්න හිතන් හිටියේ 'අයියනායක' කවි පන්තිය.එතුමාගේ කවි වල තියෙන්නේ අමුතුම රසයක්. ඔහුගේ පද පෙරළිය නම් විශිෂ්ඨයි. මොකද ඒවා මාරම මාර විදියට ගලපලා තියෙන්නේ..

      Delete
  2. කොළඹ යුගයේ කවි වල තිබුන රසය නිමකරන්න බෑ. කුඩලිගම, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී.බී., වගේ කවීන් ගොනුකළ සාහිත්‍ය රසය අදටත් වලංගුයි.

    ReplyDelete
  3. බොහොම පින් මෙවැනි වටිනා කාව්‍ය නැවතත් අපඅතරට ගෙනෙවිත් දුන්නට ....

    ReplyDelete
  4. රසවත් කවිපන්තියක් දැනුවත් කලාට තුති

    ReplyDelete
  5. ''මිරිවැඩි '' කවි ටිකට කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා . මල්ලි ඉතින් සමාවෙන්න ඕන . ඉස්කෝලේ නිවාඩු දෙන්න ලඟයි . නිවාඩු කාලේදී වත් මොනා හරි ලියන්න බලන්නම් .

    කොළඹ යුගයේ කවිවලට මමත් කැමතියි . මේ කවි පෙළ කියවූ බවක් මතක නැහැ . බොහොම පින්

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ මොකද අක්කා මොකද පරක්කු කියලා. කමක් නෑ අක්කේ ඔය වැඩ ඉවර කරගෙන මේ පැත්තේ එන්නකෝ.. ඒක නෙමේ අක්කගේ කවි පන්තියක් කාලෙකින් කියවන්න බැරි වුණා.

      Delete
  6. ලස්සන කවි පන්තියක් රස විඳින්නට දැම්මාට පින්. මේ කවි පන්තිය ට කලින් එකට කමෙන්ටුවක් දමන්නට බැරි උනා. දැන් ටික ටික ඉඩ තියෙන විට ලියන්නම්. ස්තූතියි ! සටහනට.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මන් බැලුවා කවිමුතුමල් අමතක වෙලාද කියලා. චන්දි අක්කගේ කවියක් රස විඳින්න මග බලාගෙන ඉන්නේ..

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................