Monday, September 5, 2011

මේ කවි ටික ළමයින්ටයි



ඉර අම්මගේ දරු නව දෙන
එක අහසට වැඩි හින්දා
හොඳ සවි ඇති දුනුවායා
උන් නව දෙන බිම දැම්මා                                                     
.                              .සතුටු වෙච්ච රැජින අතින්
                                  අමරස ඔසු පැන් ලැබුන හෙයින්
                            සදහට ජිවත් වෙන්නෙමි
                                       දුනුවායා සිටිය තුටින් ..
..දුනුවායා නැති වාරේ
සොරා ගන්න ඒ ඔසු පැන්
කපටි හොරෙකි
එහි ආවේ ...
                                        .....හොඳ කීකරු බිරින්දෑය.
                                         කළහැකි දේ නොදත්තාය
                                                 ඔසු පානය එක හුස්මට
                                              බීගෙන බීගෙන ගියාය
..බෙහෙත් බලය හරි බලගතු
පියඹා උඩ  අහසට නැග.
සඳ මත ඇය නැවතුනාය
එන්නට යලි බැරි වුනාය ..
                                   ...හොඳ සාවෙකි හඳේ ඉන්න
                                              උදව් කරන්නට ආවා..
                                          රූමත් මේ ලඳ ගාවා
                                               බෙහෙත් කොටනවලු හාවා..
  ..හරි ලොකුවට වටකුරුවට
 සරත් සමේ සඳ එනකොට ..
මනරම් පහනකින් කියයි
ඇයට එන්න තතු මගතොට ..
                                               ...පුංචි ළමෝ එක් වෙනා ...
                                                  සඳ එළියේ නැහැ වෙනා
                                           සිඟිති ලොවේ සිරි දැක දැක
                                                සඳ දෙව්දුව හිනැහෙනා ..

Picture .මෙතැනින්



''සඳ උළෙලේ '' කතන්දරේ කවියෙන්  ලියන්න කියල අසංක මල්ලිගේ ඉල්ලීමට ලිව්ව කවි ටික .

15 comments:

  1. අපූරු කවි අඩවියක් , මම දැක්කෙ අදනෙ.. හිමිහිට කියවන්න ඕනෙ. එකමුතුවෙ හැමදෙනාටම සුභ පැතුම්,,
    කථාව වගේම බින්දිගෙ අද කවියත් ලස්සනයි. ළමයින්ට පුදාපු තිළිණයක් වගේ,,

    ReplyDelete
  2. කවි ලෝකේදී කවියට හඳ කියල කියන්නේ වදනකට සීමා නොවු සජීවීම වස්තුවක්.එතැනිනුත් ඔබ්බට නම් හඳ ගැන කතා කරල ඉවර කරන්න බැරි වෙයි.ඔන්න දැනනම් කවිමුතුමල් වලට හඳ පායල

    ඇත්තටම කවදත් වගේ බින්දි යොදන සරල එහෙත් සරල නොවන බස් වහර මේ කවියේ අදහස මතු කරන්නට හොඳින්ම යොදාගෙන ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.
    මෙන්න මේ කවි ටික සියල් කවි අතරින් සුන්දරයි

    ඉර අම්මගේ දරු නව දෙන
    එක අහසට වැඩි හින්දා
    හොඳ සවි ඇති දුනුවායා
    උන් නව දෙන බිම දැම්මා

    ...හොඳ සාවෙකි හඳේ ඉන්න
    උදව් කරන්නට ආවා..
    රූමත් මේ ලඳ ගාවා
    බෙහෙත් කොටනවලු හාවා..

    මගේ ඉල්ලීම මෙච්චර ඉක්මණට සලකපු එක ගැන ස්තූතියි බින්දි අක්කේ...

    ReplyDelete
  3. /ඉර අම්මගේ දරු නව දෙන/

    මේ පේළියේ දෙන කියන වචනය දෙනා වුනොත් තේරුම වගේම ගැලීමත් තවත් ලස්සන වේවි කියලා හිතනවා.

    ReplyDelete
  4. ම්...හරිම ලස්සනයි කවිටික. මේ ටික හැම පුංචි දරුවෙක්ම කියවනවා නම් තමයි හොඳ. සමහරු දන්නෙත් නෑ මේව තියෙන බවවත්. ඔහේ තියෙන ජන කතා ටිකකුත් මේ වගේ දාන්න කියල ආදරෙන් ඉල්ලනවා බින්දි. දරුවො නව දෙනා, නව ග්‍රහයො නේද?

    ReplyDelete
  5. බින්දී, ළමා කතා එකතුවක් (කවි කතාත් ඇතුළුව) ලියල පොතක් (හෝ කීපයක්) හැටියට පල කලොත් නරකද? දරුවන්ට දැනෙන්ඩ ලියන්න ඔයාට හොඳට පුළුවන් නිසාත් දැන් ඉන්න දරුවන්ට අපිට ලැබුන වගේ ප්‍රගති ප්‍රකාශන ආයතනයෙන් ළමා කතා පොත් නොලැබෙන නිසාත් ඒක ලොකු සේවයක් වේවි. හිතල බලන්ඩකෝ

    ReplyDelete
  6. දරු නම දෙන විද්ද කෙනා
    ඉර අම්මා සොයනවා
    ලෝකේ වටේ කැරකි කැරකි
    තව විපරම් කරනවා

    මගෙ දරුවන් විද්දේ ඇයි
    දුනුවායෝ, දුනුවායෝ
    එහි විපාක නුඹට ලැබෙයි
    දුනුවායෝ, දුනුවායෝ

    ඉර දරුවන් විද්ද පවට
    දුනුවායගෙ අඹු සිඟිත්ත
    දුනුවායාට නැති උනා
    සඳට ගිහින් සැඟ වුනා

    ලෝකෙට එක ඉරක් ඇතියි
    පුංචි පැටව් සතුටු වෙතී
    දුනුවායාට උදව්වෙන්න
    පුංචි හිතට දුකක් හිතී

    ළමා ලපටි එකතු උනා
    සඳ උළෙලක් නම් කෙරුනා
    ලස්සන පොඩි පහන් කූඩු
    සැම නිවසෙම පත්තු උනා

    දුනුවායගෙ අඹු සිඟිත්ත
    මහ පොළොවට ගෙන්න ගන්න
    පේලි පේලි පහන් කුඩු
    මග කියනව දොරින් දොරට

    ඒ වුනාට ඒ කුමාරි
    තාම හඳේ නැවතිලා
    බෙහෙත් කොටන හාව දමා
    එන්නට අකමැති වෙලා

    වියට්නාම් රටේ ළමයි
    තවමත් වසරකට වරක්
    පහන් දල්වලා දොර දොර
    මග කියනව සඳ කුමරිට

    ReplyDelete
  7. ස්තුතියි ලස්සන කවි ගොන්නක් තිළිණ කළාට!
    හරිම ලස්සනයි සහෝදරී...

    ReplyDelete
  8. @හරී..ස්තුතියි
    එන්නකෝ අර විදුසරට ලිව්වා වගේ කවි ලියමුද ? හැංගිච්ච කවිකම් එලියට දාන්න . අසංක මල්ලිට ඊ මේල් එක දුන්නම එයා ආරාධනා කරනවා .
    @අසංක
    ස්තුතියි මල්ලි..සඳ ගැන ලියවෙච්ච නිර්මාණ එකතු කරන එකත් කාටහරි හොඳ ව්‍යායාමයක් වෙයි. ඔයා මේ බ්ලොග් එක නිර්මාණය කරපු එක සහ පවත්වා ගැනීම ලොකුම සේවයක්. කවද හරී මෙතනින් කවි ලොව ට යමක් ඉතුරු වෙයි නේද .
    @ ගල් මල් ..
    මටත් හිතුනා ඩීන් අය්යා ..නවදෙන කිව්වම නිකන් එළදෙන වගේ දැනෙනවා කියල ,.ඒ වුනත් දෙනා දැම්මම රිද්මය බිඳෙනවා නේද . එහෙම නම්
    ''හිරු දරුවන් නව දෙනා ..
    එක අහසට වැඩි වුනා
    සවි ඇති දුනු අරගෙනා
    දුනුවායා පැමිණුනා ..'' වගේ වෙනස් කරන්න ඕන
    @ චන්දි..
    අන්න අලුත් දෙයක් ..නව ග්‍රහයන් වෙන්නත් පුළුවන් තමයි. මට මෙහෙමත් හිතෙනවා . ග්රිශ්මයේ තද රස්නය ඔය ඉර 10 කියන සංකල්පයෙන් නිරූපණය වෙනවද කියල .
    @චන්දි VIC
    අදහස නම් නරක නැහැ . බලමුකෝ අනාගතයේ . කවදාවත් ළමයින්ට ලියන්න නම් අදහසක් තිබුනේ නැහැ . ඉස්සර ඉතින් එක කවියෙන් ලෝකේ පෙරලන්නනේ අපි කවි ලිවේ . ළමයි ගැන හිතුවය . දැන් ඉතින් පොඩ්ඩක් සිතුවිලි සාමකාමී වෙලා නිසා සමහරවිට පුළුවන් වෙයි.
    @ පොත් ගුල්ලා ..
    ඔය ලියා තියෙන්නේ අපුරු කවි පෙළක් . සඳ උළෙල ගැන ඔබේ කවි ටික ඌන පුර්නයක් සපයනවා . ඇත්තටම තමන්ගේ බ්ලොග් තියෙද්දිත් මේ කමෙන්ට් වලට තමන්ගේ ලස්සන හැකියාවන් ලොබ නැතුව දීමත් එක්තරා විදියක දානයක් කියලයි මට හිතෙන්නේ .
    දිගටම කවි ලියන්න . ඊ ළඟ පාර කවි මුතු වලට කවි පෙළක් දාන්න .
    @ ඉන්දික ..
    ස්තුතියි ඉන්දික ..

    ReplyDelete
  9. හිරු එළියෙන් දිලි දිලී
    විල් ඇති රට සැණකෙළි
    හිරු නිවෙනා සරත් කලේ
    හඳ මාමට පුද කෙළි

    පුංචි උන්ගෙ අවුරුද්දේ
    අන්න ඇහෙනවලු සද්දේ
    පාට පාට එලිය කූඩු
    පාර දිගේ ඔහෙ පැද්දේ

    හඳ උළෙලට කළමනා
    රස අහරින් සතපනා
    වැඩි විස්තර පවසන්නට
    තව සටහන් මග එනා

    ලොක්කියි බනියයි බින්දියි
    අත හිත දෙන සහකරුවයි
    නෙලුම් විලේ ඔරුවෙ නැගී
    මේ සැණකෙළියට ඇදුනයි

    ඉර ගින්නේ පිච්චෙනා
    හිම යට ඉර සැතපෙනා
    කොයි මුල්ලක උන්නත් ඔබ
    එකතු වන්න හැම දෙනා

    කිරි පැණි ඉතිරී යන්නයි
    හඳ බනිසෙන් සපිරෙන්නයි
    ලැබුවා වූ නව වසරේ
    නෙලුම් කැකුළු පූදින්නයි

    [ලෙහෙසියෙන් නොදකින නමුත් මෙවර මාත්‍රා ගණන මිස් වෙලා වගේ ඇතැම් තැන්වල. බින්දිගේ කවි නිසර්ග කවි. මිස් එකක් දැක්කමයි. මට වැරදිලාවත් ද? ඔබ එහෙම නොහිතුවා නම් අවුලක් නැහැ]

    ReplyDelete
  10. ඔබ හරි සුජීව ...මන් හිතුවා ඔයාට නම් ඕක අහුවෙයි කියල . ලිව්වට මොකෝ රසවත් බවක් නැතිව ඔහේ ලියු ගතියක් මට දැනෙනවා . වරක් ලියු දෙයක් දෙවෙනි පාර ලියද්දි දැනෙන නීරස හැඟීම නිසා වෙන්න ඇති...විනාඩි පහට ඔය ටික ලිව්වේ . මහන්සි වී කරන දෙයක වටිනාකම ඕකේ නැති බව පිලිගන්නවා . හරියට හොඳ ෆිල්ම් එකක දෙවෙනි කොටස වගේ ..නැත්නම් ලෝක ප්‍රකට සිනමා කෘතියකින් අපේ ටෙලි නාට්‍යක් හැදුව වගේ ...

    ඔයාගේ පද පෙළ ලස්සනයි ..ස්තුතියි සුබ පැතුමට . අපේ මහල් නිවසේ සඳ උළෙල ..සමරන්නේ 9 වෙනිදා . පාසල් වල නිවාස සංකීර්ණ වල ඕක නිකන් යුතුකමක් වගේ දෙයක්.

    ReplyDelete
  11. කවුද කිව්වේ රසවත් නැහැ කියලා. මේක කෙලින්ම ළමා පොතකට සුදුසුයි. බිඳී පටාන් ගන්නකො ළමා පොත්. අඳින්නත් පුළුවන් එකේ.

    ReplyDelete
  12. අපූරුයි බින්දී, සුභ පැතුම්!

    ReplyDelete
  13. හඳ අවුරුද්දට ලොක්කිටයි බනි ටයි ළමා විය නොනැසෙන බින්දිටයි මෙන්න අන්තර්ජාලෙන් හොයා ගත් තෑග්ගක්.

    හඳහාමි හිනැහෙන්නේ

    ReplyDelete
  14. හුඟාක් ලස්සනයි ඇත්තටම

    ReplyDelete
  15. අපිට කවි ලීවාට ඉස්තුතියි මාමෙ!

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................