Monday, September 12, 2011

ගුරුලේත්තුව

දින දින පිරුණි නව ජලයෙන් හොඳ    හැටිම
ඒ ලෙස සිත් සතන් පුරවා අපි            අපෙම
තිබහට වතුර දුන්නා ඔබ අප              වෙතම
මේ වසරෙදිත් අප ලඟ ඉනු එය           පැතුම

සීතල ජල පොදක් ඔබ අප හට              දන්දී
එනමුත් ලැබු දෙයක් නැත ඔබ අප      වෙතදී
කළගුණ සලකනුව නිතරම ඉමු            පින්දී
ඔබ නැති තැනදි මේසය තනිවම            පරදී

හරි තේජසින් අවුරුදු මේසය                මතදී
කිරිබත් මුංකැවුම් අතරේ ඔබ                ඉද්දී
රජෙකුව මැදට ගත් සේනාවක              සිද්ධි
මතකෙට නැඟුණි ඔබ දුන් ජල මා      බොද්දී

තව එක් දිනක් ඔබ ඔය තේජස            පෑවා
නාබර නැගණියන් වැඩි වයසට            ආවා
ඔබ තවමත් එහෙම වෙනසක් නෑ         පෑවා
ඔබ නැති තැනදි මෙනි හඳ තුළ නැති    හාවා

හරි දුක සෝකයෙන් තැවෙමින් තිබු  ගෙදර
ලොකු දුකකින්ය සුදු රෙදි මේසය        අතර
මරණෙට ආ අයට ඔබ දුන්නා              වතුර
සැලකුව කෙනෙකු නැත සීයට ඔබ       විතර

කාලය කෙමෙන් ගතවූවා නෑ          දැනුනේ
බෝ කලකින් පසුව මා ගෙදරට       වැදුනේ
ඔබ තවමත් එහෙම ලොකු මේසය   මතනේ
ඔටුනක් වැනි පියන ඔබ හිස මත      රැඳුනේ

මඟුලක සිරිය විසිරුණි මේ ගෙබිම        තුළ
මා දැන් බවට පත්වී ඇත                මනමාල
මඟුල් මේසේ මත ඔබ ඉනු දුටුව           කල
ලොකු ප්‍රශ්ණයකි ඔබ නොවැටුණි රස  ආල

කාලය තව ටිකක් දුරස්ව ගිය              කලට
තව තව අමුත්තන් එක්වුණි           පවුලකට
උවමනාව වැඩි වුණි ඔබගේ              වැඩට
තිබහ නිවන එක ඔබ හට ඇති           සතුට

එක් දිනයකදී ඔබගේ වැඩ           කරන'තුර
මේසය මතින් පතිතව සැම තැන        විසිර
රතු රුධිරයක් මෙන් සැම තැන ජල   පැතිර
ඔබ ගැන සිතමි දුක්බරිතව ඇඳ         වැතිර

සසරේ පණිවිඩය කියු බව මට          දැනුණි
අනියත බවද ඉන් හොඳහැටි හෙලි කෙරුණි
නව ජල බඳුනකට මේසයේ ඉඩ       ලැබුණි
ඔබ දුන් රස තරම් රස නැති බව       දැනුණි

6 comments:

  1. විදුරු ප්ලාස්ටික් කොපමණ ඇතත් යස

    මැටි බඳුනක තිබේ වතුරේ නියම රස

    බිඳුනොත් බඳුන පාහනු බැරි කිසිම ලෙස

    කැබලිති අහුලගෙන බට්ටන් පනිනු මිස

    .......හරිම පුරුයි මල්ලි. හැමදාම අලුත් දේවල් ලියන ඔබට ජය .

    දැන් කවිමුතු වල ෆලොවර්සලා 48 ක් දැක්කද . සතුටුයි නේද ...පුංචි පැලය ටික ටික වැඩෙද්දී

    ReplyDelete
  2. බැලූ බැල්මට ගුරුලේත්තුව ගෙදර දොර සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන්න පුළුවන්, ඒ වටා ගොනුකරපු කතිකාව, කාලයාත් සමඟ සිදුවෙන වෙනස පුරුද්දපු අන්දම හා ඉන් මතු කර සසරේ පණිවුඩය මොනතරම් නම් අලංකාරද.

    මල්ලියේ මේ පදපෙලින් මතුවන සරළ සුන්දරත්වය හා ඔබේ කවි ගෙතුම ගොඩාක් හිත් ගත්තා. සොබාදහම විතරක් නෙවේ අපි වටා ඇති දේවල් අලලා කරන පදපේළි වලින් මතුවෙන්නේ අමුතුම ලස්සනක්, ඒ විරල මාතෘකාවන්/වස්තූන් මුල් කරගෙන තවත් නිර්මාණ කරන්න. ජය!

    ReplyDelete
  3. කවි නම් ලියන්න බෑ . ඒත් අයියා ගුරු ලේත්තුව ගැන නම් නොකියාම බෑ අපේ ගෙදරත් ඔයිං එකක් තියනවා . මම වැඩ ඇරිලා අපි ගමන්ම කරන්නේ ඒකේ වතුර ටිකක් බොන එක ..

    ගුරු ලේත්තුවේ වතුර ටික වගේම මේ කවි ඩිංගත් ලස්සනයි .

    ReplyDelete
  4. මේ සඳරු මලයත් ඇවිත් . කවි ලියන්න බැහැ කියන අයගේ කවි අපි දැක්කා . මේ අසංක මේ පාර A /L කල පොඩි එකෙක් . සඳරුගේ මල්ලි වෙන්න ඕන ...

    ReplyDelete
  5. මල්ලි, සරල ගෙපිලක අපි පාවිච්චි කරන ගුරුලේත්තුවක තියෙන වතුර බිඳක තියෙන නැවුම් රසය තව කොහෙද? තියෙන්නෙ. ඒ රස අපිට කොහේවත් ලැබෙන එකක් නෑ. ඒ වගෙම අනියත ජීවිත දහමත් කැටි කරල මවපු නිර්මාණය හරිම අපූරුයි. ඔයාට ජයම පතනවා සෙනෙහසින් තව තව මෙවන් නිර්මාණ කරන්නට දිරිය ශක්තිය ලැබේවා! කියල.

    ReplyDelete
  6. @බින්දි අක්කා
    ඔවි අක්කා කියනකොට ෆලෝවර්ස්ලා 48 යි දැන් 59 යි.මට මාර සතුටක් දැනෙන්නේ.ස්තුතියි අක්කේ අක්කගේ කවිය ලස්සනයි

    ඔව් නේන්නං සදරු අයියට වැරදිලා නෙවැ මම මේ අවුරුද්දේ AL කරේ. මං හිතන්නේ මං මලයෙක් වෙන්න ඕනෑ

    හැමෝටම ස්තූතියි ... ආ තව දෙයක් කියන්න ඕනේ මොන හේතුවක් උඩද මන්ද මේ කවි ටික ලියල ටික දවසක් ගිහිං මගෙ අතින්ම අපේ ගුරුලේත්තුව කියපු විදියටම බිම වැටිලා කැඩුනා.එදා ටිකක් අසනීප දවසක්.මම ඇදට වෙලා ඉන්නකොට අපෙ අක්කා ඇවිත් මට කියනවා

    එක් දිනයකදී ඔබගේ වැඩ කරන'තුර
    මේසය මතින් පතිතව සැම තැන විසිර
    රතු රුධිරයක් මෙන් සැම තැන ජල පැතිර
    ඔබ ගැන සිතමි දුක්බරිතව ඇඳ වැතිර

    "ලියපු ටික ඒ විදයටම වුණානේ.ගෙදර තියෙන එක එක දේවල් ගැන කවි ලියන්න එපා මීට පස්සේ" කියල. හික්ස් කොහොම වුණත් අළුතෙන් එකක් ගෙනාවේ නෑ.පරණ එකේ කැඩුණු කට කපල හදා ගත්තා.ඒ හින්දා තාම පරණ වතුරේ රස දැනෙනවා.....

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................