Tuesday, March 5, 2013

නිලුපුල ඔබයි සිත් විල කළඹන නිසල
බිමි කඩ ඔබයි කතරක දිය බිඳු ඉසින
ඉඳුවර දෙනෙත් තුල නිකැලැල් බව සිඹින
සෙනෙහස කොහේ සැඟවි යා දෝ විටෙක

ඉරබටුවකින් අසමින් මග ගෙවා දුර
වළාකඩින් වසමින් හිරු කිරණ මැඩ
නොපෙනෙන තරු පොකුරු මැද හිඳ සිනාවෙන
සිහසුන ඔබයි සෙනෙහේ දිය සතපවන

මාලති මලින් මල්කම් කර කැටයමට
විලිකුන් පඳුරකින් තොරණක් ගසා හැඩ
සියොතුන් ඉගිලයනවිට දසතම පැතිර
ඔබමයි මගේ හදවත දිනු සෙනෙහෙ විල

Sunday, March 3, 2013

විඳින්න ඇත්නම්...

කවුළු පියන් පත් අතරින්
සඳරැස් වැටිලා දිලිසෙන
සීත රැයේ හිමින් හිමින්
ඔබ වෙත එන්නට ඇත්නම්
ඔබේ සුවඳ එක මොහොතක්
විඳින්න ඇත්නම්

සුමුදු සේද ඇතිරිලි මැද
සුවසේ නිදනා පය මුල
මොහොතක් වැතිරි නින්දක්
නිදන්න ඇත්නම්,මොහොතක්
සිතන්න ඇත්නම්

සිහිනෙන් ඔබ මුමුණන විට
හිමන් සැරේ සවන් යොමා
පුංචි සද්දයක් නොකරම
අහගෙන ඉන්නට ඇත්නම්
හීන් සිනාවක් මුවඟෙහි
නගන්න ඇත්නම්

කවුළුව අතරින් හිරු රැස්
මෝදුව එනවිට හිමිහිට
අවදිව ඉන්නම්
ඔබේ සුවඳ රැඳි කොට්ටය
තුරුලට ගෙන එකම වරක්
සිඹින්න ඇත්නම්.

Friday, February 1, 2013

ඔබ සහ මම


ඔබ


ලස්සන කතාවක් කියනවා වගේ
එක හුස්මට කියවගෙන ගියා



මම

ඒ ලස්සන කතාවට හූමිටි තිය තිය
අහගෙන හිටියා

ඔබ

හීන් මුදු සුවඳක් එක්ක කාමරයම පුරවන්
හිමින් සැරේ ගෙට ගොඩ උනා

මම

දහඩිය ඟඳ එක්ක ගෙදරට ගොඩවෙනකන්
බලාගනෙ හිටියා ඒ සුවඳ විඳගන්න

ඔබ

සුව පහසු ඇඳේ පැත්තකට හැරිලා 
හරි සනීපෙට නින්දට යනවා

මම

රෑ පුරාම හූල්ල හූල්ල ඔබ ලඟින් වැතිරිලා
කඳුලු බොනවා

ඔබ

දකින ලස්සන ලස්සන හීන වලට
හීනෙන් හීනා වෙනවා

මම

දැකපු හීන වලට හිනා වෙන දිහා
වෙන කරන්න දෙයක් නැතුව බලන් ඉන්නවා.

ඔබ

දුර ගමනක් යන්න ආවත්
අතරමග නැවතිලා ඉන්නවා

මම

නවතින්න බැරි නිසා 
ඒ ගමන තනියෙම යනවා.

Wednesday, January 30, 2013

සිතුවම





නොයෙකුත් පාට තවරා
අඩු වැඩිව

උස්වූ තිසර තුඩු
පෙකනියද 
ඉඟ සුඟඳ

අඩ නිරුවත්ව දඟලයි
මහ මග දෙපස

බලන්නට සිතුවත් කෙලින්
බලන්නට නොහැකිවම
හොරෙන් බලමින් යන්නෝය
මිනිසුන් දෙපස

නිරුවත් ගැහැණු රුව දැක
මොහොතක් නතර විය නෙත
පරදවයි දිවි අප්සරාවන්
ඇගෙ රුව

අහෝ....

කෙතරම් අලංකාරද
සිත්තරුන් මැවූ ඒ 
සිතුවම

විහාරමහා දේවී උද්‍යානය දෙපස කලා පොළක් විය පසුගිය ඉරු දින.


සුභාෂිණි ගුණවර්ධන

Sunday, January 20, 2013

ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න

සීතල අතරින් පෙරි පෙරි මීදුම් සිරි ගලන වෙලේ
කවුලුව අතරින් ඇවිදින් හිනැහී යන්න
සිහිනෙන්වත් හෙමින් සැරේ නුඹෙ දෙනුවන්
තුලම රැඳෙන්න
ගී කියනා කුරුල්ලන්ට රස රහසක් කියාදෙන්න
කුරුල්ලනේ නුඹලා ගී ගයනවා නේද
ආසයි මම ඒ ගීතය අහගෙන ඉන්න...

වළා පෙලින් එහා සඳේ ආවාටය මැද හිඳගෙන
පොළෝ ගැබට බැලුම් හෙලන්න
තරු පොකුරක සැඟවීගෙන
ආයෙත් එක සැරයක්වත් ඇවිදින් යන්න
නුඹේ සුසුම් පොදින් නැහැව
ජීවිත ඟඟ ගලාන යන්න
ආසයි මම එකම වරක් ඔබව දකින්න...

දුරුතුමහේ සීතල මැද කිටි කිටියේ දෑත් බැඳන්
ඔබත් එක්ක මල් පාරේ ඇවිදන් යන්න
නිසල විලට වැටි මල්වල සුවඳ රදන්න
ඒ විල මැද මානෙල් මල විලස හිඳින්න
සීතල උදයක සුපිපුණු නුඹෙ කම්මුල් දෙක අතරින්
එකම වරක් තොල් පෙති මත තිලක තියන්න
ආසයි මම නුඹෙ උණුසුම ලඟම රැදෙන්න

Tuesday, December 18, 2012

නොසිඳෙනා පත් ඉරුව තමයි ඔබ




එළි නොවන
සිහිනයේ
වරපටින්
දැවටිගෙන 
සිනාසෙන
සිත් විලයි

මැකි යන මිදුමේ
පලා ගොස්
සැඟව යන
කිසිදාක නොමියෙනා
බොඳ නොවන
සිහිනයයි



හුදකලා
බව පිරුණු
සිත්මානයෙන් එපිට
ජීවිතේ සියක් වර
හදවතේ ගැඹුරින්ම
විනි විඳින රාවයයි



මිය ගියද
යම් දිනක
සිතේ ඇති සොඳුරුබව
නොසිඳෙනා
පත් ඉරුව
ඔබ තමයි.

අහිමි බව









                         ඉරගල වැටුන විට මහ කන්දෙන් එපිට
                         තෝපා වැවේ වැව් දිය සිඳුනි අකලට

                         යලට වැපිරු කුඹරේ පැල රකින්නට
                         හැකිවෙද හෙටත් රෑ පැල් කවි කියන්නට

                         බිම්මල් පිපි හිනැහීගෙන බලාඋනි
                         කණමැදිරියන් කෑ ගසමින් රෑන් උනි
                         කළුවර මැදින් නුඹ ඇවිදින් සිනාසුණි
                         සිනහ වෙන්න නම් මට අමතකම වුණි


                         සිපද රාවයක් සවනත වැකෙන කොට
                         එගොඩහ ගොඩේ පන්දම් එළි ඇඳෙන කොට
                         මී මැසි කැලත විත් ගෙයි මැසි බඳින කල
                         නොසිතුව එකයි පුදුමය නුඹ අහිමි බව.

අපිට හොරෙන් මහ ගෙය ඉදිරි වැටුණි..


සඳට කියමි සඳ නැත මා දෙස       බැලුවේ       
තරුව උනත් අද ඇයි වෙනතක්     බැලුවේ

අහසේ වළාකුළු ඇයි වෙනතක      ඇදුනේ
දේදුන්නේ පාට ඇයි බොඳවී       මැකුනේ


කළුවර රැයේ ඇඳෙනා සෙවනැලි       දුටිමි

මහ වැසි මැදින් දිය වැල් බේරි         ඇදුනි
ගොම්මන මැදින් මෙරු රැළ අහසට  නැගුනි
කණමැදිරියන් නිවි නිවි එළියෙන්     දිලුණි...


පහළ වෙලේ කන්නයෙ බැත ගෙට ගැනුනි

රූං පෙත්ත විසිවි ගොස් බිම          වැටුනි
යලට මහට එකසේ මහ ගෙය           දුටිමි
අපිට හොරෙන් මහ ගෙය ඉදිරි       වැටුණි..

Monday, December 17, 2012

තනි තරුව.



http://imageshack.us/photo/my-images/227/thanitharuiwanew.jpg/

Friday, December 14, 2012

සිනා සපිරි මුව මඩලට කවදා සෙනෙහස ගෙනෙයිද

වැව් දියමත වැහි දිය කඳ
හෙළුවට දිය දෙබෑ වෙයිද
මද පවනට මහ ගස් වල
කඳ දෙපළුව බිම වැටෙයිද

පිපි මල්වල බමර තුඩග
රැඳි රැඳි රොන් රස උරයිද
මලේ සුවඳ නැතුවත් වන
බමරුන් විත් මල රඳයිද

කරදිය මුසු සිහිල් සුළං
ගතෙහි විඩා නිවා යයිද
හිරු බැස යන සැන්දෑවක
ඔබෙ මතකය නැවුම් වෙයිද

විහිළුවකට රතුවුණු ඇස්
අග කඳුළක් විත් රඳයිද
සිනා සපිරි මුව මඩලට
කවදා සෙනෙහස ගෙනෙයිද

කවිමුතුමල් facebook පිටුවේ සුභාෂිණි ගුණවර්ධන කිවිඳිය විසින් අකුරු අමුණා කළ සිත්තමකි මේ blog පිටුවේ පළ කෙරුණේ.